29 July, 2017

ජීවිතය අපිට ආපස්සට හරවන්න බෑ

Girl Looking

ඇය මට ජීවිතයේ අලුත් පිටුවක් පෙරළන්න නිහඬවම ඇරයුම් කරමින් හිටියා. ඇගේ සීතල ලොකයේ සීතලත් මගේ උණුසුම් ලෝකයේ අප්‍රමාණ උණුසුමත් අතර අපේ ආදරණීය අතීතයේ මතක හිත කොනිත්ත කොනිත්ත කතා කරන්න පටන් ගත්තා. ඇය මගේ ජීවිතයේ ළඟින්ම උන් කාලය මට හීනයක් සේ දැනෙමින් තිබුණා.

මේ හැමදේම අදින් ඉවරෙටම ඉවරයි ආයෙත් මගේ ජීවිතයේ රෝස් කෙනෙක් නෑ...
නැහැ... මට කවදාවත් උඹව අමතක කරන්න බෑ... අනිත් එක උඹ අද ඉන්නේ එදා මම හිටියටත් වඩා අසරණකමකින්. 

මගේ අසරණකම මම බලා ගන්නම් ඒක උඹට වැඩක් නෑ...
මාව උඹට වැඩක් නැති වුණාට මට උඹව ඕන...
කාගෙවත් ජීවිතයට බලෙන් රිංගන්න හදන්න එපා රෝස්...
මම ඔයාගේ ජීවිතයෙන් අලුත් ඉඩක් ඉල්ලුවේ නෑ දුල්යානා... මම ඉල්ලුවේ මීට හුඟ කාලයකට ඉස්සර උඹ උඹේ ජීවිතයෙන් මට දීලා තිබ්බ ඉඩ ටික විතරයි. ඒ ඉඩ මට හැමදාම අයිතියි... ඒ ඉඩ මම කවදාවත් අතහරින්නේ නෑ දුල්යානා...
පොරොන්දු කඩන්න එපා රෝස්...
මම පොරොන්දු කැඩුවේ නෑ...
උඹ මට පොරොන්දු වුණා... උඹගේ හිත නිදහස් කරගත්ත දවසට මගේ ජීවිතෙන් ඈතකටම යනවා කියලා...
ඔව්...
ඉතින්...
ඉතින් දැන් මම උඹව අහගෙන හිටියා... දැන් උඹ මගේ ජීවිතේ අහලකවත් ඉන්න එපා...
දුල්යානා... කවදාවත් කියලා ඉවර කරන්න බැරි තරම් දේවල් මට උඹට කියන්න තියෙනවා...
මට සමාවෙයන් රෝස් මට ඒ කිසි දෙයක් අහන්න බෑ...
නෑ, මට කියන්න ඕන හැමදේම උඹ අහන්න ඕන...
දෙවියනේ මේ මොන ශාපයක්ද? ඇයි මට කිසිම දෙකින් සැනසීමක් නැත්තේ... කිසිම දෙකින් ගැලවීමක් නැත්තේ...
දුල්යානා... අංජලී මැරුණේ නෑ...
දැන් උඹමනේ කීවේ අංජලී ලේ පිළිකාවක් හැදිලා මැරුණා කියලා...
නෑ.. මම ඒ උඹට කීවේ බොරු... අංජලී මැරැණේ නෑ...
කෝ දැන් අංජලී...
උඹට ඒක දැනගන්නම ඕනද දුල්යානා...
ඔව් මට ඒක දැනගන්නම ඕන...
මම උඹට ඒ හැමදේම කියන්නම්... හැබැයි එක කොන්දේසියක් උඩ
කොන්දේසියක්?
ඔව්... කොන්දේසියක්
මට මැරිච්ච මිනිස්සුත් එක්ක කොන්දේසියක් නෑ... මට ගනුදෙනු තියෙන්නේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුත් එක්ක විතරයි...
ඇයි උඹ අපේ අතීතය මේ විදිහට අමතක කරලා දාන්නේ...
දෙයියන්ගේ නාමෙන් මට සැනසීමෙන් ඉන්න දියන්... මම එකවරම ඇගේ සීතල අත ගසා දමා නැගිට්ටා. මට යන්න ඕන වුණේ මගේම ලෝකයක තනිවෙන්න. මම දුවලා ගියේ පල්ලිය ඇතුළට.
දුල්යනා...
දෙවියනේ... මම එතනම ගැල්ගැහී නැවතුණා...
සිස්ටර් සේරා මා වෙත එමින් හිටියා...
ඔයා මොකද්ද මේ නටන නාඩගම... රෑ තිස්සේ පල්ලියේ සොහොනට වෙලා ඔයා මොනවද මේ කරන්නේ... මොකක්ද ඔයාට මැරිච්ච මිනිස්සුත් එක්ක තියෙන ගනුදෙනුව...
මැරිච්ච මිනිස්සුත් රෑට සොහොන්වලින් නැගිටලා එනවා සිස්ටර්...
ඔයාට මොකද්ද ඒ මිනිස්සු එක්ක තියෙන ගනුදෙනුව... ඔයාගේ කවුද එතන ඉන්නේ?
මගේ කවුරුත් එතන නෑ... ඒත් කොහේදෝ ඉඳන් මගේ කෙනෙක් හැමදාමත් එතෙන්ට එනවා... එයා එන්නෙ එයාගේ කතාව කියන්න... ඒක කවදාවත් ඉවරයක් කරන්න බැරි කතාවක්...
දෙවියන් ඉන්න තැනකට මළවුන්ට එන්න බෑ දුල්යානා...
එයා සොහොන් බිමෙන් එහා සීමාවට එන්නෙ නෑ සිස්ටර්...
එයා කවුද ඔයාගේ...
කාලයක් මගේ ජීවිතේ ළඟින්ම හිටපු කෙනෙක්...
මට දැනගන්න ඕනෑ ඒ කවුද කියලා..
රෝස්මරි...
රොස්මරි කීවේ... අර ඔයා දවසක් කීව ඔයාගෙ යාළුවාද?
ඔව් සිස්ටර්...
දෙවියන්ගෙ නාමෙන් දෙවියන් එක්ක මිසක මළවුන් එක්ක සම්බන්ධකම් තියාගන්න එපා දුල්යානා...
මැරුණත් අතීතය අමතක කරන්න බැරිනම්...
දුල්යානා... කරුණාකරලා ඔයා හෙට උදේම මේ පල්ලියෙන් යන්න... ඔයාව දැන් අපට අයිති නෑ. මේ පල්ලියේ කිසිම දෙයක් ඔයාට අයිති නෑ.
මගේ ජීවිතේ අවුරුදු විසි ගාණක් මම ගතකළේ මෙතන සිස්ටර්...

ජීවිතය අපිට ආපස්සට හරවන්න බෑ දුල්යානා... ඔයා දැන් ජීවිතෙන් ඇත්තට මූණ දෙන්න... මායාවක් පස්සෙ දුවන එක දැන්වත් නතර කරන්න. (දේශය)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජීවිතය අපිට ආපස්සට හරවන්න බෑ"

    Post a Comment