29 August, 2017

ලෝකය දියුණුවුණාට ආකල්ප දියුණුවෙලා නැහැ

TITLE
- ශාස්ත්‍රවේදී කොට්ටාවේ සමිත හිමි

අද ලෝකය සංවර්ධනය වී ඇත. තාක්ෂණික වශයෙන් හා විද්‍යාත්මකව ඉහළ වර්ධනයක් පෙනෙන්නට ඇත. එහෙත් මේ සියල්ලේම පැවැත්ම සඳහා මූලික වන මිනිසා සංවර්ධනය වී තිබේද යන්න කුකුසකි. සැබැවින්ම මිනිසාගේ ආකල්ප ධනාත්මකව වර්ධනය වී තිබේද යන්න පිළිබඳ අද ධර්ම සභාව තුළින් ඔබ දැනුවත් කරන්නේ මහනුවර, උඩහිඟුල්වල, විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිකාරී, ශාස්ත්‍රවේදී කොට්ටාවේ සමිත හිමිය.

වර්තමාන ලෝකය ශීඝ්‍රයෙන් දියුණුව වෙත ගමන් කළත් මිනිසා ආකල්ප වශයෙන් දියුණු වී තිබෙනවද?

මේක හරි සංකීර්ණ දෙයක්. ඇත්තටම අද ලෝකෙ බොහෝ දේ ඉතා දියුණු තලයක පවතිනවා ඒත් මිනිසා ආකල්ප වලින් නම් දියුණු වී නැති. බවයි පේන්නේ. විද්‍යාව හා තාක්ෂණයත් යහපත් චේතනාවෙන් දියුණු කළත් තවත් කෙනෙකුට හිංසාවක් හෝ මර්දනයක් උදෙසා කරන ලද දියුණුවද නැතිවාම නොවේ. මේ අන්ත දෙකම ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. මේ සියලු දේටම ප්‍රධාන වන්නේ මිනිසා තුළ ගොඩනැගෙන ආකල්පයි. ඒ නිසා සමාජයේ යහපැවැත්මට හා අයහපතට මිනිසා තුළ ජනිතවන ආකල්ප ඉතා වැදගත් වෙනවා.

කෙනෙකු තුළ ගොඩනැ‍ඟෙන ආකල්ප ඔහුගේ පැවැත්මට බලපාන්නේ කොහොමද?

මිනිසාගේ සියලු ක්‍රියාකාරකම් සිදුවන්නේ සිත හරහා. ඒ නිසා සිතුවිලි ගැන අපි සැළකිලිමත් වෙන්න ඕන. තණ්හාව, ආශාව,වෛරය, ක්‍රෝධය, මාන්නය, ආත්මාර්ථකාමීත්වය වගේ දූෂිත හැඟීම්වලින් සිත කිලිටි වෙන්න නොදී ආරක්ෂා කරගන්න ඕන. නැත්නම් සිදුවන්නේ භයානක විපත්ම විතරයි. සොබාදහම මිනිසාට උසස් මනසක් ලබා දී තිබෙන්නෙ උසස් විදියට සිතන්න. උසස් මනසක් තබාගෙන පහත් ආකල්ප සිත තුළ ජනිත කරගන්නවානම් ඒක මිනිස් සංහතියටම නිගාවක්. අවමානයක්. මනුෂ්‍යත්වයට කරන අපරාධයක්.

මේ තත්ත්වය පුද්ගලයාගේ පෞරුෂයට සෘජුව බලපානවා‍ නේද?

ඔව්! කෙනෙක් පවුල තුළ හෝ සමාජය තුළ ප්‍රියමනාප, ආකර්ෂණීය පුද්ගලයකු වෙන්නෙ ඔහුගේ හෝ ඇයගේ චර්යාව මතයි. චර්යාව තුළින් ක්‍රියාත්මක වෙන්නේ සිතේ හටගන්නා ආකල්පයි. සමහර දරුවො ඉන්නවා ඒ අය මව්පිය වැඩිහිටි අයටත් කීකරු නැහැ. අඩ - දබර ඇතිකර ගන්නවා. ඒවගේ තමයි ඇතැම් මව්පියොත් පවුලේ අය සමඟ අඩදබර ඇතිකර ගන්නවා. එකිනෙකා කරන කියන දේ එකිනෙකාට රුස්සන්නෙ නැහැ. එහෙම වටපිටාවක පවුලේ සමගිය සාමය ඇතිවෙන්නෙ නැහැ. අසමඟිය හා විරසකය පමණයි පවතින්නෙ. මේ තත්ත්වය උඩ එවැනි පුද්ගලයන් යහපත්, ගති ඇති ප්‍රසන්න පුද්ගලයන් වෙන්නෙ නැහැ. ඔවුන් තුළ නිතරම තියෙන්නෙ වෛරය හා කළකිරීම පමණයි. එවන් තැනැත්තන් තුළින් පවුලටවත් සමාජයටවත් යහපතක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔවුන් සමාජය පිළිකුල් කළ පුද්ගලයන් බවට පත්වෙනවා.

එවැනි පුද්ගලයන් සමාජගත වුවහොත් කුමන තත්ත්වයක් උදාවේවිද?

දූෂිත ආකල්පවලින් පිරිපුන් අය සමාජගත වූ විට මුළු සමාජයම විෂම වෙනවා. මහමඟ, පාසල, රැකියා ස්ථානය මේ සෑම දෙයක්ම විවිධ ජන කොටස්වලින් සැඳුම්ලත් සමාජ තලයක්. එවැනි ස්ථානවලට දූෂිත ආකල්ප ඇති අය සම්බන්ධවීමෙන් සිදුවන්නේ අයහපතක්ම පමණයි. පාසලක පන්තියක හිතුවක්කාර , දඩබ්බර, දරුවෙක් නිසා මුළු පන්තියම අපහසුතාවයට පත්වෙනවා. රැකියා ස්ථානය ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය හා ආත්මාර්ථකාමීත්වයෙන් පිරීගිය පුද්ගලයෙක් මඟින් එම සේවා ස්ථානයම අවුල්, වියවුල් ජාලයක් බවට පත්වෙනවා. මහමඟ තත්ත්වයත් එහෙමයි. අන්අයගේ නිදහස, ආරක්ෂාව, ආත්ම ගරුත්වය මේ සියල්ලම කෙළෙසෙනවා.

අද අප ජීවත්වන සමාජය දෙස බැලූ විට දූෂිත, පටු ආකල්පවලින් නිර්මාණය වූ පිරිස බහුලයි නේද?

ඔව්! අද සමාජගත වූ පිරිස් විෂම සිතුවිලිවලින් පෝෂණය වූ බවක් පේන්න තිබෙනවා. බොහෝමයක් තුළ පරාර්ථකාමීත්වය දකින්න නැහැ. හොඳින් හෝ නරකින් තමන්ගේ දියුණුව පමණයි සොයන්නෙ. හොඳ දේ තුළින් උදාකර ගන්නා දියුණුව කාලයක් පවතීවි. ඒත් නරක දේ තුළින් ලබාගන්නා දියුණුව තමන්ගේ නරකටම හැරේවි. ඒක තමයි ලෝක ස්වභාවය. බලන්න අද බොහෝ දෙනා තණ්හාවෙන් අන්ධ වෙලා එකිනෙකාට වංචා කරනවා. බලයට තියෙන කෑදර කමට ඕනෑම පහත් වැඩක් කරනවා. මේ දේවල් නිසා තවත් පිරිසක් අසහනයට හා අපහසුතාවයට පත්වෙනවා. මිනිසාගේ යුතුකම මිනිසාට සේවය කිරීම මිස මිනිසාට හිංසා කිරීම නොවෙයි. මේ නිසාම එකිනෙකා අතර සුහදතාව ඇතිවෙනවා වෙනුවට අසමගිය ඇති වෙනවා.

සමාජය තුළ අසමගිය ඇතිවෙන්න වාර්ගික ගැටලු ප්‍රධාන වෙනව නේද?

ඇත්තටම මේ සමාජය තුළ පවතින්නේ සත්ව වර්ග දෙකයි. මිනිස් හා තිරිසන් කියන වර්ග දෙකයි. මේ අතරින් තිරිසනාගේ බුද්ධිය අවමයි. මිනිසාගේ බුද්ධිය උපරිමයි. ඒත් අවම බුද්ධියෙන් කටයුතු කරන මිනිසුන් අප සමාජයේ නැතුවාම නොවෙයි. ජාති, ආගම්, කුල, වර්ණ, දුප්පත් - පොහොසත්, උස් - පහත් බේද බුදු රජාණන් වහන්සේගේ දර්ශනය තුළ නැහැ. උන්වහන්සේ පෙන්වා දුන්නේ වර්ග කළ හැක්කේ ඔහු විසින් සිතන ආකාරය හා ක්‍රියාකරන ආකාරය අනුවයි කියලයි. කෙනෙකු උසස් බ්‍රාහ්මණයකු වෙන්නෙත්, පහත් වසලයකු වෙන්නෙත් ක්‍රියාව මතයි කියන දේශනාව බුදුන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා.

බුදුන්ගේ දේශනාවට පටහැනිව යමින් ජාති, ආගම්, හා අනිකුත් බේද ඇතිකරමින් ඇතැමුන් සිදුකරන්නේ විශාල පාප කර්මයක් නේද?

ඔව්! අපි අපේ රට ගනිමු, අපේ රටේ ජන පිරිස් මිශ්‍රයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ජා, මැලේ වැනි ජනවර්ග විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. කොටසක් ප්‍රකටව හා තවත් කොටසක් අප්‍රකටව ජීවත් වෙනවා. මීට අමතරව ආගම් වශයෙන්ද බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික වැනි ප්‍රධාන ආගම් අදහන පිරිස් හා ස්වාධීනව ඉන්න පිරිසක් ද අප රටේ වාසය කරනවා. මේ හැමෝටම ජීවත් වෙන්න බිමක් අවශ්‍යයි. හැබැයි බුදු දහම අනුව මේ කිසිම බිමක් කිසිවෙකුටවත් අයිති නැහැ. සසර සැරිසරන ආත්ම ගණන්වලදී එක් එක් බිම් කොටස්වල තමයි වසන්නේ. අපිට කියල ස්ථිරසාර ජාතියක්, ආගමක්, කුලයක් නැහැ. ඉපදෙන එක්, එක් භවයන්හිදී අපි නොයෙක් ජාතීන්, ආගම්, හා කුලවල ඉපදෙනවා. ඒ නිසා මේ කිසිවක් අපට උරුම නැහැ.

අපට උරුම එකම දෙයයි. ඒ අපි කරන කුසල් හා අකුසල් පමණයි. ඒ නිසා අපි - අපි අතර කුලල් කා ගනිමින්, කොන් කිරීම් කරමින් පටු ආකල්ප ඉෂ්ට කර ගන්න යෑමෙන් සිදු වෙන්නේ ජාතියක් (මිනිස්) වශයෙන් අපිම පිරිහීමට පත්වීම පමණයි. මේ යථාර්ථය තේරුම් අරගෙන උසස් ලෙස හිතන්න පුළුවන් අපි උසස් ආකල්ප වලින්ම පෝෂණය වෙමු. කොතැනක හිටියත්, කොහොම ජීවත් වුණත් අපි හැමෝම මිනිසුන් බව සිතට ගනිමු. මිනිසෙක් තවත් මිනිසෙකුට ගරු කරයිද ඔහු මිනිසුන් අතර මිනිසකු බවට පත්වේවි.

සටහන - නිශාන් මෙන්ඩිස්
සේයාරුව - එන්.එස්. ෙක්. ශ්‍රීකාන්ත (දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලෝකය දියුණුවුණාට ආකල්ප දියුණුවෙලා නැහැ"

    Post a Comment