02 March, 2017

සිල් රෙදි නඩුව ‍පොදු දේපළ පනතින් ඉවත් කොට සාපරාධී සාවද්‍ය පරිහරණය යටතේ විභාගයට සලකා බලන්නැයි නියෝග

lalith-weeratunga-anusha-pelpita
හිටපු ජනාධිපති ‍ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් ඊයේ (01) කොළඹ මහාධිකරණයේ නඩුවට පෙනී සිටීමෙන් අනතුරුව අධිකරණ භූමියෙන් පිටව ගිය අයුරු. | (ඡායාරූපය : සස්සඳ ලියනාරච්චි)

සිල් රෙදි සම්බන්ධ නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති ‍පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනාව ඉවත් කොට දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන සාපරාධී සාවද්‍ය පරිහරණය චෝදනාව යටතේ නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට හැකිද යන්න සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (01) නීතිපතිවරයාට නියෝග කළේය.

නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී විත්ති පාර්ශ්වය විසින් නැගුණු ප්‍රශ්නයක් මුල් කරගෙන විනිසුරුවරයා මෙලෙස නියෝග කර සිටියේය.

අදාළ නඩුවේ විත්තියේ සාක්ෂි ලබා දුන් හිටපු ජනාධිපති ‍ලේකම් ලලිත් වීරතුංග මහතාගේ සාක්ෂි මෙහෙයවූ නීතිඥ කාංචන රත්වත්තේ මහතා අසනු ලැබූ ප්‍රශ්නවලට සාක්ෂිකරු මෙලෙස පිළිතුරු ලබා දුන්නේය.

ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ ගිණුමක් තියෙනවා තැ‍ප්‍රොබෙන් ශාඛාවේ. ඒ ගිණුම් අංකය මතක නෑ. මිලියන 600ක් එම ගිණුමට ප්‍රේෂණය කළා. නිල ගිණුම් විවෘත කිරීම, අත්සන් කිරීම මුදල් රෙගුලාසි 301, 321 යටතේ පැහැදිලිව සඳහන් වෙනවා. ගිණුමේ මුදල් තැන්පත් කිරීම, තැන්පත් මුදල් වැය කිරීම පැහැදිලිව දැක්වෙනවා. මේ නිල ගිණුම ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ පවතින්නේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලයේ සිට.

කොමිෂන් සභා රැස්වීමට එක් සාමාජිකයෙක් හැර අනෙක් සාමාජිකයින් සහභාගි වුණා. කිසිම අවස්ථාවක කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව මුදල් ගෙව්වේ නෑ. මෙම සිද්ධියට සම්බන්ධ සිල්රෙදි කිසි විටෙකත් මට ලැබිලා නෑ. ඒ වගේම කිසිම මුදලක් මට ලැබි නෑ. මෙම නඩුවේ සාක්ෂි ලබා දුන් ජයලත්ගේ සුමතිපාල, මොහොමඩ් හාජි අන්වර් යන
අය මං හඳුනන්නේ නෑ. මොවුන්ට වවුචර් ලබා දෙන විටවත් හමුවෙලා නෑ.

මෙම නඩුවේ සාක්කි ලබා දුන් වටිනාපහ සෝමානන්ද හිමි සම්බන්ධීකරණ ‍ලේකම් ලෙස කටයුතු කළා. ආගමික විහාරස්ථානවල අඩුපාඩුවලට ජනාධිපතිතුමාගේ මැදිහත්වීමට අනුග්‍රහය දක්වනවා. අරලියගහ මන්දිරයේ ‍පෝය දින පැවැත්වෙන ධර්ම දේශනාවට උන්වහන්සේගේ දායකත්වය ලැබෙනවා. සිල් රෙදි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මම වගේම ජනාධිපතිතුමාත් උන්වහන්සේට දන්වා තිබුණා ස්වාමිනි,

මෙපමණ සංඛ්‍යාවක සිල්රෙදි ප්‍රමාණයක් අවශ්‍යයි කියලා උන්වහන්සේ දැන්නුවා. ජනාධිපති විශේෂ මූලාරම්භන අරමුද‍ලේ මුදල් වැය කිරීමට මට හැකියාව තියෙන්නේ ජනාධිපතිතුමාගේ අනුමැතිය මතයි. අවස්ථා කිහිපයකදී හිටපු ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා විශේෂ මූලාරම්භන ගිණුමෙන් මුදල් අරගෙන කරන්න කියලා.

2014 වර්ෂයේ ඔක්තෝබර් 30 වන විට ජනාධිපතිවරණයත් තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නෑ. සය අවුරුදු දිවුරුමත් තියෙන නිසා මා දැනගෙන හිටියේ නෑ ඒ සම්බන්ධ නිල දැනුම්දීමක් දෙනකම් මං දන්නේ නෑ.

ජනාධිපතිතුමා ලබා දුන් නියෝගය නීත්‍යනුකූලයි කියලා අප හිතනවා. ඒ නියෝග මහජන සුබසිද්ධිය උදෙසා කරනු ලබන නියෝගයක්. ජනාධිපතිතුමා 2014 මාර්තු මාසයේ එම නියෝගය ලබා දුන්නේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුදලින් රුපියල් මිලියන 600ක සිල් රෙදි සඳහා වෙන් කළ බවට අධි චෝදනා ලැබූ හිටපු ජනාධිපති ‍ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් ඇප මත සිටිමින් අධිකරණයේ පෙනී සිටියහ.

වර්ෂ 2014 ඔක්තෝබර් 30 වැනි දා හෝ 2015 ජනවාරි මස 05 වැනි දින අතර කාලය තුළදී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන හයසියයක මුදලක් 1996 අංක 27 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතින් සංශෝධිත 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදනවලට පටහැනිව සිල් රෙදි ලබා දුන් බවට නීතිපතිවරයා විසින් චෝදනා 3ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.

-කවින්ධ්‍යා පෙරේරා-_රිවිර

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සිල් රෙදි නඩුව ‍පොදු දේපළ පනතින් ඉවත් කොට සාපරාධී සාවද්‍ය පරිහරණය යටතේ විභාගයට සලකා බලන්නැයි නියෝග"

    Post a Comment