25 July, 2017

හිටපු ඇමති බිරිය සතු නිවාඩු නිකේතනයේ අභිරහස් මරණයක්

Murder - 07

එය අනුරාධපුර මාත‍ලේ ප්‍රධාන මාර්ගයේ කුරුන්දන්කුලමේ පිහිටි නිවාඩු නිකේතනයකි. එහි හිමිකාරිය වන්නේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ බිරිඳය.

එම නිවාඩු නිකේතනයේ පසුගිය 21 වෙනිදා රාත්‍රියේ සාදයක් පවත්වා තිබුණි. එය අවසන් වූයේ අලුයම 01.30 ට පමණය. ‍එහෙ‍ත් පසුදා උදේ දැක ගත හැකි වූ අන්දමට එම නිවාඩු නිකේතනය තුළ පුද්ගලයෙකු අභිරහස් අන්දමින් මිය ගොස් තිබිණ.

මෙසේ මියගොස් ඇත්තේ මීට සති දෙකකට පමණ ඉහතදී අරක්කැමියකු වශයෙන් එම නිවාඩු නිකේතනයේ සේවයට පැමිණි කිරිවැල්දොල, දෙණියාය, ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52හැවිරිදි පාහීනන්ද ජයබාහු යන අයයි.

ඔහු විවාහකයකයෙකි. නමුදු ඔහුගේ බිරිඳ හා දරුවන් සුනාමියෙන් අතුරුදන් වී ඇති බව දැනගත හැකි විය. සාමාන්‍යයෙන් මෙම නිවාඩු නිකේතනයේ සේවය කිරීමෙන් අනතුරුව අරක්කැමියා ඉන් පිටව යන නමුදු ඔහු එදින වෙනදා නවාතැන් ගන්නා අනුරාධපුර නිවත්තකචේතිය විහාරස්ථානයට නොගොස් නිවාඩු නිකේතනයේ ඉහළ මාලයට ගොස් කාමරයක් ආසන්නයේ බිම නිදා ගෙන ඇති බව ‍පොලිස් පරීක්ෂණ වලදී හෙලිවී තිබිණ.

මෙම අභිරහස් මරණය සිදු වූ ස්ථානයට පැමිණි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂන් මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මෙම මරණයට හේතුව ඝාතනයක්ද නැත්නම් ස්වාභාවික සිදුවීමක්ද යන්න වහාම අධිකරණයට දන්වන ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

ඒ අනුව ඊයේ (23) දහවල් අනුරාධපුර ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලදී.

එහිදී අනාවරණය වී ඇත්තේ මරණකරුගේ හිස් කබලට සිදුවූ බලවත් හානිය හේතුවෙන් ඇතිවූ අභ්‍යන්තර රුධිර වහනය මෙම මරණයට හේතු වී ඇති බවය. එමෙන්ම මරණය සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බවද මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

එහෙත් මෙම මරණය අරක්කැමියා උඩුමහලින් පහතට ඇදවැටීමෙන් සිදුවූ හෝ වෙනත් හදිසි අනතුරක් නිසා ඇති වූ මරණයක් ද නැතිනම් මෙතෙක් අනාවරණය නොවූ වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න මේ තාක් අනාවරණය වී නැත.

අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ඊ.එම්. සංජීව මහානාම මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ උප ‍පොලිස් පරීක්ෂක කේ.ඒ. රත්නසිරි, ‍පොලිස් සැරයන්වරුන් වන (18224) හේමන්ත, (29690) බණ්ඩාර, ‍පොලිස් කොස්තාපල් (38757) ප්‍රියන්ත යන නිලධාරීහූ මේ සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

බුද්ධික මහේෂ් විජේසූරිය- අනුරාධපුර (ලක්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හිටපු ඇමති බිරිය සතු නිවාඩු නිකේතනයේ අභිරහස් මරණයක්"

    Post a Comment