23 July, 2017

මාවන් නොකියා කියූ කතාව

Marvan Atapattu - 04

වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත පරපුරේ දවසයි. වසර 180 කට වැඩි කාලයක් පුරා විහිදුනු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක් සුවිශේෂී කඩයිමකින් ඇරඹුනු පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන රාත්‍රිය පසුගිය වසර නවයක් පුරාම පැවැතියේ සන්ඬේ ටයිම්ස් අනුග්‍රහයෙනි. මේ වසරේ සිට ඩයලොග් ආසියාටා සමාගම ඊට එක්වී තිබේ.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පසුගිය බදාදා (19 වැනිදා) පැවැති ඩයලොග් - සන්ඬේ ටයිම්ස් සම්මාන රාත්‍රියේදී වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වූ අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විද්‍යාලයේ නිපුන් රංසික ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩකයකුට ලබාගත හැකි අගනාම සම්මානය ලබාගත්තේ වසර 27 කට ඉහතදී එම සම්මානය හිමිකරගත් මාවන් අතපත්තුගෙනි.

වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රීඩකයා සම්මානය දිනාගන්නා ක්‍රීඩකයකුගේ චිත්තාභ්‍යන්තරය සම්බන්ධයෙන් කතා කිරීමටත් ඔවුන්ගේ හෙට දවස කෙසේ සකස් විය යුතුද යන්න පිළිබඳ උපදේශයක් දීමටත් මාවන් අතපත්තු තරම් සුදුස්සෙක් තවත් නැන. මක්නිසාද යත් මාවන් අතපත්තු යනු හුදෙක් ඩයලොග් - සන්ඬේ ටයිම්ස් සම්මාන රාත්‍රියේ ප්‍රධාන අමුත්තා පමණක් නොව, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවා, හිටපු නායකයා, හිටපු පිතිහරඹ පුහුණුකරුවා, හිටපු සහාය පුහුණුකරුවා පමණක් නොව ජාතික පුහුණුකරුවාද වූ බැවිනි.

වර්ෂ 1989 දී පාසල් කණ්ඩායමේ සිට එක එල්ලේම ජාතික කණ්ඩායමට ඇතුළත් වූ මාවන් අතපත්තු ටෙස්ට් ද්විත්ව ශතක 6 කට හිමිකම් කියමින් ටෙස්ට් තරග 90 කදී ලකුණු 5000 සීමාව ඉක්මවා රැස්කළ ක්‍රීඩකයෙකි.

මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් පැමිණි මාවන් අතපත්තු මහතා අගනා යමක් කීවේය. එනම් ජයග්‍රහණයෙන් සියල්ල සම්පූර්ණ නොවන බවයි. අතපත්තු මහතා මේ කතාව කීවේ ක්‍රීඩකයන්ට පමණක් නොවේ. පාසල් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වී සිටින සියලුම දෙනාටය. ක්‍රීඩකයන්ට, ඔවුන්ගේ පුහුණුකරුවන්ට, පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව භාර ගුරුභවතුන්ට, පාසල් ක්‍රීඩා පාලකවරුන්ට, ක්‍රීඩකයන්ගේ දෙමාපියන්ට මෙන්ම ඔවුන්ගේ පෞද්ගලික පුහුණුකරුවන්ටත් අතපත්තු මහතාගේ කතාවෙන් ගතයුතු විශාල දෙයක් තිබිණ.

“මේක අති විශේෂ වේදිකාවක්. මා මෙහි ඉතිහාසය ගැන ටිකක් විපරම් කළා. මට දැනගන්නට ලැබුණ විදිහට වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම ආරම්භ වෙන්නේ 1979 දී. පසුගිය වසර 39 ක කාලයේදී මේ සම්මානය දිනාගත්ත අයගෙන් 16 දෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළා”

“මේ සම්මානයේ තිබෙන වැදගත්කමත්, මේ සම්මානය දිනාගන්නා ක්‍රීඩකයා කොයිතරම් නිවැරදිව තෝරාගෙන තිබෙනවාද යන්නත් එයින්ම කියැවෙනවා” යයි මාවන් අතපත්තු මහතා පැවසීය.

අතපත්තු මහතා වැඩිදුරටත් කීවේ කිසිවකුට මෙම සම්මානය දිනාගත හැකි නමුත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව එයින්ම උදා නොවන බවයි. කිසියම් ක්‍රීඩකයකුට වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා සම්මානය දිනාගත හැකි නමුත් ජාතික කණ්ඩායමට එක්වීමේ අවස්ථාව උදාකර ගන්නේ එයින් කිහිප දෙනකු පමණි. එමගින් අතපත්තු මහතා නොකියා කියූ කතාවක්ද තිබේ.

ඩයලොග් - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රීඩකයා තේරීමේ සම්මාන රාත්‍රියට සහභාගි වන 1000 කට ආසන්න පාසල් ක්‍රිකට් ක්‍රීඩයන්ටත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව තිබෙන බව අතපත්තු මහතා මැනවින් තේරුම් බේරුම් කර දුන්නේය.

ආපසු හැරී බලන්න. වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ පළමු අවස්ථාවේදීම එහි කිරුළ පැළදූ කොළඹ රාජකීය විද්‍යාලයේ රන්ජන් මඩුගල්ලේ (1979 දී) ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක්තවයත් හෙබවීමෙන් පසුව මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක මඬුල්ලේ ප්‍රධාන නිලධාරියා වශයෙන් දශකයකට වැඩි කලක් කටයුතු කරමින් සිටී. මඩුගල්ලේගෙන් පසුව මෙම කිරුළට හිමිකම් කී අර්ජුන රණතුංග, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, මාවන් අතපත්තු, මුත්තයියා මුරලිදරන්, තිලාන් සමරවීර වැන්නෝ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ පෙරැළි කරමින් දිගු ගමනක් ගියහ.

ඒ කාසියේම අනෙක් පැත්තත් බලන්න. අරවින්ද ද සිල්වා, චමින්ද වාස්, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන මෙන්ම කුමාර් සංගක්කාරද සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළේ පාසල් පිටියෙනි. ඔවුන් කිසිවකු වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයට අත තබන්නට තරම් වාසනාවන්ත නොවූ නමුත් සිය ක්‍රිකට් දිවිය අවසන් කළේ ලෝක ක්‍රිකට් වංශකතාවේ සිය නම් රන් අකුරින් ලියවා තබමිනි.
මාවන් අතපත්තු නොකියා කී කතාව එයයි.

අරවින්දලා, වාස්ලා, සනත්ලා, මහේලලා සහ සංගක්කාරලා ගිය ගමන යන්නට නම් ක්‍රිකට් දස්කම් පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ වෙනුවෙන් නිසි විනය මෙන්ම කැපවීමද ඉහළින්ම අවශ්‍ය වී තිබේ.

“ඔබේ දස්කම් පිළිබඳව ආඩම්බර වෙන්න. ඒත් ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙන්න”

“මා හිතන්නේ මා මේ කතාව කියන්නම ඕනා. මොකද ඔබ සියලු දෙනාම තවමත් පාසල් ක්‍රීඩකයන්. ඔබ වීරයෙක් කියලා හිතන්න එපා.

මොකද ඊළඟ දවසේදී ඔබ කිසිම වැඩකට නැති කෙනෙක් වේවි. හිතාගන්න බැරි තරම් කෙටි කාලයකදී ඔබට සියල්ල එපා වේවි. අධෛර්යවත් වේවි. ඒත් හැම දෙයක්ම දරාගෙන හිස නමාගෙන සිටින්න. මේ ක්‍රීඩාව විසින් ඔබගේ තැනට ඔබව ඔසවා තබාවි”

“ඒ වෙනුවෙන් ඔබ කැපවීමක් කළ යුතුයි. මට අවස්ථාව ලැබෙන සෑම වෙලාවකදීම මා මේ බවත් කියනවා”

“සෑම පාසල් ක්‍රීඩකයකුටම ජාතික කණ්ඩායම නියෝජනය කළ නොහැකියි. ඒත් මට ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා.

ඒ තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාව ඔබට බොහෝ හොඳ දේවල් කියා දේවි කියන එක. ඔබ එය හොඳින් බාරගත්තොත්, ක්‍රිකට් ක්‍රීඩාවේ නොව වෙනත් ක්ෂේත්‍රයකදී - ඇතැම් විට ව්‍යාපාරිකයෙක් වශයෙන්, ව්‍යවසායකයෙක් වශයෙන් නැත්නම් වෘත්තිකයෙක් වශයෙන් - ඔබ ඉතාමත් සාර්ථක කෙනෙක් විය හැකියි. ක්‍රිකට් ක්‍රීඩාවේදී උගන්වනු ලබන විනය ඔබව බොහෝ ඉදිරියට ගෙන යාවි” යයිද මාවන් අතපත්තු මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වන විට දස්කම් අහේනියකට මුහුණ දී සිටින බව අමුතුවෙන් කිවයුතු නොවේ. ක්‍රිකට් පාලක මණ්ඩලයේ පුහුණුකරුවන් සහ නිලධාරීන් කොතෙක් සුරංගනා කතා කීවද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමුගැනීමෙන් පසුව ජාතික කණ්ඩායම දිගින් දිගටම පහළ බසිමින් සිටී. හිටපු ජාතික පුහුණුකරුවා වූවත්, ජාතික කණ්ඩායමේ හිටපු නායකයකු වූවත් අතපත්තු මහතා ජාතික කණ්ඩායමේ පරිහානිය ගැන කතා නොකළේය. එහෙත් එවන් තත්ත්වයකදී ඔහුගේ අනෙක් පණිවුඩය පුහුණුකරුවන් මෙන්ම පාසල් ක්‍රිකට් බලධාරීන් වෙතය.

“තරග දිනන්න විතරක් ක්‍රිකට් ක්‍රීඩකයන් හදලා වැඩක් නෑ. කුසලාන දිනන්නම කණ්ඩායම් පුහුණු කරලා තේරුමක් නෑ. මේ වෙනකොට අපි හිතන්න ඕනෑ එක දෙයක් තියෙනවා. ඒ තමයි අපි ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන් හදලා දෙන්න ඕන කියන එක”

“අතීතයේදී අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, සංජීව වීරසිංහ වගේ ක්‍රීඩකයන් පාසල් ක්‍රීඩකයන් වශයෙන් සිටියදීම ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කළා. ඒත් දැන් මේ වන විට අපි ඒ තත්ත්වයෙන් වෙනස් වෙලා. බොහෝ පාසල් හිතන්නේ කොහොම හරි දිනන්න. ඒ වගේ තත්ත්වයකදී පරාජිතයා වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවයි.

“ලයනල් මෙන්ඩිස් වගේ විශිෂ්ට පුහුණුකරුවන් ක්‍රීඩකයන් බිහිකළේ ඊළඟ පරම්පරාව වෙනුවෙන්. ඒ නිසා තමයි ඔහුගෙන් ගුරුහරුකම් ගත්ත බොහෝ සිසුන් ජාතික කණ්ඩායම නියෝජනය කළේ” යයි කී මාවන් අතපත්තු මහතා සිය ප්‍රධාන දේශනය නිමා කළේ අපූරු කියමනකිනි.

“කෙටියෙන් කියන්න තියෙන්නේ මේකයි. කිසිවෙක් මේ ක්‍රීඩාවට වඩා වටින්නේ නෑ. මේ ක්‍රීඩාවට හොඳින් ගරු කරන්න. ක්‍රීඩාව විසින් ඔබට හිමි තැනට ඔබව ඔසවා තබනු ඇත.” (මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මාවන් නොකියා කියූ කතාව"

    Post a Comment