22 July, 2017

දහඅටේ කල්ලියෙන් අලුත් කොන්දේසි - මහින්ද පිල සමඟත් රහස් සාකච්චා

Maithripala - Mahinda

ආණ්ඩුවේ තනතුරැවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව ප්‍රකාශ වූ ශ්‍රීල.නි.පයේ මැති ඇමැති පිරිස දෙසැම්බර් දක්වා සම්මුතිවාදී ආණ්ඩුවේ රැඳී සිටීමට නව කොන්දේසි මාලාවක් ජනපතිට ඉදිරිපත් කරන්නට යන බව වාර්තා වේ.

මෙම මැති ඇමති පිරිස පසුගිය සතියේ වාර දෙකකදි රහසිගතව සාකච්ඡා වට දෙකක් පවත්වා තිබේ. මේ අයගේ පොදුමතය වී ඇත්තේ එජාපය සමඟ තවදුරටත් රැඳී සිටීමෙන් ඉදිරි මැතිවරණ වලදී තමන්ට බරපතළ හානියක් සිදුවන බවයි. එහෙත් ජනාධිපතිවරයා දෙසැම්බර් 31 වැනිදා තෙක් ආණ්ඩුවේ රැඳි සිටින ලෙස දක්වා ඇති බැවින් ඊට සහය දිය යුත්තේ කොන්දේසි සහිතව බව ඔවුන්ගේ තීරණය වී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයාට බාර දීමට නියමිත තීරණාත්මක කොන්දේසි මාලාව සකස් කිරීමට එම මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අද හෙටම රුස්වන බව වාර්තා වේ.

ඒ අතර ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ආණ්ඩුවෙන් ඉවත් වීමට සිටින මැති ඇමතිවරුන් කිහිපදෙනකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කර ඇති බවයි. ඔවුන් හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ දෙසැම්බරය තෙක් තමන්ට රැඳී සිටීමට තමන්ට ආරාධනා කර ඇත්තේ ඉදිරි අයවැය සම්මත කරගැනීම සඳහා තම සහය ලබාගැනීමට බවය. මෙහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඒකාබද්ධයේ කටයුතු ලබන සැප්තැම්බරයේ සිට පුළුල් කිරීමට අදහස් කරන වගය.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පවසන්නේ එම කණ්ඩායම ලබන සැප්තැම්බරයෙන් පසු බොහෝ මැතිවරණ කොට්ඨාස සඳහා නව සංවිධායකවරුන් පත්කරන වගය. එය රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරෙනු ඇතිබව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

මේ අතර පසුගිය බදාදා රාත්‍රියේ ඉවත් වීමට නියමිත මැති ඇමැතිවරු පිරිසක් කොළඹ තරුපහේ හෝටලයකදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර තිබේ. මෙහිදී ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන සාකච්ඡා කර ඇති අතර විශේෂයෙන් කතා බහවී ඇත්තේ මහින්ද මෛත්‍රි සමගි කිරීමේ කපුකමක් සම්බන්ධයෙන් යැයි දැනගන්නට ඇත.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දහඅටේ කල්ලියෙන් අලුත් කොන්දේසි - මහින්ද පිල සමඟත් රහස් සාකච්චා"

    Post a Comment