07 August, 2017

පාපැදි තරගවල පැච් ගොඩයි

Cycling Sri Lanka - 04

ශ්‍රී ලංකාවේ පසුගිය වසර කීපයේදී පැවැති ප‍්‍රධාන පාපැදි තරගාවලි රැසක සංවිධාන දුර්වලතා සහ ඇතැම් දූෂිත සිද්ධීන් පිළිබඳව අසන්නට ලැබුණි. ඒවා කොතරම් මාධ්‍යවල පළ වුවද අඩුවක් නම් දකින්නට නැත. ශ්‍රී ලංකාවේ ප‍්‍රදේශ ගණනාවක් ආවරණය කරමින් පසුගියදා අවසන් වූ ප‍්‍රධාන පාපැදි සංවාරියකද අඩුපාඩු රොත්තක් තිබූ බවත් ඇතැම් ක‍්‍රීඩකයන්ගේ දිවි දෙවියන්ට පිං සිදුවෙන්න බේරුණු බවත් දැනගන්නට තිබේ.

වර්තමානයේ පාපැදි සවාරිවලදී එල්ලවන ප‍්‍රධානම චෝදනාවක් බවට පත්ව ඇත්තේ එය සංවිධානය කරන එසේ නැත්නම් අනුග‍්‍රහය දක්වන ආයතනයට සම්බන්ධ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජයග‍්‍රහණය ලැබීමට අවශ්‍ය පසුබිම සකස් කරන බවයි.

මෙම වසර මුලදී පැවැති ප‍්‍රධාන පාපැදි සවාරියකදීද මෙම චෝදනාව එල්ල වුවද එහි අවසානයක් නොමැති බව පෙනී යයි. ඇඹිලිපිටියේදී පසුගියදා අවසන් වූ පාපැදි සවාරියේදී ද එම චෝදනාවම යොමු විය. එම පාපැදි සවාරියේ අවසන් අදියර තරගය බදුල්ලෙන් ආරම්භ වීමට නියමිතව තිබුණද, අවසන් මොහොතේ ආරම්භක ස්ථානය බණ්ඩාරවෙලට ගියේය. එහිදී සංවිධායකයන් පවසා ඇත්තේ බදුල්ලේ සිට ගමන් මාර්ගයේ මහජන උද්ඝෝෂණයක් පැවැත්වීම නිසා ආරම්භක ස්ථානය මාරු කළ බවයි.

එහි සැඟවුණු රහසක් ඇති බවට පාපැදි ක්ෂේත‍්‍රයේ දැඩි කථාබහක් නිර්මාණය වී තිබේ. එම පාපැදි සවාරියට අනුග‍්‍රහය දැක්වූයේ යැයි කියන ආයතනයකට සම්බන්ධ ක‍්‍රීඩකයකු කඳු තරගයට එතරම් දස්කම් නොදැක්වීම නිසා ඔහුට පහසුවක් වීම සඳහා ආරම්භක ස්ථානය වෙනස් කළ බවට චෝදනාවක් එල්ල වේ.

මෙම වසර මුලදී පැවැති පාපැදි සවාරියකදී ද ආරක්‍ෂක අංශයක කණ්ඩායමකට සහ එහි ක‍්‍රීඩකයකුට ජයග‍්‍රහණය ලැබීමට සංවිධායකයන්ගෙන් උපරිම සහයෝගය ලැබුණු බවට ද චෝදනා එල්ල විය. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සියලුම ප‍්‍රධාන මට්ටමේ සහ සෙසු බොහෝමයක් පාපැදි තරගවල තාක්‍ෂණික කටයුතු ඇතුළු සියලුම තරග සංවිධාන කටයුතු ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලධාරීන්ගේ පූර්ණ අධීක්‍ෂණයෙන් ක‍්‍රියාත්මක වේ.

මෙම කටයුතුකම්වලට පාපැදි සම්මේලනයේ නිලධාරීන්ද වගකිවයුතු බව අමුතුවෙන් කිවයුතු නැත. අනුග‍්‍රහකයන්ට මුහුණ හොඳ කර ගැනීමට පාපැදි සම්මේලනය අහක බලාගෙන ඉන්නවාද විය හැකිය. මෙවැනි සිද්ධීන්වලින් අසරණ වන ක‍්‍රීඩකයන්ට පැමිණිල්ලක් කිරීමට හැකියාවක් තිබේද යන සැකය මතුවේ. ඕනෑම ක‍්‍රීඩාවක අනතුරුවලට එසේ නැත්නම් ආබාධයන්ට ලක්වීම සාමාන්‍ය දෙයකි. නමුත් පාපැදි සවාරියක් සංවිධානය කරන විට ක‍්‍රීඩකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම සංවිධායකයන්ගේ වගකීමකි.

පසුගියදා අවසන් වූ පාපැදි සවාරියේදී ද ක‍්‍රීඩකයන් කීප දෙනකුම අනතුරුවලට ලක්වූ අතර එහිදී ක‍්‍රීඩකයකුගේ ආරක්‍ෂක හිස්වැස්ම විනාශ වී තිබූ බව වාර්තා විය. මෙහිදී වඩාත් බරපතළ සිද්ධියක් අසන්නට ලැබුණි. අනුරාධපුර, දහයියාගම දුම්රිය ගේට්ටුව අසළට තරගකරුවන් පැමිණෙත්ම දුම්රියක් ධාවනය වූ බවත් එය පෙනි පෙනී ගේට්ටුව පැනගත් තරගකරුවකු තරගයෙන් ඉවත් කළ බවත් වාර්තා වේ.

මෙම සිද්ධියේදී තවත් ක‍්‍රීඩකන් කීප දෙනෙකු ගේට්ටුව පැනගත්තද ඔවුන් නැවත පැමිණ තිබේ. එම ක‍්‍රීඩකයන් තරගයෙන් ඉවත් නොකිරීම පිළිබඳවද විනිසුරුවන්ට චෝදනා එල්ල විය. ශ්‍රී ලංකාවේ පාපැදි ක‍්‍රීඩා පරිපාලනයේ පසුගිය වසර ගණනාවක සිට පවතින්නේද ව්‍යාකූල බවකි.

♦ සටහන: යොහාන් (දේශය)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පාපැදි තරගවල පැච් ගොඩයි"

    Post a Comment