- මතක ඇති කාලේ මගේ අම්මා පාරේ හිඟා කෑවා..
- උඹයි කලු අයියව මැරුවේ කිව්වම මට මාව පාලනය කරගන්න බැරුව ගියා..
- පුංචි කාලේ ඉඳලම මම ගත කළේ කාලකන්නි ජීවිතයක්..
ජීවිතේ හදාගන්න ලොකු කාලයක් ගතවුණත් ජීවිතේ වැරදෙන්න ගතවෙන්නේ පුංචි වෙලාවක්.
ඒත් සමහර වෙලාවට ජීවිතේ සිද්ධවෙන එක සිදුවීමක් මුලු ජිවිත කාලෙම වුණත් අඳුරු කරන්න පුළුවන්.
ඒ නිසා ඕනම දෙයක් කරනකොට දෙපාරක් හිතුවනම්, ඒ වගේම තමන් කරන දෙයින් ලැබෙන ප්‍රතිඵලය ගැන හිතුවනම් මිනිස්සුන්ට ජීවිත හරි පාරට ගන්න ඒ තරම් අමාරු වෙන එකක් නැහැ.
මේ මිනිස් ඝාතනයක් සිදුකර ජීවිතය වරදවාගත් එවන් මිනිසෙක් සිදුකළ හදවත් සසල කරවන සංවේදී පාපොච්චාරණයක්.
පුංචි කාලේ මතකද..?
“අපොයි ඔව්.... අපි රෑට නිදිය ගත්තේ බස් හෝල්ට්වල. ඒකට කිසිම බාධාවක් තිබුණේ නැහැ. අව්ව, වැස්ස මට හොඳට හුරුයි. රෑ දහය විතර වෙනකොට ටවුන් එකේ බස් නැවතුම්පොළ හිස් වෙනවා. හිඟන්නෙක් දෙන්නෙක් ඇරෙන්න වෙන කවුරුවත් නැහැ. හිටපු ගමන් පොලිසියේ මහත්තයෙක් දෙන්නෙක් යනවා.”
“අම්මා දවල් තිස්සේ හිඟා කාපු සල්ලිවලින් මට රෑට බඩ පිරෙන්න කන්න අරන් දෙනවා.
ඊට පස්සේ බස් හෝල්ට් එකේ මුල්ලකට වෙලා නිදාගන්නවා. මට අවුරුදු පහක් හයක් විතර කාලේ තමයි අම්මා වාහනේකට යටවෙලා මැරුණේ.
අම්මව ඉස්පිරිතාලෙට ගෙනිච්චම මමත් අඬාගෙන ඒ පස්සෙන්ම ගියා. ඒත් අම්මා මැරුණා කියලා මට දැනුණේ නැහැ.
ඉස්පිරිතාලෙන්ම වෙන්නැති අම්මව වළදාන්න ඇත්තේ. මං එදා රෑ බස් හෝල්ට් එකේ මුල්ලකට වෙලා අඬ අඬා හිටියා.
මට හිතාගන්න බැරිවුණා අම්මා නැතිව ජීවත් වෙන්නේ කොහොමද කියලා. මං එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා.
අනිත් හිඟන්නෝ මට අනුකම්පා කළා. ඒ නිසා වෙන්න ඇති ඒගොල්ලෝ මට කන්න බොන්න ගෙනැල්ලා දුන්නේ.
මං දවස් ගණන් ඉබාගාතේ ඇවිද්දා. එහෙම ඉන්න අතරේ තමයි මාව පොලිසියට අහුවුණේ. පොලිසියෙන් මාව ළමා නිවාසයකට බාර දුන්නා.”
ළමා නිවාසේ ජීවිතේ හොඳයිද....?
“මං කැමති වුණේ නැහැ එතැන ඉන්න. පුංචි කාලේ ඉඳලම මං හිටියේ පාරේ. මට පාරේ ජීවිතය පුරුදුවෙලයි තිබුණේ.
ඒත් ටික දවසක් යද්දී මම ළමා නිවාසේ ජීවිතේට හුරුවුණා. ටික ටික ලොකු වෙද්දී අම්මා නැති පාළුවත් මට හොඳට දැනුණා. මං හිතාගත්තා නිවාසෙන් පැනලා යනවා කියලා. එතැනට ගිහිල්ලා මාස තුනකට පස්සේ තමයි මට පැනගන්න පුළුවන් වුණේ. හැන්දෑවේ නිවාසය වහන්න කලින් මං ගේට්ටුවෙන් එළියට ආවා. පාරේ හැංගිලා ඉඳලා රෑ වුණාම බස් හෝල්ට් එකකට ආවා....”
ඊට පස්සේ මොකද වුණේ.?
“මට බය හිතුණා අයෙත් මාව පොලිසියෙන් අල්ල ගනීවි කියලා. මං හැංගි හැංගි හිටියේ. කළුඅයියා හම්බවුණේ ඒ වෙලාවේ.
මං කළු අයියව දැක්කේ වීරයෙක් වගේ. එයා හරි උස මහතයි. "කොල්ලෝ උඹ වරෙන් මා එක්ක යන්න...."
කළු අයියා මාව අතින් අල්ලගෙන එක්කගෙන ගියා. එතකොට වෙලාව රෑ නවයට විතර ඇති. කළු අයියා එයාගේ බිරිඳට කියලා මට හොඳට කන්න දුන්නා. ඊට පස්සේ තමයි කළු අයියා මගේ විස්තර ඇහුවේ. කළු අයියා මොනවා වුණත් කරුණාවන්ත මනුස්සයා.
“උඹ මෙහෙට වෙලා හිටපන්.... හැබැයි කොල්ලෝ උඹ ඉස්කෝලේ යන්න ඕන.....”
“ඒ කාලේ ඉස්කෝලේ නිවාඩු. අලුත් පාසල් වාරෙදි කළු අයියා මාව ඉස්කෝලේ දාන්න අරගෙන ගියා.
අලුත් පොත් බෑග්, අලුත් ඇඳුම්, සපත්තු මට අරන් දුන්නා. එදා මං මාව දැක්කේ කුමාරයෙක් වගේ.... පද්මිණී අක්කා, ඒ කියන්නේ කළු අයියගේ බිරිඳ එයා මගේ මුහුණ ඉබලා මෙහෙම කිව්වා.....”
“උඹ නම් හිඟන පැටියෙක් කියන්න බෑ කොල්ලෝ.. පද්මිණී අක්කයි, කළු අයියයි දෙන්නම මාත් එක්ක ගියා...”
“කෝ උප්පැන්න....” කෝ පදිංචිය සනාථ කරන ලියුම්.. “කෝ.... කෝ..... අරවා මේවා...... කිය කියා ප්‍රින්සිපල් එක එක සහතික ගැන ඇහුවා.
කළු අයියට කේන්ති ගියා. මේකා අසරණයෙක්.... මුගේ අම්මා තාත්තා කවුද කියන්න අපි දන්නේ නැහැ.... පුළුවන් නම් බාර ගන්නවා. මේ ඉන්නෙත් ළමයෙක්.....”
කළු අයියා විදුහල්පතිතුමා ඉස්සරහ කෑ ගැහුවා. හැමෝම එබිලා බැලුවා. මං කළු අයියගෙ දිහා බැලුවා. මම කළු අයියගේ අතේ එල්ලුණා. පද්මිණී අක්කටයි, කළු අයියටයි මැදිවෙලා මං ආයෙත් ගෙදර ආවා..
කොල්ලෝ මීට පස්සේ උඹේ නම සමන්ත. උඹේ අම්මා පද්මිණී. තාත්තා සිරිසෝම. ඒ කියන්නේ කළු අයියා වන මම. කළු අයියා එහෙම කිව්වේ ආඩම්බරෙන්..
ඊට පස්සේ ඉස්කෝලේ ගියාද....?
අනේ නැහැ.... කළු අයියා කියන්නේ චණ්ඩියෙක්. ඒත් එයා කොහොම හරි ඒ ගොල්ලන්ගෙ නම් දාලා මට උප්පැන්නයක් හදලා දුන්නා. ඒත් මාව ඉස්කෝලේ යැව්වේ නැහැ.
හැමදාම රෑට කළු අයියයි, පද්මිණී අක්කයි මට අකුරු ලියන්න කියලා දුන්නා. මට ටික දවසකින් හොඳට ලියන්න, කියවන්න පුළුවන් වුණා.
කළු අයියට දරුවෝ හිටියේ නැද්ද....?
මං දන්න තරමින් නැහැ. අඩුම ගාණේ ඒගොල්ලෝ බැඳලද කියන්නවත් මම දන්නේ නැහැ...
කළු අයියගේ රස්සාව මොකක්ද....?
කළු අයියා කප්පම් ගත්තා. කළු අයියට හිටියා පොකට් ගහන කණ්ඩායමක්. කළු අයියගේ ගෙදර ඕන වෙලාවක කොල්ලෝ දෙතුන්දෙනෙක් හිටියා.
මට නම් කළු අයියා හොඳට සැලකුවා. මට අවුරුදු දාසයක් විතර වෙනකොට කළු අයියට අවුරුදු පනහක් විතර ඇති. පද්මිණී අක්කා නම් එන්න එන්න ලස්සන වුණා.
ඒ දෙන්නා හරි ආදරෙන් හොඳට හිටියා. මට වෙනස්කමක් කළේ නැහැ. මමත් ඒ දෙන්නට ආදරෙන් සැලකුවා.
පුතේ උඹ නම් මං වගේ වෙන්න එපා..... උඹ හොඳට හැදියන්.... උඹ මගේ ගෑනිව උඹේ අම්මා කියලා හිතලා ආදරෙන් බලාගන්න ඕන.
කළු අයියා එහෙම කිව්වේ එයා පිහි ඇනුමක් කාලා මැරෙන්න සතියකට විතර කළින්.
කොහොමද කළු අයියා මැරුණේ...?
අපි කවුරුත් හිතුවේ නැති වුණාට කළු අයියට තරහකාරයෝ හිටියා. එයාව මැරුවේ එහෙම කෙනෙක්. කවුද ඒක කළේ කියලා අපිට හොයාගන්න බැරිවුණා.
කළු අයියගේ මරණෙන් පස්සේ පද්මිණී අක්කා හුඟක් ලෙඩවුණා. කළු අයියා මැරිලා අවුරුද්දකට විතර පස්සේ පද්මිණී අක්කත් පපුවේ අමාරුවක් හැදිලා මැරුණා..
ඊට පස්සේ...
මං ආයෙත් ජීවිතේ තනි වුණා.... ඒත් කළු අයියගේ පිරිස මාත් එක්ක හිටියා. “පොඩි මහත්තයා” එක්ක අපි ඉන්නවා...
ඒ ඔක්කොමලා මට කිව්වා. මං දවස් ගණන් කල්පනා කළා මොකක්ද කරන්නේ කියලා.... අන්තිමට මං කළු අයියා කරගෙන ගිය ටික දිගටම කරගෙන යන්න තීරණය කළා.....”
කළු අයියව මරපු කෙනාව හොයාගත්තේ නැද්ද....?
මගේ හිතේ මොන දේවල් තිබුණත් කළු අයියව මැරුවේ කවුද කියලා හොයාගන්න මට උවමනාව තිබුණා. මම හැම වෙලේම ඉව අල්ල අල්ල හිටියේ ඒක කළේ කවුද කියලා දැනගත්තා.”
විවාහ වුණේ නැද්ද...
මගේ හිත ගිය ගෑනු ළමයෙක් හිටියා. ඒත් ඒ ළමයගේ ගෙදරින් මට කැමති වුණේ නැහැ.
ගෑනු ළමයත් පස්සේ මට අකමැති වුණා. ඊට පස්සේ මම ඒ අදහස හිතෙන් අත්ඇරලා දැම්මා. මං විවාහ වෙන්නේ නැහැ කියලා හිතාගත්තා..
හේතුව තමයි තව ගෑනු ළමයි ගැන හිතුවත් අන්තිමට ඔය ප්‍රශ්නයම මතුවෙන බව මං දන්න නිසා..
එතකොට හිරේ එන්න වුණේ....?
මං කිව්වේ මුල ඉඳලම මම කළු අයියව මැරුවේ කවුද කියලා හොය හොයා හිටියේ කියලා. දවසක් ඒ කියන්නේ, සිංහල අවුරුද්ද දවසක කළු අයියගේ කොල්ලෝ අපේ ගෙදර පැදුරු සාජ්ජයක් දැම්මා.
එදා උන් හොඳටම බීලා හිටියේ. මේ අතර සංජීව කියලා කොල්ලෙකුයි ජගත් මල්ලියි බීලා වැඩිවෙලා රණ්ඩුවෙන්න ගත්තා.
මං මේ හැම දෙයක් දිහාම බලාගෙන හිටියේ. ඒ වෙලාවේ තමයි සංජීව ජගත්ට බනින්න ගත්තේ, “උඹ කළු අයියව මැරුවා....” කියලා. ඒක ඇහුවම මට මාවම පාලනය කරගන්න බැරුව ගියා.... මං ඉනේ තිබුණ පිහිය ඇදලා අරන් ජගත්ට පිහියෙන් ඇන්නා..
ඉවසුවා නම් හොඳයි කියලා දැන් හිතෙන්නේ නැද්ද.....?
අපෝ නැහැ.... මං පුංචි කාලේ ඉඳලම ගත කළේ කාලකණ්ණි ජීවිතයක්. වැරදි වැඩ කළත් කළු අයියා මට ජීවිතේ හදලා දුන්නා.
පද්මිණී අක්කා කළු අයියා මට අම්මා තාත්තා වුණා. ඒ මනුස්සයා මරපු එකාව මරනවා මිසක් මං කොහොමද ඒ මනුස්සයට කළගුණ සලකන්නේ.