18 June, 2017

ඉන්දියාවේ ප්ලාස්ටික් සහල්?

plastic rice

ඉන්දියාවට ප්ලාස්ටික් සහල් ගැටලුවක් මතු වී ඇත. මේ ගැටලුව පැන නැඟී ඇත්තේ ඉන්දියාවේ හයිද්‍රාබාද්හි හෝටල්කරුවන් බුරියානි සැකසීම පිණිස ‘අමුතු‘ සහල් වර්ගයක් යොදාගන්නේ යැයි කියා පාරිභෝගිකයන් චෝදනා කිරීමත් සමඟය. මෙය පරිභෝගිකයන්ගෙන් නැඟී ඇති එකම චෝදනාව නොවන බව ද වාර්තා වේ. දිල්ලි නගරයේ සහල් පාරිභෝගිකයන් කියන්නේ ප්ලාස්ටික් සහල් වෙළඳපොළ තුළ විකිණීමට තබා ඇති බවකි. 

මේ අතර දිල්ලියෙහිම හරිද්වාර් දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා නගරයක් වන ලක්සාර්හි ආයතනයක සේවකයන් පිරිසක් ප්‍රකාශ කරන්නේ තම ආයතනයේ ආපන ශාලාවේ විකුණන්නට තිබුණු බත් පාර්සලවල ප්ලාස්ටික් සහල්වලින් පිසින ලද බත් තිබුණු බවකි. එකී බත් පාර්සලවල තිබුණේ තමන්ට සැපීමට පවා අපහසු බත් යැයි ඔවුහු පවසති. මේ නිසා තමන් ආහාරයට ගන්නේ ස්වභාවික සහල්වලින් පිසින ලද බත්මදැයි කියන සාධාරණ සැකය මතු වුණු බැව් ඒ සේවකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

සැක කටයුතු සහල් වර්ග පිළිබඳ දැනගන්නට ලැබුණු විගස පාරිභෝගිකයන් ඒ ගැන මාධ්‍යට පවසා ඇත. තවත් සමහරු ඒ ගැන සමාජ මාධ්‍ය ජාල ගිණුම්වල සටහන් තැබූහ. ඒ සහල්වල වීඩියෝ දර්ශන ද ඔවුන් සමාජ මාධ්‍ය ජාලවලට යොමු කර තිබේ. මේ නිසා ප්ලාස්ටික් සහල් පිළිබඳ රාවය ලැව් ගින්නක් වී ඉන්දියාව තුළ පැතිරෙන්නට පටන් ගෙන ඇත.

ප්ලාස්ටික් සහල් නමින් හඳුන්වනු ලබන මේ සහල් වර්ගය පිළිබඳ රාවය දිගින් දිගටම පැතිරෙන්නට වීමත් සමඟම ආහාර ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් ඒ ගැන සොයා බලන්නටනිලධාරීන් පත් කෙරිණ.

“අපි සාම්පල 27ක් පමණ වෙළඳපොළෙන් ලබාගත්තා. එයින් 20ක්ම, සහල් සාම්පල. හතක් බත් සාම්පල. බත් සාම්පල ලබා ගත්තේ විවිධ හෝටල් සහ ආපනශාලාවලින් නගරයේ සෑම තැනක්ම හසුවන ආකාරයටයි. ඒ එක සාම්පලයකින්වත්, ප්ලාස්ටික් සහල් තියෙන වගක් තහවුරු වුණේ නැහැ. ඒ නිසා මේක අසත්‍යය ප්‍රචාරයක් ” ඒ නිලධාරීහු පවසති.

ප්ලාස්ටික් සහල් කතාව බොරුවක් බව දිල්ලි ආහාර ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් පැවසුවද පාරිභෝගිකයන් නිතර නිතර කියන්නේ, ප්ලාස්ටික් සහල් සැක සහල් විශේෂයක් තමන්ට වෙළඳපොළෙන් ලැබුණු බවය. එනිසා දිල්ලි ආහාර ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහත් අසීරුතාවකට පත්ව ඇති බැව් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මේ මාසය ආරම්භයේදීම වාගේ ඉන්දියාවේ උත්තර්ඛණ්ද් ප්‍රාන්තයේ නයිනිතාල් දිස්ත්‍රික්කයෙන්ද ප්ලාස්ටික් සහල් පිළිබඳ පැමිණිල්ලක් ලැබී තිබිණ. බලධාරීහු එකී සහල් සොයා මෙහෙයුමක් දියත් කළහ. එහිදී ඔවුන්ට කළවම් කළ සහල් වර්ග විකුණන වෙළෙඳුන් සොයාගත හැකි විණ. කළවම් සහල් වර්ග චීනයෙන් ගෙවන ලද ඒවා බව පසුව සනාත විය. එකී කළවම් සහල්වල, ප්ලාස්ටික් සහල්ද අඩංගු වී තිබුණේ යැයි නයිනිතාල් බලධාරීන් තහවුරු කරගත් බව ‘ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා‘ පුවත්පත වාර්තා කර තිබිණ. චීනය සහ වියට්නාමය ප්ලාස්ටික් සහල් කරන බැව් ‘ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා‘ වාර්තාව පෙන්වා දෙයි. කෙසේ වුවද ප්ලාස්ටික් සහල් නිෂ්පාදනය සඳහා දරන්නට යන වියදම, ස්වභාවික සහල් නිෂ්පාදනයට යන වියදමට වඩා බෙහෙවින් අධික බව සමහරු පෙන්වා දෙති.

ප්ලාස්ටික් සහල් නිෂ්පාදනය සහ ප්ලාස්ටික් සහල් පිළිබඳ කතා බහේ ඉතිහාසය ගැන ද ෙයමක් සටහන් කළ යුතුව ඇත. මාධ්‍ය වාර්තා අනාවරණය කරන ආකාරයට ප්ලාස්ටික සහල් වශයෙන් හඳුන්වන සහල් විශේෂයක් නිෂ්පාදනය වන්නට පටන්ගෙන තිබෙන්නේ චීනයේ වූචැන්ග්හි සහල් නිෂ්පාදනයත් සමඟය. වූචැන්ග්හි නිෂ්පාදනය කෙරෙන සහල්වලට අතීතයේ පටන් විශාල ඉල්ලුමක් තිබී ඇත. 

ඒ අනෙකක් නිසා නොව ඒ සහල්වලින් නික්මුණු සුවිශේෂ සුවඳ ගතිය නිසයි. මේ නිසා නියම වූචැන්ග් සහල් අලෙවි වී තිබෙන්නේ ඉහළ මිලකටය. 2010 වසරේ සිට වූචැන්ග්හි සහල් නිෂ්පාදකයන් වූචැන්ග් සහල්වල සුවඳ, වෙනත් සහල් වර්ගවලට කවා එම සහල් වර්ග නියම වූචැන්ග් සහල් ලෙස අලෙවි කර තිබේ. එම වංචාවේ එක් අදියරකදී සහල් නිෂ්පාදකයන් අර්තාපල්, බතල සහ විෂ සහිත ප්ලාස්ටික් වර්ගයක් යොදාගෙන සහල් වර්ගයක් කෘත්‍රිමව නිෂ්පාදනය කර ඇති බව සිංගපූරු මාධ්‍ය සේවා වරක් පෙන්වා දුන්නේ ය. 

කෘත්‍රිම සහල්වලටත්, නියම වූචැන්ග් සහල්වල සුවඳ කවන ලද බව කියැවේ. එම කෘත්‍රිම සහල් විශේෂය හැඩයෙන් සහ ප්‍රමාණයෙන් සාමාන්‍ය සහල් ඇටවලට සමාන විය. නමුත් ඒවා විෂ සහිතය. මුල් කාලයේදී මේ කෘත්‍රිම සහල් වෙළඳපොළට යවා තිබෙන්නේ නියම වූචැන්ග් සහල් සමඟ මිශ්‍ර කරමිනි. වසරකට සාමාන්‍යයෙන් ටොන් ලක්ෂ 8ක් පමණ නියම වූචැන්ග් සහල් නිෂ්පාදනය කෙරුණු වග දැක්වේ. 

නමුත් අලෙවි වාර්තාවල දැක්වෙන අන්දමට වසරකට වූචැන්ග් සහල් ටොන් මිලියන 10 ආසන්න ප්‍රමාණයක් 2010 වසරේ සිට අලෙවි කර තිබේ. ස්වභාවිකව නිෂ්පාදනය කෙරෙන සහල් ටොන් ලක්ෂ 8ට අමතරව නිෂ්පාදනය කෙරෙන සහල් ටොන් මිලියන නවයකට ආසන්න ප්‍රමාණය මුළුමනින්ම ප්ලාස්ටික් සහල්දැයි කියා කියන්නට සාක්ෂි නැත. සමරවිට ඒ තුළ වූචැන්ග් සහල්වල සුවඳ කවන ලද වෙනත් ස්වභාවික සහල් වර්ග තිබෙන්නට ඇත. (dinamina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉන්දියාවේ ප්ලාස්ටික් සහල්?"

    Post a Comment