08 August, 2017

කම්කරු ව්‍යාපාරයට සමුදීම

Labor movement

අපගේ සේවා කාලය කාලය පරිච්ඡේද දෙකක් තුළ සිදු විය. පළමු කොටස තරාළ මීසමෙන් මාරුවක් ලැබීමේ දී වසර 1997 ඔක්තෝබර් මාසයේ දී ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයට හා තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ කොළඹ අගරදගුරු පදවියේ හා ජාතික සේවාව නිමිත්තෙන් උපාධ්‍ය වශයෙන් අපට පත්වීම ලැබිණි. ඒ අනුව සේවය කරනු ලැබුවේ ඒකළ පිහිටි “කම්කරු සේවය” යන ස්ථානයේ නේවාසිකව සිටීමෙනි.

එම මුල් කාලය අවසානයේ දී වසර 2008 පෙබරවාරි මාසයේ නිට්ටඹුව මීසම් සේවක වශයන් පත්වීම ලැබිණි. එවිට සභා නායකයත්වය අපට ප්‍රකාශ කරනු ලැබුයේ අප සභාවට පක්ෂපාත නොවන පියතුමෙක් වශයෙනි. එම ලේබලය කිසිසේත් පිළිගත නොහැකි බරපතළ චෝදනාවකි. ඉන් පසුව දෙවසරක් නිට්ටඹුවේ මීසම් සේවක වශයෙන් කටයුතු කිරීමට මට අවසර ලැබුණි.

ඉන් අනතුරුව කොළඹ අගරදගුරු පදවියේ එඩේරා වශයෙන් පත්වීම ලැබු අතිගරු මැල්කම් රංජිත් කාර්දිනල් හිමිපාණන් එතුමා ආරම්භ කළ සැලසුම් කිරීමේ කමිටුවට අපව පත් කර ඉන්පසුව නැවත වරක් කම්කරු දූත මෙහෙවර ඉටු කිරීමට පත්වීමක් ලබාදුනි. එම පත්වීම ලැබුණේ කොළඹ අගරදගුරු පදවියට පමණි.

දෙවන වාරය ආරම්භ වූයේ වසර 2010දීය. එම කාලය නිමාවට පත් වුයේ වසර 2018 ජුනි මාසයේදීය. මේ අනුව වසර 18ක් පුරා කම්කරු ව්‍යාපාරයන්හි සේවාවන් සැලසීමට දේව ආශීර්වාදය අපට ලැබුණි. ඒ සියල්ල වෙනුවෙන් දෙවියන් වහන්සේට අපගේ ස්තුතිය ප්‍රණාමය පිදීම අපගේ වගකීමය. එම කාල තුළ ජාතික කම්කරු ව්‍යාපාරයට පමණක් නොව ආසියාවේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේද උපාධ්‍යය වශයෙන් ඉතා සීමිත සේවාවක් ඉටු කිරීමට අවස්ථාව උදා විය. මේ අනුව තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ ජාතික හා පදවි වශයෙන් වෙන් කිරීමකින් තොරව සේවය සැලසු අතර එහි ආසියාතික පුහුණු කඳවුරුවලට සම්බන්ධ වීමට හා අදහස් බෙදා ගැනීමට අපට අවස්ථාව ලැබුණි.

නිදහස් වෙළඳ කලාපයන්හි සේවාලාභින්ගේ එකතුව

අපගේ මතකය අවදි කරමින් මුල් කාලය තුළ අපගේ සේවාවත් සමඟ ආරම්භ වු ප්‍රධාන සේවාවක් වූයේ නිදහස් වෙළඳ අයෝජන කලාප තුළ හා කර්මාන්තපුරවල විවිධ සේවාවන්හි නිරතවූ සංවිධාන ඒකාරාශි කිරීමය. සෑම මසකට වරක් ඒකළ කම්කරු සෙවණේ දී රාජ්‍ය නො වන සංවිධාන, වෘත්තීය සමිති, කටුනායක හා බියගම සේවාවන් ඉටු කළ සංවිධාන ගණනාවක් එසේ රැස්වූයේ වැඩ කරන ජනතාවගේ ගැටලු නිරාකරණය කිරීමටය. පොදුවේෙ පියවරු, පැවදි සොහොයුරියන් හා වෘත්තීය සමිති නායකයන් හා මෙම එකතුව සම්බන්ධ විය.

එහි දී සාකච්ඡා කළ කරුණු අතර කාන්තාවන්ට රාත්‍රි වැඩ මුරය සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරවීම,

වැඩ කරන අයගේ වැටුප් වැඩිකිරීම, නේවාසිකාගාරවල සිදුවන අවැඩ, පහසුකම් මඳවීම, ලිංගික අපහරණය, නේවාසිකාගාර අවට වෙළඳුන්ගේ සුරාකෑම, නිදහස් වෙළෙඳ කලාප කාන්තා ශ්‍රමිකයන්ගේ අඩු තක්සේරුව, ගමනාගමන පහසුකම් මඳවීම ඒ සඳහා ඉල්ලීම් කිරීම, කර්මාන්තශාලාවල පහසුකම් ආදිය ගැන උනන්දු කරවීම, අවසරගත හැකි අයුරින් කර්මාන්ත ශාලා බැහැ දැකීම, මීරිගම කර්මාන්තපුරයට සංචාරයක යෙදීම, කර්මාන්තශාලාහි ගැටලු හටගත් විට වැඩ කරන ජනතාවට සහාය ලබා දීම, නිදහස් වෙළෙඳ කලාප තුළ වෘත්තීය සමිති පිහිටුවීමේ නිදහස සඳහා ඉදිරිපත් වීම, නේවාසිකාගාර බැහැ දැකීම වැනි කරුණු විය. එමෙන්ම, කම්කරු අයිතීන් සුරැකීම සඳහා ශ්‍රමික ජනතාව දැනුම්වත් කිරීම ප්‍රමුඛතාවයක් විය. මෙවන් ගැටලු ගැන රජයේ නිලධාරින් දැනුම්වත් කිරීම, ශ්‍රමිකයන්ට හිමිවිය යුතු අයිතීන් ගැන දැනුම්වත් කිරීම, පත්‍රිකා බෙදා දීම, නි. වෙ. කලාප හා කම්හල්වල සිදුවන ගැටලු තනි තනිව කටයුතු කරනවා වෙනුවට සාමුහිකව කටයුතු කරමින් වැඩකරන ශ්‍රමිකයන්ගේ පැත්ත ගැනීමට ලැබීම වාසානාවකි.

වැඩ කරන ජනතාවට ඉතා වැදගත් වන අර්ථ සාධක මුදල් නොගෙවීම වැනි කරුණුවල දී ඒ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් ඒබ ව දැනුම්වත් කිරීම නිසා සාර්ථක වූ අවස්ථාවද දක්නට ලැබුණි.

මෙම සේවාව ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයට හා තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යපාර දෙකටම සම්බන්ධ වීමට හැකියාව ලැබුණු අතර, කිතුනු නොවන මෙන්ම වෘත්තීය සමිත හා සමඟ සම්බන්ධව ක්‍රියාත්මක වීමට ලැබීම එක්තරා ආකාරයක ජයග්‍රහණයක් විය. මේ නිසා නිදහස් වෙළඳ කළාප හා කම්කරු පුර හරයා විවිධ සේවාවන්හි නිරත වූවන් හඳුනා ගැනීමට ලැබීමට භාග්‍යයක් විය.

රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා
ඡායාරූපය - රුවන් ද සිල්වා (දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කම්කරු ව්‍යාපාරයට සමුදීම"

    Post a Comment