06 August, 2017

අහිංසකකම හැමතැනටම හරියන්නෙ නෑ...

Nilukshi Fernando

පසුගිය කාලේ නිලුක්ෂි ඉතාලියට ගියේ ඇයි?
ඒ අලුත් තවත් ටෙලිනාට්‍යයක් නිසා. ඒ තමයි විසුවියස් කඳු පාමුල කියන අලුත් ටෙලිනාට්‍යය. ඒකේ ලංකාවේත් රූගත කිරීම් කළා. ටිකක් මහන්සි වෙලා හරි ලස්සනට කරපු අපූරු නිර්මාණයක් තමයි ඒක. ඒක සුසිරි ප්‍රනාන්දු කියන අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයක්.

විසුවියස් කඳු පාමුල ටෙලිනාට්‍යයේ රඟපෑ අතින් අය කවුද?
ඒකේ ජගත් චමිල, චාන්දනී මල්වත්ත, සනත් විමලසිරි, බිමල් ජයකොඩි, අංජුලා රාජපක්ෂ වගේ හොඳ පිරිසක් හිටියා. ඒකට ඉතාලියේ රූගත කිරීම්වලට ගියේ මමයි, මාදිනි අක්කායි, ජගත් අයියයි, සනත් අයියයි විතරයි. ඒ ගමන හරි සුන්දරයි. මම එහේ හිටියේ දවස් දොළහයි. එත් අපේ කට්ටිය මාස එකහමාරක් විතර හිටියා. වෙනත් රටකට ගිහින් අපේ නිර්මාණයක් කරද්දී හරි අමාරැයිනේ. ඒ රටේ තියන දේවලුත් එක්ක. ඒත් අපිට අපේ අයගෙන් තිබුණ පිළිගැනීම සහ නිර්මාණය කරන්න තිබුණ උනන්දුව සහ ඒ අයගෙන් තිබුණ සපෝර්ට් එක හරිම වටිනවා. ඒ රටේදී අපිට බොහෝ දෙනෙක් උදව් කළා.

එතකොට ඔය දවස් දොළහට චූටි දියණිය හිටියේ කාත් එක්කද?
ඒ දවස් ටිකේම හිටියේ මගේ අම්මා ළඟයි. ජනකත් ඒ දවස්වල වැඩියෙන් දුවත් එක්ක හිටියා. ඉතින් ඉඩ ලැබෙන හැම වෙලේම මම දූත් එක්ක කතා කළා. ඉතින් එයා ඒ දවස් දොළහ හිටියේ හරිම පාළුවෙන් තමයි.

දැන් දුවට අවුරුදු හයක් එහෙම නේද?
ඔව්... හරියටම හරි. දැන් එයාට අවුරුදු හයයි. මේ අවුරුද්දේ එයා පාසැල් අධ්‍යාපනය ආරම්භ කළා. එයා දුවෙක්. මම හැම වෙලේම එයාගැන හිතලා තමයි මගේ වෘත්තීය ජීවිතේ සහ මගේ පෞද්ගලික ජීවිතේ හැම තීරණයක්ම ගන්නේ. මට හැමවෙලේම සතුටුයි මම ගන්න ඒ තීරණයත් මම එයා වෙනුවෙන් කරපු කැපකිරීම්වල ප්‍රතිඵලය පුංචි වයසට වුණත් එයා මට දෙනවා. එයා හොඳට ඉගෙන ගන්නවා. එයා ගැන මට චෝදනා නෑ. මම ඉගෙන ගත්තේ ගල්කිස්සේ බෞද්ධ බාලිකා විද්‍යාලයේ. එයත් යන්නේ ඒකට. ඉතින් දුවත් පන්තිභාර මිස් මම ඉගෙන ගනිද්දීත් උගන්නපු ගුරුවරියක්. ඒ පුෂ්පා වික්‍රමසූරිය මිස්. ඉතින් මිස්ගේ තියෙන කැපකිරීමත් ඇත්තටම මට ලොකු හයියක්. මම ගැන ලොකු අවබෝධයක් පුෂ්පා මිස්ට තියෙනවා. ඉතින් දුව ගැන ඇත්තටම සතුටුයි.

දුව රඟපාන්න ආස නැද්ද?
එයත් රඟපාන්න ආසයි. එයා ඒ ගැනත් කියනවා. මාත් හොඳට ඉගෙන ගත්තා. ඒ නිසා මම කැමතියි මුලින්ම මගේ දුවත් හොඳට ඉගෙන ගන්නවට. මම තාම එයා කවුරු වේවිද කියලා හිතලවත් නෑ. හැබැයි මම විශ්වාස කරනවා ඕනෑම වෘත්තියක රැඳෙන්න අපිට යම්කිසි මට්ටමක උගත් මට්ටමක් තියෙන්න ඕනේ කියලා. ඒ නිසා දුවට හොඳට උගන්නන්න ආසයි. එයාගේ නම දුලන්‍යා මාපිටිය.

නිලුක්ෂි චරිත තෝරා බේරා ගැනීමක් කරනවාද?
ලැබෙන හැම චරිතයක්ම මම එහෙම රඟපාන්නේ නෑ. හැබැයි මම ප්‍රතික්ෂේප කරයි කියලා හිතෙන චරිතත් මට ලැබෙන්නේ නෑ. මම හරියට සතුටු වෙනවා ලංකාවේ අධ්‍යක්ෂකවරු මාව හරියට තේරුම් ගැනීම ගැන. මම මොනවගේ කෙනෙක්ද කියන එක ගැන ඔවුන් තුළ ලොකු අවබෝධයක් තියෙනවා.

ගැහැනු ළමයි කුසුම් වගේ අහිංසකයිද?
මම ගැහැනු ළමයි රඟපාද්දී මට වයස අවුරුදු විසි දෙකක් විතර ඇති. එතකොට මම ඇත්තටම ගොඩක් අහිංසකයි. ඉස්කෝලෙන් අයින් වුණ අලුත. ඒ තරුණ වයසේ ඉන්නේ කෙනෙක්. ඉතින් අද වෙද්දී මේ වෘත්තියේ මම අවුරුදු දහයකට කිට්ටුව නියැලෙනවා. මගේ ජීවිතය ඇතුළේ පෞද්ගලිකව මම අහිංසකයි. නමුත් යම් යම් තැන් වලදී එහෙම ලොකු අහිංසකකමක් පෙන්නන්න අපිට බැහැ. එහෙම පෙන්නුවොත් අද සමාජය තුළ අපිට ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා අද වෙද්දී ලොකු අහිංසකකමක් මගෙන් එළියට පේන්නේ නෑ.

කොහොමද ජනක සමඟ ගෙවන ජීවිතේ?
දැන් ජනක මාධ්‍ය ආයතනයක ප්‍රධාන කැමරා ශිල්පියා විදිහට සේවය කරනවා. දුව ඉපදුණු අලුත මම ජනකට කිව්වා මම රඟපෑමෙන් අයින් වෙන්නම් කියලා. එයත් කාර්යබහුලයි. මාත් කාර්යබහුල නිසා. ඒත් එයා මගේ දක්ෂතා නිසාම ඒ තීරණය ගන්න එපා කිව්වා. අද මේ වෙද්දී එයාගේ හයිය මට තියෙනවා. මට චරිතයකට කතා කරලා මම යන්න හදද්දී කවදාවත් ජනක යන්න එපා කියලා නෑ, එයා තුළ මා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මම විශ්වාස කරනවා මේ අවුරුදු හත තුළ මම එයාගේ විශ්වාසය දශමයකින්වත් අඩුකරලා නෑ කියලා. මම ෂුටිං යද්දී දුවව ඉස්කෝලේ ගෙනියන්නේ එයා. ඒ හැමදේකදීම එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ගෙදර හැම වැඩක්ම අපි දෙන්නා එකතුවෙලා කරන්නේ.

නිලුක්ෂි ලැබෙන චරිත ගැන සෑහීමකට පත්වෙනවාද?
ඔව්... ඇත්තටම මම මේ ගමන යන්නේ බොහොම හෙමීට. ඒ නිසා ජීවිතේ හදිස්සියක් මට නැහැ. අද වෙද්දී මාත් ජනකත් චූටි දුවත් හරිම සතුටින් ඉන්නවා.

Text – Dishani / Pic - internet (දේශය)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අහිංසකකම හැමතැනටම හරියන්නෙ නෑ..."

    Post a Comment