13 August, 2017

නොමැරෙන මිනිස්සු

okinawa-island
FilePhoto
ලොව පුරා ‘ආයුබෝවේවා’ යනුවෙන් පැවසීම බොහෝ විට සිදු කෙරුණද දිගු කලක් ජීවත්වීමේ වාසනාව ඇත්තේ ජාතීන් කිහිපයකට පමණි. මුළු ලෝක ජනගහනයේ සාමාන්‍ය පරමායුෂ 71 ක් වුවද සැමටම එය පොදු නොවේ.

වයස අවුරුදු 80කට වැඩි ආයුෂ භූක්ති විඳීමේ වාසනාව හිමි ජනතාව සිටින රටවල් ඇත්තේ අතළොස්සකි. ඒ අතරින් දූපත් ජීවිතයකට හිමිකම් කියන ජපානය පෙරමුණ ගනී. දීර්ඝායුෂ පිළිබඳ ගෝලීය සමීක්ෂණයකට අනුව ජපානයේ ඔකිනාවා දකුණු දූපත් වාසීන් ආයු බලය ලැබීම අතින් ඉතා වාසනාවන්ත ය. එරට ඔකිනාවා දූපතේ වයස අවුරුදු සියය ඉක්මවූ හාරසියයකට වැඩි පිරිසක් ජීවත්වෙති. එවන් ආයුකාලයකින් ඔවුන් බල ගන්වන ප්‍රධාන හේතුවක් බවට ආහාර රටාව පත්වී ඇත. අධික ලෙස ගන්නා ටෝෆු, බතල, සුළු ප්‍රමාණයෙන් ගන්නා මාළු ඔකිනාවා ප්‍රජාවගේ දෛනික ආහාරයේ මුල් තැන ගනී.

වැඩිහිටි මිතුරු සමාගම් ඔවුන්ගේ ආතතිය බින්දුවටම බස්සවා ඇත. ‘නොමියන මිනිසුන්ගේ දූපත’ ලෙස ඔකිනාවා දූපත ගෝලීය සමීක්ෂකයන් හඳුන්වා තිබේ.

භාෂාවක් රටක ප්‍රජාවගේ ආයු කාලය ඉහළ නංවන්නේ කෙලෙසදැයි කෙනකුට සිතෙන්නට පුළුවන. එහෙත් පර්යේෂකයන්ට අනුව බටහිර සංස්කෘතියේ නැති මානව හැඟීම් මනාව ඉතා හොඳින් විවරණය කරන ජපන් බසින්ද වැදගත් මෙහෙවරක් ඉටුවේ.

දිනපතා ග්‍රීන්ටී පානයත් යම් තරමකට කෝපි පානයත් ඔවුන් හදවත් රෝග වැනි ප්‍රධාන මාරක රෝග ගණනාවකින්ම බේරා ගැනීමට උපකාරී වී තිබේ. දීර්ඝායුෂ ගැන කතා කිරීමේදී ජානවලට වැඩියමක් ජීවන රටාවට හිමිවී ඇත. වයස අවුරුදු 50න් පසු ඔවුන් වඩාත් පෝෂ්‍යජනක ආහාර රටාවක් ගැන වැඩි අවධානයක් යොමු කරයි. ජපනුන් මස් කන්නේ අඩුවෙනි. ඒ නිසා සත්ව මේදය ශරීරගත වන්නේද මඳ වශයෙනි. ඒ වෙනුවට ඔවුන් වැඩිපුර ගන්නේ මත්ස්‍ය ආහාරයි.

කාන්තාවන් ආයු බලයෙන් පිරිමින්ට වඩා පෙරමුණ ගන්නේ ඔවුන් පිරිමින් මෙන් දුම්පානයට, මත්පැනට ඇබ්බැහිවී නැති නිසාය. ස්ථුල ජපන් ජාතිකයකු දැකීම අදටත් විරලය.

ස්පාඤ්ඤයද වැඩි ආයු කාලයකට හිමිකම් කියන රටවලින් එකකි. එහි පරමායුෂ 82.8 කි. ස්පාඤ්ඤ වැසියන්ගේ ආයුබෝවීමේ රහස ‘සියෙස්ටා’ ය. එහි තේරුම උණුසුම් කාලගුණයක් පවතිද්දී සැන්දෑවරුවේ ලබාගන්නා කෙටි නින්දයි.

දවසේ පස්වරු 2 -5 අතර ස්පාඤ්ඤ නගර මීයට පිම්බාක් මෙන් නිහඬය. වැඩිහිටියන් මෙන් මෙන්ම දරුවන්ද ‘සියෙස්ටා’ සුවය ලබාගැනීම ඊට හේතුවයි. සියලුම කඩසාප්පු ඒ වේලාවට වසා දමා ඇත.

එංගලන්තයට, ජර්මනියට වඩා දීර්ඝ සේවා මුරයක යෙදමට ස්පාඤ්ඤ වැසියන්ට සිදුවී තිබේ. වසරකට ඔවුන් පැය 1,674ක් සේවය කරනු ලැබේ. ‘සියස්ටා’ දවසේ සේවා මුරයට මඳ විරාමයක් දී යළි ප්‍රබෝධයෙන් රැකියා ස්ථානයට යාමට මඟ පාදයි.

ස්පාඤ්ඤයේ සියලු වෙළෙඳ සැල් ඇත්තේ ඇවිද යන දුරකිනි. එනිසා ඇවිදීම, සයිකල් පැදීම මඟින් ගතට ව්‍යායාමයක්ද සිදුවේ. පොදු වාහනයකින් ගොස් බොහෝ රාජකාරි කර ගත හැකිවීම නිසා කාබන්ඩයොක්සයිඩ්වලින් වායුව අපවිත්‍ර වන්නේ ද නැත. පෞද්ගලික වාහන මහමඟ අඩුවීම නිසා වාහන තදබදයක් ඇති නොවේ.

සිංගප්පූරු වැසියන්ගේ වසර 83.1 ක ආයු සාමාන්‍යයක රහස ඉතා උසස් සෞඛ්‍ය සේවයක් පැවතීමයි. ලෝකයේ ළදරු, මාතෘ මරණ අඩුම රටවල් අතරින් සිංගප්පූරුව මුල් තැනක සිටී. ව්‍යායාම කිරීම එරට වැසියන්ගේ දවසේ ප්‍රධාන කාර්යයකි.

ආතතිය දුරුකරන මධ්‍යස්ථානයක්ද ළඟදී එරට විවෘත කෙරිණි. එලෙසම වයස්ගතවන ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය වැඩිදියුණු කරන මධස්ථානද එරට ඇත. ලොව අන් රටවලට වඩා වැඩි බදු ප්‍රමාණයක් අය කරන රටක් ලෙසද සිංගප්පූරුව ප්‍රකටය.

ස්විස්ටර්ලන්තය යුරෝපයේ ධනවත් වී සිටින්නේ වස්තු සම්පත්වලින් වගේම ආයු බලයෙනි. එරට පිරිමි සෙසු රටවල පිරිමින්ට වඩා සැබෑ වාසනාවන්ත වසර 81 ක පරමායුෂ භුක්ති විඳින නිසයි. දියුණු සෞඛ්‍ය සේවාව ඉහළ පෞද්ගලික ආරක්ෂාව චීස් ඇතුළු කිරි නිෂ්පාදන වැඩිපුර කෑමට ගැනීම වැඩි ආයු බලයක රහස් බවට අනුමාන කරනු ලැබේ. ඇල්ප්ස් කඳු ආශ්‍රිත පරිසරයේ සුන්දරත්වය විඳීමට සෑම සති අන්තයකම හිමි වාසනාව තවත් කරුණකි.

දකුණු කොරියාව වයස අවුරුදු අනූවවකට වැඩි ජීවන අපේක්ෂාවක වාර්තාව තබා තිබෙන්නේ උසස් සෞඛ්‍ය සේවාව, මුහුන් කළ ආහාර, වර්ධනය වන ආර්ථිකය ආදී බොහෝ හේතූන් නිසයි. බොහෝ බටහිර රටවල ජනතාවට වඩා දකුණු කොරියානු ජනතාවගේ රුධිර පීඩනය පවතින්නේ පහළ මට්ටමකය.

මුහුන් කළ ආහාර රටාව ඔවුන්ගේ අහිතකර කොලෙස්ටරෝල් අඩුකිරීමට, ප්‍රතිශක්තිය ඉහළ නැංවීම, පිළිකා වැළැක්වීමට හේතුවී තිබේ. කොරියානු ආහාර වේලේ තන්තුමය ආහාරවලට ඇත්තේ වැඩි තැනකි.

දවස අවසානයේ ‘ජිම්ජිල්බං’ හෙවත් පොදු ස්නානයට යාමෙන් එකිනෙකා හමුවී ආතතිය දුරුවේ. බෞද්ධ දර්ශනයද ඔවුන්ගේ ආයු අපේක්ෂාව වැඩි කරයි.

ස්වීඩනයේ ආයු අපේක්ෂාව 82 කි. අයිස්ලන්තයේ 82.1 ක් ද ලක්සම්බර්ග්හි 82.2 ක් ද ඊශ්‍රායලයේ 82.2 ක් ද, ඔස්ට්‍රේලියාවේ 82.3 ක් ද ප්‍රංශයේ 82.4 ක් ද ඉතාලියේ 82.7 ක් ද හොංකොංහි 84 ක්ද වේ.

ලොවටම ඉර පායන්නේ එකම ආකාරයකට නොවේ. එලෙසම ලොව ආයු අපේක්ෂාව ද විෂ්මය. එක රටක ප්‍රජඩාව වයස අවුරුදු අසූව ඉක්මවා ජීවත් වෙද්දී සියරාලියෝන් , ඇන්ගෝලා, මධ්‍යම අප්‍රිකානු ජනරජය, චැඩ්, ලෙසොතෝ, නයිජීරියා, සෝමාලියා, කැමරුන්, දකුණු සුඩානය, මොසැම්බික් ආදී රටවල පරමායු වයස අවුරුදු 50ටත් අඩුය.

okinawa-island
FilePhoto

අන්තර්ජාලයෙනි (චම්පිකා දීපානි රණසිංහ - විශේෂාංග - දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නොමැරෙන මිනිස්සු"

    Post a Comment