09 January, 2017

මිස් කෝල් එකෙන් ඇරඹුනු පවුල් ජීවිතය සිඟිත්තාට කිරි නොදුන් නිසා පොලු පහරින් අවසන් වුණු හැටි

wife-murdered-by-husband

දරුවට කිරි දෙන්න කිව්වට දෙන්නේ නෑ..

මම කිරි දෙන්නේ මට ඕන වෙලාවට කියලා කෑගැහුවා...

මම ඒකිගේ ඔලුවට ගැහුවේ...

දරුවා අඬනවා - කිරි දෙන්නේ නැහැ පොල්ලෙන් ගහලා බිරිය මරලා යනුවෙන් පොලිසියට ඇමතුමක් ලැබිණි.

එම ඇමතුමෙන් තවදුරටත් කියා සිටියේ මෙලෙස ඝාතනය වී ඇත්තේ කිඹුලාපිටිය, ජම්බුගහගොඩැල්ල, අංක 25/35 ලිපිනයේ පදිංචිව සිටි තුෂාරිකා සංජීවනී නැමැති විසි හය හැවිරිදි එක් දරු මවක බවයි.

පොලීසිය සිද්ධිය වූ බව කී නිවෙස වෙත ළඟා වෙද්දී අසල්වැසියන් නිවෙස වටා එක් රොක්ව සිටිනු දක්නට ලැබුණි.

නිවැසියන් කිසිවකු නිවෙසේ නොවීය. ඔවුන් තුවාලකාරිය රැගෙන රෝහලට ගොසිනි.

සාලයේ පුටුවක් මතත් ඒ අසල බිමත් ලෙයින් තෙත්ව ගොසිනි.

පහර දුන් බවට සැක කළ හැකි ලේ තැවරුණු එස්ලෝන් බටයක් ද පුටුව මත තිබෙනු දක්නට ලැබිණි.

එම එස්ලෝන් බටය වැඩි බරකින් යුක්තය. පරීක්ෂා කර බැලීමේදී දුටුවේ එහි මැද කොටස කොන්ක්‍රිට් දමා පුරවා ඇති බවයි. එබැවින් එය යකඩ පොල්ලක් සේ දැඩි ශක්තිමත් භාවයකින් යුක්ත විය.

මෙම පහර දීම සිදු කළ සැකකාර සැමියා සොයා ගිය පොලීසියට දැනගන්නට ලැබුණේ ඔහු මීගමුව රෝහල අවට සැරිසරමින් සිටින බවයි.

එම තොරතුරට අනුව මීගමුව රෝහල වෙත ගිය පොලීසියට ඔහු අත් අඩංගුවට ගැනීමට හැකි විය.

"මගේ දරුවට තවම මාස හතරයි. මෙයා දරුවට කිරි දෙන්නේ නෑ. මම නිතරම එයාට කියනවා දරුවට කිරි දෙන්න කියලා. එයා කිරි නෑ කියලා දරුවට කිරි දෙන්නේ නෑ."

"අද උදේත් මම එයාට කිව්වා දරුවා අඬනවා, දරුවාට කිරි දීපං කියලා. ඒ වෙලාවේ එයා මාත් එක්ක රණ්ඩුවට ආවා. මම කිරි දෙන්නේ මට ඕන වෙලාවට කියලා මට කෑගැහුවා."

"ඒ වෙලාවේ මට හොඳටම තරහ ආවා. මම ඉස්සරහ ගෙදර නංගිට චුට්ටක් බලාගන්න කියලා බබාව දුන්නා. බබාව දීලා මම කෙළින්ම කුස්සියට ගියා. කුස්සියේ දොරට හේත්තු කරලා තිබුණ එස්ලෝන් බටේ අරගෙන ඇවිත් ඒකෙන් ගහගෙන ගහගෙන ගියා."

"පළවෙනි පාර මම ඒකිගේ ඔලුවට ගැහුවේ. ඒකි අත් දෙකෙන් ඔලුව අල්ල ගත්තා. මම අත් දෙකම කැඩෙන්න පොල්ලෙන් ගහලා ආපහු ඔලුවට ගැහුවා."

පොල්ලෙන් පහර දී සිය බිරිය ඝාතනය කළ අයුරු සැමියා එලෙස පාපොච්චාරණය කරද්දී, පරීක්ෂණ කණ්ඩායම්වල අදහස වූයේ මොහු කුමන වර්ගයට අයත් මිනිසකු ද යන්නයි.

පොලිස් පරික්ෂණවලදී හෙළි වූ තොරතුරුවලට අනුව මීට වසර කිහිපයකට පෙර තුෂාරිකා සහ සුදර්ශන හමු වන්නේ අහඹු ලෙසකටය. ඒ මිස් කෝල් එකකිනි. තුෂාරිකාගේ ජංගම දුරකථනයේ තිබූ නාදුනන අංකයක මිස් කෝල් එකකට ඇය ඇමතුමක් ගෙන බැලුවාය. 

එම අංකය තරුණයකුගේය. ඔහු නමින් සුදර්ශනය.

කලක් යුද හමුදාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාවේ නිරතව සිට පසුව ඉන් ඉවත්ව දොම්පේ ප්‍රදේශයේ පිහිටි පොලිතින් කම්හලක රැකියාවේ නිරතව සිටින අයෙකි.

මිස් කෝල් එකෙන් හඳුනාගත් දෙදෙනා ජංගම දුරකථනයෙන් ටික දිනක් පෙම් කොට පසුව විවාහ දිවියට එලැඹෙන්නේ හඳපානේ පලා යාමෙන් අනතුරුවය.

ඔහු ඇය සිය නිවෙසට කැඳවාගෙන ගියේය. එහි ටික කාලයක් කල්ගත කළ දෙදෙනා පසුව තුෂාරිකාගේ නිවසේ පදිංචියට යන්නේ මවුපියන්ගේ සිත්වල වූ අමනාපකම් අවසන් වීමෙන් අනතුරුවය.

තුෂාරිකා යම් මානසික රෝගී තත්ත්වයකින් පෙළිණි. ඒ සඳහා ඇය ප්‍රතිකාර ද ලබාගෙන තිබිණි. විවාහවීමට පෙර ඇය එවැනි රෝගී තත්ත්වයකින් පෙලී නොමැති නමුත් විවාහවීමෙන් අනතුරුව ඇයට එවැනි රෝගී තත්ත්වයක් මතු වූ බව කියයි.

සිද්ධිය වූ දින උදේ ඇයගේ මවුපියන් නිවෙසින් පිටව ගොස් ඇත.

ආපසු නිවෙසට පැමිණි ඇයගේ මව දැක තිබුණේ දියණිය සාලයේ පුටුව මත ලේ පෙරාගෙන වැටී සිටින අයුරුය.

අනතුරුව ඇගේ මව ආධාර ඉල්ලා කෑ ගසන්නට වූවාය. උදව්වට පැමිණි අසල්වාසීන් තුවාලකාරිය වහාම රෝහලට රැගෙන යාමට කටයුතු කර තිබේ. එහෙත් ඒ වන විට තුෂාරිකා මිය ගොසිනි.

ඇයගේ දේහය පිළිබඳ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබුණේ ඇයගේ දෑත් පොලු පහරවලින් කැඩී ගොස් තිබූ බවයි.

දරුවාට කිරි නොදෙන බව කියමින් සැමියා බිරිය මරා දැම්මේය. ඇය මරා දැමීමේ චෝදනාවට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත විය. වයස මාස හතරක් වන කිරි කැටියකු මෙලොව තනි විය.

මේ දරුවාට යළි කිසිම දිනෙක මවු කිරි තබා මවගේ උණුසුමවත් නොලැබෙනු ඇත. ආච්චි අම්මාගේ උණුසුමට තුරුලුව මවු සෙනෙහස විඳීමට මේ දරුවාට සිදුවීම කෙතරම් ඛේදජනකද?

එපමණක් නොව මේ දරුවා කවදාවත් පියා අතට පත් කිරීමට ආච්චි අම්මලා විරුද්ධ වනු නොඅනුමානය. ඒ මෙතරම් කුරිරු ලෙස බිරිය මරා දැමූ මොහු පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බැවිනි. එලෙසම සත්‍ය වශයෙන්ම මානසික රෝගයකින් පෙලුණේ ඇය ද නොඑසේ නම් ඔහු ද යන පැනය මතුව ඇත.

කටාන පොලීසියේ ස්ථානාධිපති ජගත් සේනාරත්නගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති සුදත් නිවුන්හැල්ල ඇතුලු කණ්ඩායමක් පරීක්ෂණවල නිරත විය.

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මිස් කෝල් එකෙන් ඇරඹුනු පවුල් ජීවිතය සිඟිත්තාට කිරි නොදුන් නිසා පොලු පහරින් අවසන් වුණු හැටි"

    Post a Comment