20 August, 2017

හැඩට වැඩට ඉලෙක්ට්‍රොනික පලඳනා

electronic-brass
FilePhoto
පලඳනා සැලකූ කල වර්ග දෙකකට අයිති ඒවා අපට දැකගන්නට පුළුවනි. එක් වර්ගයක් හුදෙක් හැඩ වැඩට කරන පලඳනාය. ඒවා බොහෝ විට ආබරණ ඇදුම් ආයිත්තම් ලෙස හඳුන්වන්නට හැකිය. අනෙක් වර්ගය ආරක්ෂාව පතා කරන කරන පලඳනා.. සුර බෙර, නූල් යන්තර, ගල් ඇල්ලූ මුදු ආදී දේ ආරක්ෂාව පතා කරන පලඳනා ලෙස දැක්විය හැකියි.

ඉලෙක්ට්‍රොනික ලෝකයේද එක් එක් කාලයේදී විවිධ ආකාරයේ පලඳනා පැමිණ තිබෙනවා. වර්තමානයේ දියුණු තාක්ෂණය නිසා වඩාත් සිහින්ව අඩුබර උපාංග උපකරණ තැනීමට හැකියාව ලැබී ඇති හෙයින් බොහෝ දියුණු මට්ටමේ ස්මාට් පළදනා ලෝකයට හඳුන්වා දී හමාරයි. අපි එයින් පලඳනා කීපයක් ගැන සලකා බලමු.

නවීන ඇස් කණ්නාඩි

ඇස් කණ්ණාඩියක් ලෙසද අවට අපිට නොපෙනෙන කෝනයේ දර්ශන ලබා ගැනීම පිණිසද කුඩා ස්මාට්ෆෝනයක් පරිගණකයක් ලෙස භාවිතයට ගත හැකි වීම පිණිසද ගූගල් ග්ලාස් නැමැති ඇස් කණ්ණාඩියක් හැඩති උපාංගය වෙළඳ පොලට නිකුත් කරනු ලැබුවා. විශාල හඩක් නගමින් 2013දී ගූගල් ග්ලාස් වෙළෙඳ පොළට පැමිණියත් එහි කණ්ණාඩියේ උඩ කොටසේ මුහුනතේ වූ කැමරාව නිසා එය එතරම් ජනප්‍රිය වූයේ නෑ. එහි කැමරාව නිසා මිනිසුන් එම කණ්ණාඩිය පැළැඳි අයවලුන් ලෙස සැක මුසු බැල්මකින් බලන්නට වුණා.

එහෙත් ගූගල් ග්ලාස් වර්තමානයේ ආරක්ෂක කන්නාඩි (Safety Eyeware) සඳහා භාවිත කරනවා. එනම් යම් යන්ත්‍ර කොටස් සවිකරන ඉදි කිරීම් සිදු කරන ස්ථානවලදී අදාළ රාජකාරිය සම්බන්ධ ලේඛන අත්පොත් ආදිය බලාගන්නට එම ගූගල් ග්ලාස් හි උඩ කොටස බැලීමෙන් හැකියාව ලැබෙනවා. එවිට අත්පොත, සිතියම් සහ වැඩට අවැසි තොරතුරු ආදිය දැන ගැනීමට එම ගූගල් ග්ලාස් භාවිතය වඩාත් පහසු වී තිබෙනවා.

වර්චුවල් රියැලිටි

තිරයකින් දකිනවාට වඩා ත්‍රිමාණ ලෝකයෙන් වීඩියෝ රස විඳින්නට කැමති අයට මෑතකදී පැමිණි VR කට්ටලය මඟින් ඒ පහසුව විඳගන්නට හැකියාව ලැබී තිබෙනවා. ගූගල් කාඩ්බෝඩ් නමින් මුලින් සරලව පැමිණියත් දැන් එය වඩාත් දියුණු කොට ත්‍රිමාණ හඩ ඇසීමට පහසුවද ඇතුළත කට්ටලයක් ලෙසම පැමිණ තිබෙනවා. මෙමඟින් වීඩියෝ ගේම්ස් සහ චිත්‍රපට ත්‍රිමාණ අවකාශයක රස විඳීමට ඉදිරියේදී හැකියාව ලැබේවි.

ස්මාට් වොච්

ඔරලෝසුව කටුවලින් පසු ඩිජිටල් වීමත් සමඟ අපිට පහසුවෙන් වෙලාව බලාගන්නට හැකියාව ලැබුණා. ඒත් සමඟම තවත් විශාල වැඩ කටයුතු රාශියකට වග කියන්න පුළුවන් ස්මාට් වොච් නැතිනම් නවීන ඔරලෝසු වර්තමාන වෙළෙඳපොළ ආක්‍රමණය කරමින් පවතිනවා. මේවායෙන් සිරුරේ ශරීර සෞඛ්‍යමය දත්ත බලාගැනීම, ස්ථානය සොයා ගැනීම, යම් යම් වැඩසටහන් මඟින් ස්මාට්ෆෝනය හා සම්බන්ධ කොටගෙන වැඩ කටයුතු කරගන්නට හැකියාව ලැබෙනවා. මුල් කාලයේදී මෙම ස්මාට්වොච්වල යම් පණිවුඩයක් යැවීම වැනි කටයුතුවලට එහි ඇති කුඩා බොත්තම් බාධාවක් වුණා. නමුත් ගූගල් වොයිස් නැමැති අපේ ශබ්දයෙන් අණ ලබාදෙන්නට හැකි ආකාර පැමිණීමත් සමඟම මැසේජ් යැවීම, විවිධ කටයුතු සදහා අණ ලබා දීම වඩාත් පහසු වී තිබෙනවා. ගූගල් සැම්සුන් සහ ඇපල් සමාගම් ප්‍රමුඛ විශාල සමාගම් ප්‍රමාණයකින් වර්තමානයේ මෙම ස්මාට්වොච් වෙළෙඳපොළට නිකුත් වී තිබෙනවා.

අසූව දශකයේ අග භාගයේදී ලාංකික රූපවාහිනිය නැරඹූ එවකට තරුණ සහ යොවුන් ප්‍රේක්ෂකයින්ට මයිකල් නයිට් නම් අමතක වන්නට විදියක් නෑ. නයිට් රයිඩර් තුළින් කරළියට පැමිණි මයිකල් නයිට් සිය අධි තාක්ශණික මෝටර් රථය විටෙක හසුරුවන්නේ අතේ බැඳි දියුණු ඔරලෝසුවක් මඟින්. වසර තිහක් ගිය තැන වර්තමානයේ මයිකල් නයිට් ගේ ඔරලෝසුවටත් වඩා වැඩ රාජකාරි බොහෝ ඇති ස්මාට්වොච් අද කාලයේ දැකගැනීමට ලැබීම සැබැවින්ම අපගේ එවකට සිහින සිනමා තාක්ෂණික ලෝකය ඉක්මවා යෑමක් දැක්වීමට හැකියි.

ෆිට්නස් බෑන්ඩ්

ප්‍රධාන වශයෙන් ෆිට් බිඩ් ලෙස හැඳින්වෙන ශරීර සෞඛ්‍යය පිළිබඳ දත්ත ලබාදෙන අත් පලඳනාවත් වර්තමානයේ ජනප්‍රිය වූ උපාංගයක්. එයින් අපි කරන ඇවිදින දුවන, පිහිනන, දගලන ක්‍රියාකාරකම් මොනවාද යන්නත් ඒවායෙන් සිරුරේ කැලරි කොපමණ දහනය වේද යන්නත් ස්මාට්ෆෝනයක් ආධාරයෙන් දත්ත ලබා ගැනීමට මෙම ස්මාට් ෆිට්නස් උපාංග තුළින් හැකියි. වර්තමානයේ ඇති දියුණු උපකරණවලින් නිදාගන්නා කාලය තුළ කොපමණ කාලයක් ගැඹුරු නින්දේ සිටියේද කොපමණ කාලයක් සාමාන්‍ය නින්දේ සිටියේද යන්න පවා දැන ගැනීමට සමත් වී තිබෙනවා. ඉදිරියේදී මෙම අත් පලඳනා මගින් සිරුරේ ජල ප්‍රමාණය මැන ගැනීම අපගේ මානසික ව්‍යෘකූලතා (Mental Stress) මැන ගැනීම දක්වා මෙම ශරීර සෞඛ්‍යමය අත් පලඳනා දියුණු වීමට නියමිතයි.

හදවත් රෝග ඇති අයට සහ සාමාන්‍ය ක්‍රීඩා කරන අයට හදවතේ හෘද ස්පන්දනය මැන ගැනීමත් මෙම ස්මාට්වොච් සහ ෆිට්නස් බෑන්ඩ් හරහා කරගත හැකි මහඟු ක්‍රියාකාරකමක්. මේ අනුව අප මෑතක් වනතුරු වැලමිටට ඉහළින් අත වටා රෙදි පටියක් බැද රුධිර පීඩනය බැලූ ක්‍රමය අතීතයට ගොස් ඒ වෙනුවටත් නවතම කුඩා උපාංගයක් පැමිණියහොත් ඒ ගැන කිසිසේත්ම පුදුම විය යුතු නැහැ.

“ව්‍යායාම නම් මොනාද ඉතිං අපි මේ ගෙදර වැඩ ටික කරගෙන ඉන්න එකම මැදැයි..“ කියා සිතන පිරිස, ව්‍යායාම කිරීම කල් දමමින් සිටීම ශරීර සෞඛ්‍යයට නම් හොඳ පිවිසුමක් නෙමෙයි. ඒ ඒ කාර්යයේදී කොපමණ කැලරි ප්‍රමාණයක් දහනය වේද එයින් සිරුරට කොතරම් ව්‍යායාම ලැබේද යන්න මෙම ෆිට්නස් බෑන්ඩ්වලින් නම් සඟවන්නට ලෙහෙසි වන්නේ නෑ. ස්මාට් බෑන්ඩ් එකට අනුව ජීවත් වීම නොව අපගේ කාර්යබහුල ජීවිතයට අපගේ සෞඛ්‍යමය දත්ත සටහන් කර ගැනීම යන මානයෙන් ගතහොත් ස්මාට් ෆිට්නස් බෑනඩ් කියන්නේ අපේ ජීවිතයට බොහෝ වැදගත් උපාංගයක් වේවි.

කනට යොදන පලඳනා

නවතම අයිෆෝනය සඳහා තව දුරටත් හෙඩ්ෆෝනයට වයර් එන්නේ නෑ. කන තුළ බහාලන කුඩා ඉයර්ෆෝන කොටස් දෙක ෆෝනයට සම්බන්ධ වන්නේ බ්ලූටූත් තාක්ෂණයෙන්. මෙය කෙතරම් දියුණු තාක්ෂණික ක්‍රමවේදයක් වුවත් දෙකම එකට නැති කල එක ඉයර්ෆෝනයක් නැති වීමට ඉඩ තිබීම මෙහි එක් අඩුපාඩුවක් ලෙස ඇතැමුන් පෙන්වා දී තිබුණා. කනට පිටින් පළදිනවාට වඩා කණ ඇතුළට ඔබන මෙම ඉයර්බඩ් ලෙස හදුන්වන නවීන බ්ලූටුත් ඉයර්ෆෝන තුළින් සංගීතයේ ඇති සියලුම නාද මනා ලෙස කනට ළං කර දෙන්නට සමත්.

මෙම කනට යොදන උපාංගද වර්තමානයේ සිරුරේ රුධිර ගමනය අනුව හදවතේ ගැස් ම ආදී ෆිට්නස් දත්ත ලබා ගන්නා මට්ටමට දියුණු කරන්නට සැම්සුන් සමාගම සමත් වී තිබෙනවා. වර්තමානයේ හඩ අනුව බස තෝරා ගන්නට සමත් දියුණු මෘදුකාංග පහසුකම් පතල වීමත් සමඟ යම් බසකින් අපිට ඇසෙන දේශනයක් එවෙලේම වෙනත් බසකින් පරිවර්තනය කර අසා ගන්නට හැකියාව සහිත අලුත් ඉයර්ෆෝන් දියුණු වෙමින් පවතිනවා. මෙතෙක් ස්මාට් ෆෝනය හෝ වෙනත් උපාංග සම්බන්ධ කොට ඉයර් ෆෝනය පැවතුණත් එයින් පරිබාහිරව වෙනමම උපාංගයක් ලෙස කනට සම්බන්ධකොටගෙන ගීත අසන්නට වැඩසටහන් රසවිඳින්නට අවකාශ සහිත ස්මාට් ඉයර්බඩ් සහ ඉයර්ෆෝන් නිපදවා තිබෙනවා.

පෙර කළ ඉයර්ෆෝනයක් සාමාන්‍යයෙන් භාවිත කළේ කන ඇසීම අඩු අය පිටින් එන ශබ්ද වර්ධනය කරැ ගැනීම වැනි සරල යෙදවුමකට පමණයි. එහෙත් වර්තමානයේ කනට ඇහෙන බාෂාව වෙනස් කොට වෙනත් බසකින් ඒ ශබ්දය අසා ගැනීම දක්වා එම ඉයර් ෆෝන් දියුණු වී තිබෙනවා. එම භාෂා පරිවර්තන හැකියාවෙන් යුත් ඉයර් ෆෝන් Indigogo නමින් වෙළෙදපොළට නිකුත් වී තිබෙනවා.

අපිට එන්නේ කවදාද?

මිනිසා දියුණු වීමත් සමඟ තාක්ෂණය අතේ කනේ කරේ සහ ඇස්වල පවා පළඳින්නට ආරම්භ කර තිබෙනවා. අනාගතයේ සිය සංවේදන ඉලෙක්ට්‍රොනික තාක්ෂණික අංශයට බැර කර මිනිසා උදාසීන සත්වයෙක් වේදැයි ඇතැමුන් බිය පළ කරනවා. එහෙත් සෑම තාක්ෂණයක්ම සෑම අයෙකුටම සමීප වන්නේ නෑ. බොහෝ විට අලුත්ම තාක්ෂණික උපාංග මිල අනුව අප රට නම් බොහෝ තරුණ තරුණියන්ට මිලදි ගන්නට හැකියාවක් ලැබෙන්නේ නෑ. කෙසේ වෙතත් ඕනෑම ක්ෂේත්‍රයකදී මුලදී තාක්ෂණය මිල අධික වුවත් පසුව භාවිත කරන්නන් සංඛ්‍යාව වැඩිවීම සමග ඒවායේ මිල අඩු වී සාමාන්‍ය ජනයාට පාවිච්චි කළ හැකි මිලට පත් වෙනවා. වර්තමානයේ නැතත් තවත් වසර කිහිපයකින් මෙවන් ස්මාට් යෙදවුම් ඇගලා ගත් තරුණ තරුණියෝ අප සමාජයෙත් තැන තැන බහුල වශයෙන් දකින්නට ලැබේවි.

electronic-brass
FilePhoto

අමිල චතුරංග (දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හැඩට වැඩට ඉලෙක්ට්‍රොනික පලඳනා"

    Post a Comment