09 January, 2017

වවුනියාවේ ගණිතයෙන් පළමුවැනියා අඹන්පොළ රිය අනතුරින් මිය ගිය සිසුවියයි

shiva-durga

සංසාර චාරිකාවේ නිමා නොවන ගමන් මඟෙහි සැරිසරනා අප ලැබූ කෙටි ජීවිතය කෙසේ විඳිත්ද? කෙසේ විඳවත්ද? සිතා බැලුවහොත් විටෙක ජීවිතය යනු විඳීම සහ විඳවීම අතර මැද මාවතකි. ගෙවුණු ජීවිතය දෙස ආපස්සට නෙත් විවර කළහොත් අප සැම ලද ජයග්‍රහණ සහ නොලද ජයග්‍රහණ ගැන සිතා විඳින්නෝ සහ විඳවන්නෝ නොවේද?

ලද ජයග්‍රහණයක සතුට විඳ දරා ගැනීම යනු එය දෑසින් දැක සවනින් අසා මනසින් විඳීමට හැකි වීමයි. නමුදු ජීවිත කාලයක් පුරා උත්සුක වී ලබා ගත් ජයග්‍රහණයක සතුට විඳීමට තරම් භාග්‍යක් නොවුණු දියණියකගේ ශෝක දිගහැරුමක් පසුගියදා සවන්ද වැකුනේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟය.
ඔබට මතකද පසුගිය ඔක්තෝබරයේ අඹන්පොළ දී සිදුවූ රිය අනතුර. 

කොළඹ බලා ගමන් ගනිමින් හුන් සිය සුළු මව වන වෛද්‍යවරිය සමඟින් ජීවිතයෙන් සමුගත් දියණිය ශිවදුර්ගා සත්‍යනාදන්. අද ඇය ජීවත් නොවුණද ජීවත් වූ කෙටි කාලයේදී ඇය දැක්වූ හපන්කම්වල ප්‍රතිඵල නිකුත් වී ඇතත් එහි සතුට විඳගැනීමට ඇය අප අතරින් වෙන් වී ගොසින්ය. වවුනියාව දිස්ත්‍රික්කයේ ගණිත අංශයෙන් පළමුවැනියා වීමට තරම් ඇය භාග්‍යවත් වුවද එය දැක දෑසින් සවනින් අසා මනසින් විඳීමට තරම් ඇය භාග්‍යවත් නොවූවාය.

ඇයගේ විභාග ප්‍රතිඵල දැක සතුටු විය යුතුද දුක් විය යුතුද යන්න සිතාගැනීමට අපහසුවන්නේ ඇය ජීවත් වූවා නම් යන හැඟීම, ලැබූ ප්‍රතිඵලවලින් ලද ජයග්‍රහණය පරයා ඉස්මතු වීමය. කෙසේ වතුදු අද ඇය ජීවතුන් අතර නැත. ඇය නැති සොවින් වැලපෙන ඇයගේ මවුපියන්ට ඇයගේ මේ ජයග්‍රහණය පළ කළේ තවත් ශෝකයකි.

මිතුරු මිතුරියන් පවසන්නේ විභාග ප්‍රතිඵල පැමිණියද ඒ දෙස බලා සතුටුවීමට තමන්ට නොහැකි බවයි. අද ශිවදුර්ගා අප අතර සිටියා නම් කෙසේ සතුටු වේද? යැයි ඔවුහු කඳුළු පිරි දෑසින් ප්‍රකාශ කරති. තමන්ගේ ප්‍රතිඵල බලා ගැනීමට රම්බකුලම කාන්තා විද්‍යාලයට පැමිණි සිසු සිසුවියෝ තම ප්‍රතිඵලවලින් ලද ජයග්‍රහණ සතුටුදායක වුවත් තම යෙහෙළියගේ මතකය අවදිවීමෙන් ඉමහත් ලෙස ශෝකයට පත්ව සිටී. මෙවන් දැරියකට අත්වූ අකල් මරණයත් ඇය අද ලබා ඇති ජයග්‍රහණය වවුනියාව රම්බකුලම කාන්තා විද්‍යාලයම කම්පනයට පත්කළ සිදුවීමක් වූ බව එහි ගුරුවරියෝ කඳුළු පිරි දෑසින් ප්‍රකාශ කළහ.

වවුනියාව - මාධව කුලසූරිය

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වවුනියාවේ ගණිතයෙන් පළමුවැනියා අඹන්පොළ රිය අනතුරින් මිය ගිය සිසුවියයි"

    Post a Comment