23 July, 2017

මූල්‍ය පනත උල්ලංඝනය කරමින් ආණ්ඩුව ණය අරන්

Violation of the Finance Act - Bandula

මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත උල්ලංඝනය කරමින් ආණ්ඩුව ණය ලබාගෙන තිබෙන බවට ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා චෝදනාවක් කරයි.

2013 අංක 13 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම් සංශෝධන) පනතට අනුව රජයට ණය ලබා ගත හැකි උපරිමය නැතිනම් රජයේ ණය වගකීම දළ දේශීය නිෂ්පාදිතයෙන් 80%කි. එම සීමාව නොඉක්මවිය යුතු බව පැහැදිලිව සඳහන්ව ඇතත් 2016 වසරේදී එම සීමාව සියයට 83.3 දක්වා වැඩි වී තිබෙන බව රජයේ විගණකාධිපති පෙන්වා දී ඇතැයි ගුණවර්ධන මහතා සඳහන් කරයි. ඔහු පවසන අන්දමට 2003 වසරේ මූල්‍ය කළමනාකරණ වගකීම් පනත සම්මත වීමෙන් පසු පළමු වතාවට එම පනත උල්ලංඝනය කරමින් මෙසේ ණය ලබාගෙන තිබේ.

අමාත්‍යවරයා වූ රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති ඔහුගේ 2016 වාර්ෂික වාර්තාවේ 385 වැනි පිටුවේ විගණකාධිපති වාර්තාවේ පනත උල්ලංඝනය කිරීම ගැන වූ සඳහන මෙසේය.

2013 අංක 13 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම් (සංශෝධන) පනතින් සංශෝධිත 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත ප්‍රකාරව රජයේ මුළු බැරකම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 80%ක ප්‍රමාණය නොඉක්ම විය යුතුවේ. 2016 මූල්‍ය ප්‍රකාශන අනුව 2016 දෙසැම්බර් 31 වැනි දින මුළු බැරකම් වටිනාකම රුපියල් මිලියන 9,864,512ක් වූ අතර එය 2016 වර්ෂයේ ඇස්තමේන්තු ගත දළ දේශීය නිෂ්පාදිතය වූ රුපියල් මිලියන 1,183,000 සමඟ සැසඳීමේදී 83.3%ක් වූ හෙයින් එය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ සඳහන් උපරිම බැරකම් සීමාව ඉක්ම යෑමක් බව නිරීක්ෂණය විය.

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් මෙසේ මූල්‍ය නීති පනත උල්ලංඝනය කිරීම ගැන ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් ඇමැති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී ලබා ගැනීමට බලාපොරොත්තු වන බව බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. (මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මූල්‍ය පනත උල්ලංඝනය කරමින් ආණ්ඩුව ණය අරන් "

    Post a Comment