29 April, 2017

මු ආතායි ලංකාවට ගෙනා සටන් කලාකරුවා

mu athayi

මු ආතායි සටන් කලාව‍ නොහොත් සන්ධි 8 සටන් කලාව ශ්‍රී ලංකාවට නවමු ක්‍රීඩාවක් වුවද, එය තායිලන්ත දේශයට ප්‍රධාන හා එහි ජාතික ක්‍රීඩාවය.

එහෙත් මු ආතායි සටන් කලාව ප්‍රගුණ කර, ඉන් දස්කම් පෙන්වන තරුණ ක්‍රීඩකයින් රැසක්ම ශ්‍රී ලංකාවේ ද සිටින අතර, ඉන් එක් ක්‍රීඩකයෙකු මුළු රටටම හඳුන්වාදීමට දිනමිණ ගත් උත්සාහයේ ප්‍රතිඵලය මෙසේ සටහන් කරමු.

ඔහු කොල්ලුපිටිය මහානාම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය දෲවී නිසුලේෂය. මහානාම විදුහලේ අධ්‍යාපනය කරනා අවධියේ දෲවී නිරතවී ඇත්තේ රගර් ක්‍රීඩාවේය. පසුව විද්‍යාලයේ ක්‍රීඩා ආචාර්යවරුන්ගේ උපදෙසින් ඔහු බර ඉසිලීමේ ක්‍රීඩාවේ නිරතව, ඉන් විද්‍යාලයට මහා කීර්තියක් අත්කරදීමට සමත්ව ඇත.

මේ කාලය තුළදී කරාතේ ක්‍රීඩාව ද ප්‍රගුණ කළ දෲවී, අනතුරුව කොළඹ ක්‍රීඩා සමාජයකට සම්බන්ධවී ඒ අතරතුරදී මු ආතායි සටන් කලාව පිළිබඳව මූලික දැනුමක් ලැබගෙන ඇත.

දෲවී බර ඉසිලීමේ ක්‍රීඩාවේදී ද ප්‍රබල දස්කම් දක්වා ඇත. කායවර්ධනය පිළිබඳව වඩා සැලකිලිමත්ව කටයුතු කර ඇති ඔහු නිරෝගී දේහධාරී පුද්ගලයෙකි.

හෙතෙම පවසන්නේ මු ආතායි සටන් කලාව බොක්සිං ක්‍රීඩාව හා ළඟින්ම යන්නාවූ ක්‍රීඩාවක් බවය.

ප්‍රවීණ මු ආතායි ක්‍රීඩා උපදේශක අශෝක ජයරත්නයන් යටතේ සන්ධි 8 සටන් කලාව ප්‍රගුණ කළ දෲවී, මේ විෂයටම සම්බන්ධ සංගමයකට බැඳී මේ සටන් කලාව පිළිබඳව ගුරුවරුන් කීපදෙනකු යටතේ හොඳින් හදාරා ඇත.

මු ආතායි සටන් කලාවට ශ්‍රී ලංකාවේ එතරම් පිළිගැනීමක් නොමැති බව සඳහන් කරන දෲවී, ඒ නිසාම තරගයන්හි අඩුවක් ඇති බව ද පවසයි.

එහෙත් තායිලන්ත රාජ්‍යයේ ජාතික ක්‍රීඩාව මු ආතායි සටන් ක්‍රීඩාව බව පවසන ඔහු, මේ ක්‍රීඩාවට ශ්‍රී ලංකාවෙන් පිටව යන ක්‍රීඩකයන්ට එම රටේ ක්‍රීඩකයන් දක්වනුයේ පුදුමාකාර ගෞරවයක් බව ද පවසනුයේ තම අත්දැකීම් තුළිනි.

තමාගේ ගුරුතුමාගේ අධිෂ්ඨානය මෙම ක්‍රීඩාව ශ්‍රී ලංක‍ාවේ ප්‍රචලිත කිරීම බව පවසන දෲවී, මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය ද මේ වනවිටත් දැනුවත් කර ඇති බව ද පවසයි.

මු ආතායි ක්‍රීඩාවේ නියැළෙන අප රටේ දක්ෂ ක්‍රීඩකයින් දෙදෙනකු මේ වනවිට ලෝක ශූරතා තරගාවලියකට සහභාගිවී මේ සටන් කලාවෙන් සම්මාන ලබා ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවනීය නාමයක් සනිටුහන්කර ඇති බව ඔහු පැවසුවේ සතුටු සිතිනි.

දැනට මාස කීපයකට පෙර මෙම ක්‍රීඩාව, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඇති බව පවසන දෲවී වඩාත් ක්‍රියාශ්‍රීලී ක්‍රීඩා අමාත්‍යවරයකු සිටිනා අප රටේ මෙම ක්‍රීඩාවට ද ඉමහත් ස්ථානයක් ලබාදීමට එතුමා යුහුසුළු වන බවට තදබල විශ්වාසයක් තමා ඇතුළු කණ්ඩායමට ඇති බවට ඔහු විශ්වාසය පළ කරයි.

ශ්‍රී ලංකාවේ 63 වන ක්‍රීඩාව ලෙස මු ආතායි සටන් ක්‍රීඩාව ඉදිරියේදී රටටම ගෞරවයක් ගෙනෙනා ක්‍රීඩාවක් ලෙස ප්‍රචලිත වේ යැයි දෲවී විශ්වාසය පළකර සිටී.

තමා ශ්‍රී ලංකාවේදී බර ඉසිලීමේ තරග රැසක් ජයග්‍රහණය කර ඇති බව පවසන හෙතෙම, පසුගිය සතියේදී තමා ඇතුළු කණ්ඩායමක් තායිලන්තය වෙත ගොස් මු ආතායි සටන් ක්‍රීඩා තරග රැසකට සහභාගිවී ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබාදුන් බව පැවසුවේ සතුටු සිතිනි.

විශේෂයෙන් තායිලන්ත වැසියන් සේම එරට රාජ්‍යය ද මෙම ක්‍රීඩාව දේවත්වයෙන් සලකනා බව පවසනා ඔහු අප රටේ ද එය එසේම සිදුවේවායි ප්‍රාර්ථනය කරයි.

ලයනල් පී. පෙරේරා කැලණිය විශේෂ (dinamina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මු ආතායි ලංකාවට ගෙනා සටන් කලාකරුවා"

    Post a Comment