20 August, 2017

උණවටුන දේව අඩවියේදී මළිෂට මොකද වුණේ?

maleesha-nalin-missing
අතුරුදහන් වූ මලීෂ නලින් ප්‍රිය
උණවටුණ ඓතිහාසික වැල්ල දේවාල පුදබිමේදී අතුරුදන් වූ මලීෂ නලින් ප්‍රිය නැමති කොලු පැටියා ගැන තවමත් කිසිදු හෝඩුවාවක්‌ නැත. දසහැවිරිදි වියේ පසුවූ මේ පුංචි කොලු පැටියා සසුන්ගත වීමේ අරමුණින් යටගල රජමහා විහාරස්‌ථානයේ නතර වී සිටියේය. එම විහාරස්‌ථානයේ ඇති පිරිවෙනේ මලීෂ අකුරු කළේය. මලීෂගේ අතුරුදන්වීම මේ වන විට අභිරහසක්‌ බවට පත්ව තිබේ. මලීෂ පුතුට සිදු වූයේ කුමක්‌ද? මෙම ප්‍රශ්නයට තවමත් පිළිතුරක්‌ ලැබී නැත.

යටගල විහාරස්‌ථානයේ හිමිවරුත් මලීෂගේ මවුපියන් හා ඥාතීහූත් දිවා රෑ නොබලා මලීෂ පුතු සොයති. මලීෂගේ අතුරුදන් වීම මලීෂගේ මවුපියන්ට මෙන්ම ඥාතීන්ට දරාගත නොහැකිය. මලීෂ අතුරුදන් වූයේ ඉකුත් 10 වැනිදාය. දැනට සතියක්‌ පමණ ගතවී ඇතත් මලීෂ ගැන කිසිදු තොරතුරක්‌ නැත. මලීෂ පුතුගේ තොරතුරු සොයා ඉකුත් දිනක අපි ගාල්ල බටදූව මහගෙදර වත්තේ පිහිටි මලීෂගේ නිවස වෙත ගොඩවැදුනෙමු. මලීෂගේ මව නිවස ඉදිරිපිට ඉදිකොට තිබූ පහන් පැල වෙත ගොස්‌ පහන් පත්තුකරමින් සිටියාය. මලීෂ සෙවීමට නොගිය තැනක්‌ නැත. මලීෂගේ මවුපියන්ට දැනට ඉතිරිව ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණි.

"මලීෂ පුතා හොයන්න මේ දින කිහිපයට නොගිය දේවාලයක්‌ නැහැ. ශාස්‌තර ඇසුවා. මලීෂ පුතා ඉන්නවා කියලා තමයි කියන්නේ. ගැටබරු ගියා, සීනිගම දේවාලයට ගියා. පුතා හොයාදෙන්න කියලා වත් පිළිවෙත් මෙන්ම බාරහාරත් වුණා. පහන් පැලක්‌ හදලා පහන් එහෙමත් පත්තු කරනවා. දරුවා කොහොම ඉන්නවාද කියලා කවුද දන්නේ අනේ මගේ කොලු පැටියා. හොයන්න පොලිසියත් සෑහෙන්න උනන්දු වෙනවා. ඒත් තවමත් පුතා ගැන කිසිදු තොරතුරක්‌ නැහැ. පුතාට ඕන දෙයක්‌ තේරෙනවා වැල්ල දේවාලයේ ඉඳලා පුතාට තනියෙන් වුණත් ගෙදර එන්න පුළුවන්. කවුරු හරි පුතා හිරකරගෙන ඉන්න බව තමයි අපට හිතෙන්නේ. අපි ඉල්ලන ඕන දෙයක්‌ දෙන්නම් අපට නඩු හබ අවශ්‍ය නැහැ. පුතා හොයලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ" මලීෂ පුතුගේ මව සමන්මලි කඳුළු සලමින් එසේ කියන්නීය.

සැබවින්ම මලීෂ පුතුට සිදුවූයේ කුමක්‌ද? ඇත්තටම මලීෂ පුතු කවුරුන් හෝ සිරකරගෙන සිටිනවාද? මලීෂගේ ජීවිතයට අනතුරක්‌ වී ඇද්ද? මලීෂ ගැන කා තුළත් ඇත්තේ මෙවැනි ප්‍රශ්න වැලකි.

මලීෂ නලින්ප්‍රිය. සිව් දෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවාය. මලීෂගේ මව මහදුරගේ සමන්මලීය. පියා බුද්ධික සමන්ප්‍රිය අගනගරයේ පිහිටි පුද්ගලික ආයතනයක

රැකියාව කළේය. මලීෂ ටිකක්‌ දඟකාරය. මලීෂ අකුරු කිරීමට ගියේ බටදූව රතනජෝති විද්‍යාලයටය. නමුත් මේ පුංචි කොලුපැටියා පාසල් යැමට වැඩි කැමැත්තක්‌ දැක්‌වූයේ නැත.

මේ නිසා මලීෂගේ මව නක්‌ෂත්‍රකරුවකු ලවා මේ පුංචි පුතාගේ හදහන පරීක්‌ෂා කර බැලීය. "මේ දරුවාට ටිකක්‌ ග්‍රහ අපල තියෙනවා." නක්‌ෂත්‍රකරු කීවේය. ඒ අනුව මලීෂගේ කල අපලයට අවශ්‍ය වත් පිළිවෙත්ද කරනු ලැබීය. කාලය මේ අයුරින් ගෙවී යන්නට විය. "අනේ අම්මේ මට පාසල් යන්න බැහැ. මට මහණ වෙන්න ඕන" මලීෂ තම මවට කීවේය. එහෙත් මුලදී මලීෂගේ දෙමවුපියන් මලීෂගේ ඉල්ලීමට කැමති වූයේ නැත. කමක්‌ නැහැ ඉතින් පුතාගේ කැමැත්තනේ "අපි පුතා මහණ කරමු." සමන්මලී මලීෂගේ පියාට කීවාය.

ඒ අනුව හිතවත් හිමිනමක්‌ මාර්ගයෙන් යටගල රජමහාවිහාරයේ වැඩ වසන සුමංගල හිමියන්ට මලීෂ භරාදුන්නේය. මලීෂගේ හඳහනද පරීක්‌ෂා කරනු ලැබීය. "මේ දරුවාට මහණ යෝග තියෙනවා. මහණ කමට ගැලපෙනවා සුමංගල හිමියන්ද කීහ. පසුව මලීෂගේ මවුපියන් විසින් කදුරුදූව ප්‍රදේශයේ හිමිනමක්‌ ලවා මලීෂගේ හඳහන පරීක්‌ෂා කිරීමට කටයුතු කළහ." කිසි ප්‍රශ්නයක්‌ නැහැ දරුවා මහණ කරන්න දරුවාට හොඳ මහණ යෝග තියෙනවා. ඒ හිමියන්ගේ ද පිළිතුරුය.

ඒ අනුව මලීෂගේ මව විසින් මෙම වර්ෂයේ මාර්තු මාසයේ යටගල රජමහා විහාරස්‌ථානය වෙත ගොස්‌ මලීෂ භාර දුන්නාය.. මලීෂ ඉතා කැමැත්තෙන් යටගල රජමහා විහාරස්‌ථ පිරිවෙණේ අකුරු කළේය. තවත් මාස කිහිපයකින් මලීෂ මහණ කිරීමට නියමිතව සිටියේය. මලීෂගේ මව මසකට වරක්‌ මලීෂ බැලීමට යටගල රජමහා විහාරයට ගියාය. ඒ විතරක්‌ නොව මලීෂගේ නිවසේ විශේෂ කටයුතු වලදී මලීෂ නිවස වෙත කැඳවාගෙන ඒමටද දෙමවුපියෝ කටයුතු කළහ. ඉකුත් 28 වැනිදින යෙදී තිබූ මලීෂගේ නැගණියගේ උපන්දින සාදයට ද මලීෂ නිවසට කැඳවාගෙන ආවේය. "මලීෂ දැන් හොඳින් පිරිවෙණේ ඉගෙන ගන්නවා ඉගෙනීමටත් දක්‌ෂයි." මලීෂ බැලීමට විහාරස්‌ථානයට යන විටදී මවට මේ බව දැනගන්නට ලැබුණාය. මින් මලීෂගේ මව දැඩි ලෙස සතුටට පත්ව සිටියාය.

මලීෂ යටගල රජමහා විහාරස්‌ථානයේ නැවතී ඉතා උනන්දුවෙන් ඉගෙනීමේ කටයුතු කරමින් සිටියේය. ඔහුගේ කේන්ද්‍රය අනුව මහණ දම් පිරීමේ යෝග පිහිටා තිබූ අතර මලීෂ නිවසට යැමට පවා වැඩි කැමැත්තක්‌ නොදැක්‌ වූයේය. මේ අතර ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ මහා දේව මංගල්‍යයක්‌ වශයෙන් සැලකෙන ඓතිහාසික උණවටුණ වැල්ල දේවාලයේ පිංකම මෙවරත් මහ ඉහළින් පැවැත්වෙමින් තිබුණි. මෙකී පිංකම පවතින දිනවල දිවයිනේ නන් දෙසින් විශාල පිරිසක්‌ පුද පූජා පැවැත්වීම සඳහා උණවටුණ වැල්ල දේවාල පූජා භුමියට පැමිණෙති. පිංකම පැවැත්වෙන කාලයේ දී උණවටුණ වෙරළ තීරය මෙන්ම වැල්ල දේවාල පුද බිම ජනී ජනයාගෙන් පිරී යති.

මලීෂ ද යටගල රජමහා විහාරස්‌ථානයේ වැඩ වසන කුඩා සාමණේර හිමිවරුන් සමඟ දිනක්‌ වැල්ල දේවාලයේ පිංකමට සහභාගිවීම සඳහා දේවාල පුදබිමට ගියහ. ඉන්පසු දෙවැනි දිනද වැල්ලේ දේවාලයේ පිංකමට යැම සඳහා කුඩා සාමණේර හිමිවරු හා මලීෂ සූදානම් වූහ. "අද යන්න එපා ඊයෙත් ගියානේ" පිරිවෙණේ පරිවෙනාධිපති හිමියන් වන සුමංගල හිමියන් කීහ. එහෙත් කුඩා සාමණේර හිමියන්ගේ හා මලීෂගේ බලවත් පෙරැත්තය මත දෙවැනි දින ද වැල්ල දේවාලයේ පිංකමට සහභාගි වීම සඳහා අවසර ලැබුණි. කුඩා සාමණේර හිමිවරුන් සමඟ වැඩිහිටි හිමිනමක්‌ හා සසුන්ගත වීමට සිටින කොලු පැටියකු වූ මලීෂ වැල්ල දේවාලය බලා පිටත් වූහ. උණවටුන වෙරළ තීරය මෙකී පිංකම පැවැත්වෙන දිනවල නානා මාදිලියේ වෙළෙඳ සල්වලින් මෙන්ම ජනී ජනයාගෙන් පිරී ඉතිරී යති. ඇතැම් තරුණ තරුණියන් වැල්ලේ දේවාලයට පැමිණෙන්නේ විනෝද වීම සඳහාය.

මලීෂ කුඩා සාමණේර හිමිවරුන් සිව්දෙනා හා සසුන්ගත වීමට සිටින පුංචි කොලු ගැටයා සමඟ වෙරළ තීරය දිගේ ඇවිද යන්නට වූහ. මලීෂගේ නිවස අසල පදිංචි තරුණයකු වූ අසේල මලීෂට වැල්ල දේවාල පුදබිමේදී හමුවිය. අසේල මාමේ කියා මේ පුංචි කොලු පැටියා අසේලගේ අතේ එල්ලුණේය. "මාමේ දැන් මොනවාද කරන්නේ" කියා අසේල ඇසුවේය. අසේල විසිහය හැවිරිදි වියේ පසු වූ තරුණයෙකි. "මට හරිහමන් රැකියාවක්‌ නැහැ. මේසන් වැඩවලට අත්උදව් දෙනවා අසේල කීවේය." පුතේ එන්න මම පුතාට මොනවා හරි අරන් දෙන්නම් අසේල මලීෂට කීවේය. "එහෙනම් හාමුදුරුවනේ අසේල පුතාට මොනවා හරි අරන් දීලා එක්‌කගෙන එන්නම්" අසේල කීවේය. මලීෂ පුතා ද අසේලගේ අතේ එල්ලී වෙරළ තීරය දිගේ වෙළෙඳසැලක්‌ වෙත ගමන් කළේ ස්‌වාමින් වහන්සේලාගේ අවසරය මතය.

මලීෂ එනතෙක්‌ විනාඩි 45 ක්‌ පමණ සාමණේර හිමිවරුන් මග බලා සිටියහ. මලීෂගේ පැමිණීම ප්‍රමාදවීම නිසා. සාමණේර හිමිවරු ඔහු ගිය දෙසට ගමන් කළහ. එහෙත් මලීෂ සොයා ගැනීමට නොහැකි වූහ. පසුව අසේල මලීෂ සමඟ සාමණේර ස්‌වාමින් වහන්සේලා නැවතී සිටි ස්‌ථානයට පැමිණිය ද එහි ස්‌වාමින් වහන්සේලා සිටියේ නැත. මේ වනවිට අසේල සමඟ පැමිණි මිතුරන්ද ඔහුගෙන් මගහැරී ගොස්‌ තිබුණි. මලීෂ එම ස්‌ථානයේ නවතා අසේල මඟහැරුණු මිතුරන් සේවීම සඳහා ගියහ. පසුව මිතුරන් සමඟ විත් බලන විට එහි මලීෂ සිටියේ නැත. පසුව අසේල මෙන්ම ස්‌වාමින් වහන්සේලා ද එදින අලුයම වන තෙක්‌ මලීෂ පුතා සෙවීමට කටයුතු කරනු ලැබීය. එහෙත් එදින මලීෂ හමුවූයේ නැත. පසු දින උදෑසන මලීෂගේ ඥාතීන් හා ස්‌වාමින් වහන්සේලා පොලිසිය හා නාවික හමුදාව සමඟ එක්‌වී මලීෂ පුතා සොයා මෙහෙයුමක්‌ දියත් කරනු ලැබීය. උණවටුන වෙරළ තීරයේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර මලීෂ පුතු සොයනු ලැබීය. එහෙත් මලීෂ ගැන කිසිදු හෝඩුවාවක්‌ ලැබී තිබුණේ නැත.

පසුව පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්‌වී රුමස්‌සල කන්ද පීරමින් මලීෂ පුතු සොයනු ලැබුවද මලීෂ ගැන මේ ලිපිය ලියන මොහෙත වන තෙක්‌ කිසිදු තොරතුරක්‌ නැත. මලීෂ ගැන ඔහුගේ දෙමවුපියන් අසේලගෙන් ද විමසන්නට වූහ. මලීෂගේ ඥාතිවරියක්‌ අසේලට දුරකථනයෙන් කථා කළාය.

"මොන මලීෂයෙක්‌ද මට හමුවුණේ නැහැ. මොනවාද මේ කියන්නේ අසේල එසේ පවසා තිබුණි. කෙසේවුවද මලීෂ පුතු අතුරුදන්වීම සම්බන්ධයෙන් අසේල හබරාදූව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනු ලැබීය. මලීෂ පුතු වෙළෙඳ සලක්‌ වෙත රැගෙන ගොස්‌ බොම්බයි මොටයි අරන් දුන් බවට අසේල පවසා තිබේ. දරුවා අතුරුදන් වීමෙන් පසු අසේල මාළු දැලක්‌ ද ඇද එදින අලුයම නිවසට පැමිණ ඇති බවද පොලිස්‌ පරීක්‌ෂණ වලදී අනාවරණය වී තිබේ. කෙසේ වුවද මලීෂගේ අතුරුදන් වීම අදටත් අභිරහසක්‌ බවට පත්ව තිබේ. (ලලිත් චාමින්ද - දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "උණවටුන දේව අඩවියේදී මළිෂට මොකද වුණේ?"

    Post a Comment