08 July, 2017

තරගාවලිය දිනන්න අද තරගය වැදගත්

angelo-mathews

සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව අද(08) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය තරගාවලියේ ජයග්‍රහණය සඳහා වඩාත් වැදගත් යැයි ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

දිවා තරගයක් වන මෙම තරගය හෙට පෙරවරු 9.45 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව මේ වන විට 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණ් රැදී සිටින අතර හෙට තරගය ජය ලැබුව හොත් 3-1 ක් ලෙස තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ලැබීමේ අවස්ථාව හිමිවේ.

එම තරගයේ තීරණාත්මක බව පිළිබඳව මැතිව්ස් වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“තරගාවලියේ ජයග්‍රහණයට හෙට තරගය ඉතාමත්ම වැදගත්. මා මීට පෙර කියලා තියෙනවා වගේ සිම්බාබ්වේ පිල පහසුවට ගන්න බෑ. හෙට තරගය සාර්ථකව අවසන් කරන්න අපේ හොඳම කණ්ඩායම සහභාගි කරනවා”
“අපි කණ්ඩායමක් වශයෙන් හඹා යන්නේ විශ්වාසය කියන දෙය තමයි. අපි දන්නවා හැමදාම සියයේ ඒවා ගහන්න බෑ. නමුත් දස්කම් යම් මට්ටමක තබා ගන්න ඕනේ. තරගයක් දෙකක් පරාජය වෙන්න පුඵවන්. අපි සෑම තරගයකදීම උත්සාහ කරන්නේ හොඳට පන්දු යවන්න, හොඳට පන්දුවට පහර දෙන්න. කණ්ඩායමක් ලෙස ඉදිරියට යන්නනම් විශ්වාසය තියාගන්න ඕනේ”

“නුවන් ප්‍රදීප් වෙනුවට නුවන් කුලසේකර සහ අසිත ප්‍රනාන්දු සංචිතයට එකතු වෙනවා”

තෙවැනි තරගයේ ජයග්‍රහණය සහ එම තරගයේ සාර්ථකත්වය පිළිබඳව මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.

“එම තණතීරුව ඉතාමක්ම හොඳ එකක්. මම හිතන්නේ ඔවුන් ලකුණු 20 ක් 30 ක් අඩුවෙන් තමයි ලබා ගත්තේ. තණතීරුවේ පළමු ඉනිමේ කිසිම දෙයක් වුණේ නෑ. දඟ පන්දු යවන්නන්ට බොහෝම සුඵ වශයෙන් තමයි දඟ කැවුණේ. දෙවැනි ඉනිමේදී තණතීරුව ටිකක් දඟ කැවුණා”

“ධනුෂ්ක සහ දික්වැල්ල පිතිහරඹයේ යෙදුණ ආකාරය බැලුවම අපේ කණ්ඩායමට අගනා ඉනිම දෙකක් ලබාදුන්නා. ඒ වගේම උපුල් තරංග සහ කුසල් මෙන්ඩිස් තරගය ජයග්‍රහණය කරන මට්ටමට ගෙනාවා”
“දවසක් හැර දවසක් තරගවලට සහභාගි වන විට ටිකක් අමාරුයි. සුළගත් එක්ක පන්දු යවන්නන් හොඳට කරා කියලා මම හිතනවා. ඔවුන්ට ලැබුණු ආරම්භයත් එක්ක අපේ පන්දු යවන්නන් ඉනිමේ මැද සහ අවසානයේ ඉතාමත් හොඳින් පන්දු යැව්වා කියලා මම විශ්වාස කරනවා”

“කිසිම අවස්ථාවකදීවත් මානසිකව වැටෙන්න එපා කියලා මම කිව්වා. ලකුණු 310 ක් කියන්නේ ඕවරයකට හයකට පොඩි ප්‍රමාණයක් තමයි වැඩියෙන් ලබාගන්න තිබුණේ. මම කිව්වා මේ තණතීරුව හොඳයි, මොලේ කල්පනා කරලා ගහමු කියලා” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.

සිම්බාබ්වේ පිලේ නායක ග්‍රේම් ක්‍රීමර් පැවසුවේ තෙවැනි තරගයේ පරාජයට නිරෝෂන් දික්වැල්ලගේ උඩ පන්දුව ගිලිහී යෑම ප්‍රධාන වශයෙන් බලපෑ බවයි.

“දික්වැල්ල සහ ගුණතිලක හොඳින් ලකුණු රැස් කළා. එම දෙපළගේ ආරම්භයෙන් තමයි තරගය අපෙන් ගිලිහුණේ. ඉදිරි තරගවලදී අපේ පන්දු යැවීමේ අංශය පිළිබඳව මීට වඩා අවධානය යොමු කරනවා” යැයි ක්‍රීමර් වැඩි දුරටත් පැවසීය.

කණ්ඩායම් දෙකම ඊයේ (07) ප්‍රධාන පුහුණු සැසිවලට සහභාගි නොවීය.

ශ්‍රී ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිඳු හසරංග, ලක්‍ෂාන් සඳකැන්, අකිල ධනංජය, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, චාමර කපුගෙදර, නුවන් කුලසේකර, ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු.

සිම්බාබ්වේ සංචිතය:
ග්‍රේම් ක්‍රීමර් (නායක), සොලමන් මිරේ, හැමිල්ටන් මසකඞ්ෂා, රයන් බර්ල්, ක්‍රෙග් අර්වින්, ෂෝන් විලියම්ස්, පීටර් මූර්, සීකන්දර් රාසා, ටෙන්ඩායි චටාරා, ක්‍රිස් මොෆු, ඩොනල් ටිරිපානෝ, රිචඞ් නගරාවා, වෙලින්ටන් මසකඞ්සා, මැල්කම් වොලර්, චමූ චිබාබා සහ ත්‍රිසායි මුසකන්ඩා.

(kelimandala)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තරගාවලිය දිනන්න අද තරගය වැදගත්"

    Post a Comment