22 August, 2017

බය මෝඩකමේ හා ආත්මාර්ථයේ දරුවා

fear-sad
FilePhoto
කුමන වෙලාවේ හෝ ඔබේ මනසට කනස්සල්ලක් පාත් වු‍ණත්, ඔබට මුණගැහෙන හැමදෙනාටම ඒක දැන ගන්න පුළුවන් විදිහට බුම්මාගෙන ඉන්න එපා. ඔබේ ළතැවිල්ල එළිදරව් කළ යුත්තේ, හැබෑවටම ඔබට සහනයක් දිය හැකි කෙනෙකුට පමණයි. ඔබ මුහුණදෙන සෑම සියලු ගැටලුවක් ඉදිරියේදීම සිනාමුසුව ඒවා හසුරුවා ගැනීමට ඔබට හැකියාවක් ඇත්නම් කෙතරම් අගේද? හැබෑවටම ඔබ උත්සහ කරන්නේ නම් පමණක්, ඔබට එය අමාරු කටයුත්තක් නෙවෙයි.

බොහෝ යෞවන යෞවනියන් අන්ත කනස්සල්ලට පත්වන කාරණයක් තමයි; විරුද්ධ ලිංගික සබඳතා බිඳීයාම. මෙවැනි අවස්ථාවල, බලාපොරොත්තු බිඳවැටීමෙන් ඇතිවන කලකිරීම විසින් සියදිවි නසා ගැනීමේ සැලසුම් හැදීමට පවා මොවුන්ට බලපෑම් ඇති කරනවා. උන්මන්තකාගාර හෙවත් මානසික සෞඛ්‍ය ආයතනවලට ඇතුල්වීමට පවා සමහර අයට සිද්ධ වෙනවා. බිඳුණු හදවත් සහිත යෞවනය අවාසනාවන්ත හා දුක්බරව ගතවෙනවා. මේ සියලු අවාසනාවන්ත සිද්ධි සිදුවෙන්නෙ ජීවිතයේ නියම ස්වභාව තේරුම් ගැනීම හිඟවීමෙන්.

කෙසේ, කුමක් නිසා හෝ සමුගැනීම් හෝ වෙන්වීම් වළකා ඇද බැඳ තබාගන්න පුළුවන්කමක් නැහැ. මේ තත්ත්වය ඇතැම් විට ජීවන ප්‍රගමනයේ ආරම්භයේදීම සිදුවන්න පුළුවන්. සමහර විට මැදිවියේදී හෝ අන්තිම කාලයේදීත් සිදුවෙන්න පුළුවන්; කොහොම උනත් වෙන්වීම - සමුගැනීම වළක්වන්න පුළුවන් විදිහක් නම් නෑ. මේ වගේ තත්ත්වයක් ඇති වුණාම ඊට හේතුව කොතනද හැඟවිලා තිබ්බෙ කියල හොයන එක වැදගත්. වෙන්වීම - සමුගැනීම තමන්ගෙ පාලනයෙන් එපිටනම් ඇත්තෙ, එය දරාගැනීමට හැකිවීම ඕනෑම කෙනෙකුට තිබිය යුතුයි.

ඒත් ඒ හැකියාව ලබන්න පුළුවන් වෙන්නෙ ජීවිතයේ ස්වභාවය තේරුම් ගැනීමෙන් පමණයි. අපට මේ කාරණය දිහා වෙනත් විදිහකටත් බලන්න පුළුවන්. සමුගැනීමකින් වූ හිස්කම පුරවගන්න හැබෑ උවමනාවක් තියෙනවා නම්, අලුත් අය එකතු කරගන්න එක ඒ තරම් දුෂ්කර කාර්යක් නෙවෙයි.

මනුෂ්‍ය ජීවිතය සම්පූර්ණයෙන්ම පිරිල තියෙන්නෙ විවිධාකාර බිය වර්ගවලින්. ඒ නිසා පෞරුෂය හෙවත් පුද්ගල විශේෂතාවයේ අඳුරු අහුමුලු හා අඩාල අට්ටාල කරා තෙරපීමක් නිතර ඇතිවෙනවා. ඔව්, හැමතැනම බිය -උවමනා ඉෂ්ට නොවේය යන බිය, බඩගින්නෙ ඉඳින්න වෙයි කියන බිය, අද අපට තියෙන දේ හෙට නැතිවෙයි කියන බිය, ලෙඩවෙයි කියන බිය, ඒ විතරක් නෙවෙයි මහලුවිය හා මරණයට ඇති බිය ; තවත් මොහොතක හරියටම හේතුවක් නොදැනෙන පැටලුම්කාරී සිතිවිලි සමඟ එන බිය, .... මුළු ජීවිතයම පිරිල තියෙන්නෙ අනාගතයේ ඇතිවිය හැකි සැක සංකාවෙන්. තදබල ආශාවන්ගෙන් කැලඹුණු අවුල්සහගත බව විසින් ඇති කරන ලද භීතිකාවලින්. මෙබඳු අවාසනාවන්ත; අසරණ; දුක්ඛිත; කාලකණ්ණි ; අප්‍රසන්න සාප සමුදායකට ගණනය කළ නොහැකි තරමේ ජීවිත ගොදුරුවෙලා.

ජීවිතය කෑලි කෑලිවලට කුඩුපට්ටම් කරල සුන් බුන් කරන්න බයට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ජීවිතයක තියෙන අගය බාල කරල - හීන කරල එය කෙලසාදාන්න බියට පුළුවන්. සර්ව අසුබවාදී අඩෝ ආඬියා පෙනුමක් දෙන්නත් බියට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අනාගතය කට්ට කරුවලට දාන්නත් බියට පුළුවන්.

මිනිසෙක් තම මනස තුළ ඕනෑම වර්ගයක බියක් දරා සිටින්නේ නම්, ඒ බිය තමන්ගෙ හැම සිතුවිල්ලක් කරාම සෙමින් පැතිරෙමින් තම පෞරුෂයට හානිකරනවා. ප්‍රතිඵය වෙන්නෙ, ඔහු හෝ ඇය බියකරු බූතයෙකුගෙ හිමිකරුවෙක්වීමයි. තමන්ගෙ පරම හතුරා තමන්ම බවට පත් වෙන්නෙ මේ විදිහට. බිය, මිලියන ගණනකගෙ බද්ධ පුරුද්දක් බවට පත්වෙලා හමාරයි. බියකරු සිතුවිලි හැම තැනම. ඒවාට පුළුවන් ඕනම දිශාවකට අපව විසි කරන්න; මහත් බියකින් ජීවත්කරවන්න. නොනවත්වා අඬවන්න; අවතාර, හොල්මන්, යක්ෂයන් හා දෙවිවරුන්ට ගැතිව බිය කරවන්න.

මිනිසුන් බය කරවන දේවල් අතර ආගමික බිය අන්තිම දරුණුයි. ඇතැම් ආගම් පද්ධතිවල සමස්ත වන්දනා මානයම කැපවෙන්නෙ නොදන්නා දේ ගැන මිනිසාට ඇති ආශයික හෙවත් ජම්මෙන් ඇති වන බිය කේන්ද්‍ර කරගනිමින්. බිය විසින් මනස සිරකර තබයි. එය, නොදැනීම නම් උයනේ හටගන්නා අවිචාර - අද්භූතාත්ම මිථ්‍යාවන්ගේ පියවරුන් හා සමානයි.

නිසැකයෙන්ම, ආගම්වල නීතියක් වෙන්නෙ බිය. ඊට හේතුව තමයි සොබාදහම ඉක්මවූ අද්භූතයට පවා පාලන බලය ගැන මිනිසාට ඇති තද ආශාව. හැබැයි, මේ නිසා ඔහු මිථ්‍යාවේම වහලෙකු බවට පත්වෙනවා. අභිරහස්, අත්භූත, ගුප්තමය දේවල් මිනිසා වටකරගෙන සිටිනවා. මේවායේ සොබාවය විස්තර කර ගැනීමට අපහසු වූ තැන භක්තිය පැන නගිනව. එතැන , බිය තුළ ඇති නොදැනීම හා හැඩගැස්ම ඇතිවෙනවා.

ලබන සතියේ : මිනිස් දෙපයින් ඇවිදින බිය

ආචාර්ය කේ. ශ්‍රී ධම්මානන්ද හිමිෙග් Why Worry ග්‍රන්ථයෙනි

සිංහල කළේ - සමුනි සමරකෝන් (දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බය මෝඩකමේ හා ආත්මාර්ථයේ දරුවා"

    Post a Comment