28 April, 2017

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

Gampaha-Tuition-Students-Sex-Kurunegala-1

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම් ප්‍රමාණයක් පාසල් සිසුන් බව පසුගිය දා අනාවරණය විය. ඒ කුරූණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ පැවැති මාධ්‍ය හමුවක දී එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිහාල් එදිරිසිංහ මහතා කළ ප්‍රකාශයකිනි. 

පසුගිය වසරේ එම ඒකකයට පැමිණි රෝගීන් ගෙන් 1560 දෙනකු නිශ්චය ලෙසම සමාජ රෝග ආසාදිතයන් බව තහවුරු වූ අතර එම පිරිසෙන් සුලු ප්‍රමාණයක් හෝ පාසල් සිසුන් වීම සම්බන්ධයෙන් ගුරු දෙගුරුන් මීට වඩා සංවිභාගශීලී විය යුතු බව වෛද්‍යවරයා අවධාරණය කර ඇත.

අප මෙම ප්‍රවෘත්තිය ඔබ වෙත ඉදිරිපත් කරන ලද්දේ ‘ගම්පහ ටියුෂන් සිසු සිසුවියන් අතර ලිංගික උප සංස්කෘතියක්’ යන මැයෙන් පසුගිය කාලය පුරා ලක්බිම ඔන් ලයින් මගින් අප ඉදිරිපත් කළ ලිපි පෙළ සඳහා “ලිංගිකත්වයක් ඇත්තේ ගම්පහ ටියුෂන් සිසුන්ට විතරද?” යන මැයෙන් යොමුවූ ප්‍රතිචාරයක් මුල් කර ගනිමිනි. ගම්පහ උපකාරක පන්ති ගුරුවරුන් පිරිසක් විසින් යොමු කර තිබූ එම එම ලිපිය ඉතා සංයමයෙන් යුතුව සකසා තිබීම පිළිබඳව මම පළමුව ඔවුන් වෙත මගේ ගෞරවාදරය පුද කරමි.

ගම්පහ ටියුෂන් සිසු සිසුවියන් ගේ එම ලිංගික උප සංස්කෘතිය පිළිබඳ විමසුමකට අප යොමු වූයේ ගම්පහ හිටපු නගාරාධිපති එරංග සේනානායක මහතා කළ සුවිශේෂ අනාවරණයකට අනුවය. ගම්පහ මහ නගර සභා සීමාව තුළ ඇති ඔසුසල්වලින් පවුල් සැලසුම් උපකරණ සහ ලිංගික උත්තේජක පෙති වර්ග බහුලව විකිණෙන බවත් ඊට හේතුව ගම්පහ නගරයේ උපකාරක පන්තිවලට පැමිණෙන තරුණ සිසුන් අතරේ ඒවා භාවිතා වීම නිසා බවත් තමන්ට අනාවරණය කර ගත හැකි වූ බව හිටපු නගරාධිපති වරයා කීය.

එමෙන්ම සෑහෙන කාලයක්, ශ්‍රමයක් සේම මුදලක් ද වැය කරමින් අප සිදු කළ මෙම ගවේෂණය සඳහා විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා මහාචාර්යවරයකුගේත්, ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්ය වරයකුගේ උපදේශකත්වය ලබා ගැනීමට ද අපට හැකිවිය. එමෙන්ම මෙම විමර්ශන කටයුතු සඳහා උපාය දූතයන් ලෙස ගම්පහ ටියුෂන් අධ්‍යාපනය ලබා සරසවියට තේරුණු පෙම් යුවලක් යොදා ගැනීමට ද අපට හැකිවිණි. 

තවද අපගේ මෙම සමීක්ෂණයේ අධීක්ෂණ කටයුතු කරන ලද්දේ ගවේෂණාත්මක මාධ්‍යවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සම්භාරයක් හිමිකරගෙන සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු විසිනි. මේ සියළු කරුණු අපගේ එම ගවේෂණයේ සාර්ථකත්වයට එක සේ බලපාන්නට ඇත.

එමෙන්ම අපගේ එම අනාවරණය ලක්බිම ඔන් ලයින් මගින් ප්‍රචාරය වීමත් සමඟ තවත් වෙබ් අඩවි කිහිපයක් මගින් මෙම ලිපි පෙළ උපුටා‍ පළ කිරීම නිසා මීට අතිරේක ප්‍රසිද්ධියක් ද ලැබිණි. ඒ පසුබිම යටතේ ගම්පහ ප්‍රදේශවාසීන් ම පවසන අන්දමට ‘මතක ඇති කාලයකින්’ ගම්පහ නගරයේ අවිනීත ලෙස හැසිරෙන තරුණ පෙම්වතුන් පොලිස් භාරයට ගෙන අවවාද කොට මුදා හැරීමට අවස්ථා දෙකකදීම ගම්පහ පොලිසිය කටයුතු කර තිබිණි. ඒ ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා ගේ උපදේශකත්වයෙන් සහ ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක අබ්දුල් ගෆාර් මහතාගේ අධීක්ෂණයෙනි.

මෙහි මුලින් සඳහන් ප්‍රවෘත්තිය හා සම්බන්ධ කුරුණෑගල ද ගම්පහ මෙන්ම ශ්‍රී ලංකාවේ නම් දැරූ ටියුෂන් පුරවරයකි. ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ අගනුවර වුවද මධ්‍යම, සබරගමුව සහ උතුරුමැද පළාත් වලින් ද විශාල සිසුන් සංඛ්‍යාවක් නිතිපතා කුරුණෑගලට ඇදී එති. 

ඒ අනුව ගම්පහ ටියුෂන් අශ්‍රිත ලිංගික උප සංස්කෘතියට අතිශයින් සමාන ලිංගික උප සංස්කෘතියක් කුරුණෑගල ද නිර්මාණය වීමට කිසිදු නොහැකියාවක් නැත. ඒ අනුව ඉහත සඳහන් කළ කුරුණෑගල පාසල් සිසුන් අතර ලිංගික සම්ප්‍රේෂණ රෝග පැතිර යාමට එම ටියුෂන් ලිංගික උප සංස්කෘතිය සැලකිය යුතු අයුරකින් බලපා ඇති බව නිසැකය. 

එමෙන්ම එම උප සංස්කෘතිය පැන නැඟීමට ඉවල්වන සාධක සියුම් ලෙස විමසා බැලීමේ දී පෙරවරුවේ පාසල් ගොස් යළි පස්වරුවේ නිවස බලා යාම වෙනුවට, ටියුෂන් අධ්‍යාපනය උදෙසා නිවෙසින් බැහැරව සිටීමට සිසුන්ට ලැබෙන අමතර කාල පරාසය අපගේ අවධානයට යොමුකළ යුතුය. 

විශේෂයෙන් සති අන්ත දිනයන් හි කුරුණෑගල ටියුෂන් අධ්‍යාපනය සඳහා නිවසින් බැහැරවන බොහෝ සිසු සිසුවියන්ට ඕනෑම දෙයක් කර කියා ගත හැකි හෝරා දෙක තුනක නිදහස් කාල සීමාවක් වෙන් කර ගැනීමේ කිසිදු අපහසුවක් පැන නොනගී. පාසල් සිසු සිසුවියන් අතරට ලිංගික සම්ප්‍රේෂණ රෝග වර්ධනය වීමට මෙම තත්ත්වය ද හේතු පාදක වූ බවට සැක නැත.

කුරුණෑගල මෙවන් තත්ත්වයක් පවතින අතර ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකය මගින් එවැනි අනාවරණයක් සිදු කොට නැත්තේ මන්දැයි යමකුට හැ‍‍ගෙනු ඇත. ඒ ඇතැම් විට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ සායනවලට එක් වන රෝගීන් අතරට පාසල් සිසුන් සැලකිය යුතු සංඛ්‍යාවක් එක් නොවීම මත විය හැක. නොඑසේ නම් එසේ පැමිණෙන රෝගීන් ගේ පෞද්ගලික වතගොත පිළිබඳ නිවැරදි තොරතුරු වාර්තා නොවීම මතද මෙවන් තත්ත්වයක් ඉස්මතු වීමට පුළුවන.

මෙහි දී අප විශේෂයෙන් සලකා බැලිය යුතු තවත් කරුණක් ද වෙයි. කුරුණෑගල මහ රෝහල යනු ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන ශ්‍රී ලංකාවේ සුවිසල් ග්‍රාමීය කලාප රැසක් මධ්‍යයේ පිහිටි ප්‍රධානතම රෝහලකි. එහෙත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල මගින් එලෙස විශාල ප්‍රදේශයක් ආවරණය නොකෙරේ. 

අගනුවරට තරමක් සමීපව පිහිටි ගම්පහ රෝහලට කිලෝමීටර් කිහිපයක් නොදුරින් උතුරු කොළඹ (රාගම) මහ රෝහල ද පිහිටා ඇත. එමෙන්ම ටියුෂන් අධ්‍යාපනය සඳහා ගම්පහට පැමිණෙන සිසු සිසුවියන් ගෙන් වැඩිපිරිසක් පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන්නවුන්ය. එනිසා හදිසි රෝගාබාධයකදී හෝ අනතුරක දී හැරුණු කොට ඔවුන් ගම්පහ රෝහලින් ප්‍රතිකාර ගැනීමේ සැලකිය යුතු සම්භාවිතාවක් නැත.

ඒ කෙසේ හෝ ටියුෂන් අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙතෙක් ගම්පහට හිමි වී ඇති “කීර්ති නාමය” මෙවන් අනාවරණයන් ගෙන් යම් තරමකට හෝ පළුදු විය හැකි බව අපිදු අවංකවම පිළිගනිමු. එහෙත් ඒ ‘හොඳ නම’ තුළින් තමන්හට අත්කර ගත හැකි මුදල්මය වාසි තකා හෝ විවිධ තර්ක ගෙනහැර දක්වමින් සත්‍යය වසන් කරලීම කෙසේවත් අනුමත කළ හැක්කක් නොවේ. 

අප ඒ බව ලක්බිම ඔන් ලයින් වෙතින් අප වෙත ප්‍රතිචාර දැක්වූ ගම්පහ උපකාරක පන්ති ගුරුවරුන් කිහිපපොළ වෙත පවසා සිටිනුයේ ගම්පහ ටියුෂන් සම්බන්ධ ‘හොඳ නම’ සහ තම ‘මුදල්වාසි’නොතකා මෙම ‘තිත්ත ඇත්ත’ වටහා ගැනීමේ සහ ඒ අනුව කටයුතු කිරීමේ වැදගත්කම හුවා දැක්වීමටය. නමුදු ඔවුන් එසේ නොකොට තව දුරටත් නිහඬව සිටිය හොත් ගම්පහ ටියුෂන් සම්බන්ධ මීට වඩා අතිශය ඛේදනීය පුවත් රට පුරා පැතිර යාම වැළැක්වීමට කිසිවකුටත් නොහැකිවනු ඇත.


සබැඳි -

ප්‍රසංග පෙරේරා - ජා ඇල (lakbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?"

    Post a Comment