16 June, 2017

''මගේ පියාත්, මහින්ද වගේම ලණු කෑවා'' - සජිත්

Sajith Premadasa-04

වාණිජකරණයට ලක්වූ අපේ ජෝතිෂ්‍ය ශාස්ත්‍රය පිළිබඳ රටේ ජනතාව මෙන්ම පාලකයන්ද ඉතා ප්‍රවේශම් විය යුතුව ඇති බවත්, ඇතැම් ජෝතිෂ්‍යවේදීන්ගේ ලණු කෑ පුද්ගලයන් රැසක් මෙරට සිටීම ඊට හේතුව බවත්, හිටපු ජනාධිපතිවරු පවා මේ ජෝතිෂ්‍යවේදීන්ගේ ලණු කා ඇති බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමහර අවස්ථාවලදී හිටපු ජනාධිපතිවරයකු වූ තම පියාද ඔවුන්ගේ ලණු කෑ ආකාරය සිහිපත් වන්නේ යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක "සැමට සහන" වැඩසටහනට සමගාමීව තිස්සමහාරාමයේ තිස්සවැව වල‍ෙදාර ඇළ ප්‍රතිසංස්කරණ කිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

රටටම වින කරන පිරිසක් :

''අද බොහෝ දෙනා බෞද්ධකම ගැන, සම්බුද්ධ ශාසනය ගැන කතාබහ කරනවා. තවත් පැත්තකින් බෞද්ධාගමට වින කරන පිරිසක්ද අපේ රටේ ජීවත් වන බව අප දන්නවා. ඒ පිරිස තුළ සිටින ප්‍රධාන කොටස්කරුවන් ලෙස ඇතැම් ජෝතිෂ්‍යවේදීන් අපට හඳුන්වා දීමට පුළුවන්.

වාණිජකරණයට ලක්වූ මේ ජෝතිෂ්‍යවේදීන් පසුගිය දිනක අනාවැකියක් ඉදිරිපත් කළා. ඒ හරහා රටේ බෞද්ධ ජනයා බිය වී පොසොන් කලාපවලට සහභාගි වීමට තිබූ අවස්ථාවද නැති කර ගත්තා.

ජෝතිෂ්‍ය ශාස්ත්‍රය ඉතා වැදගත් වූ ශාස්ත්‍රයක් සේම අප ගරු කළ යුතු ශාස්ත්‍රයක්. එය නිර්ව්‍යාජව භාවිත කළ යුතු වනවා. නමුත් මෙම ගෞරවනීය ශාස්ත්‍රය අද වන විට විශාල වශයෙන් වාණිජකරණයට ලක්ව තිබෙනවා.

ජංගම දුරකතන කෙටි පණිවුඩ සේවා හරහා අනාවැකි ..

එය කොතරම්ද කිවහොත් ජංගම දුරකතන කෙටි පණිවුඩ සේවා හරහාද අනාවැකි කියන තත්ත්වයක් අද බිහි වී තිබෙනවා.

එසේම සමහර අවස්ථාවලදී මගේ පියාත් ජෝතිෂ්‍යවේදීන්ගේ ලණු කෑ බව මා මේ මොහොතේදී ඔබට ප්‍රකාශ කරනවා. මේක තමයි සත්‍යය.

මේ ජෝතිෂ්‍ය ශාස්ත්‍රය මනාව අවබෝධ කරගෙන නිර්ව්‍යාජව, පිරිසුදුව, ගෞරවනීයව ඉටු කළ යුතුයි. මෙම ශාස්ත්‍රය අප රැක ගත යුතු බවද මා ප්‍රකාශ කරනවා.

සම්බුද්ධ ශාසනයට හානියක් :

මුදලට මෙම ශාස්ත්‍රය පාවාදී බොරු අනාවැකි නිර්මාණය කොට සම්බුද්ධ ශාසනයට හානි සිදු කිරීමත් ඉතාම නින්දිතයි.

ප්‍රසිද්ධිය සහ මුදල් ලබා ගැනීම උදෙසා ඇතැම් ජෝතිෂ්‍යවේදීන් "ජුනි 7 සහ 8 දෙදින ඉතා භයානකයි. එම නිසා නිවෙසින් පිට කොහේවත් යන්න එපා" යනුවෙන් පසුගියදා අනාවැකියක් ප්‍රකාශ කළා.

ඉන් සිදු වූයේ රටේ පොසොන් කලාපවලට බෞද්ධ බැතිමතුන් සහභාගි නොවීමයි. මේ තුළින් වාසිය ලබා ගත්තේ ඇතැම් ජෝතිෂ්‍යවේදීන් පමණයි. ඉන් විපතට පත් වන්නේ සම්බුද්ධ ශාසනයයි.

රාජ්‍ය බලය ලබා ගැනීමට පොල් ගසන ඒකාබද්ධය

එමෙන්ම විරුද්ධවාදීන් කණ්ඩායමක් මීට මාස කිහිපයකට පෙර රාජ්‍ය බලය ලබා ගැනීම සදහා විවිධ දේවාල ගාණේ ගිහින් කොඩිවින, හූනියම් සහ බලිතොවිල් නැටුවා. පසුගියදා ගංවතුර හා නාය යෑම් සිදුවී ලක්ෂ 8කගේ පමණ රටේ ජනජීවිතය විනාශ වූයේ මේ ශාපය නිසයි.

එම විරුද්ධවාදීන් රට පුරා දේවාල ගාණේ ගොස් පොල් ගැසුවේ අධිවේගී මාර්ගයෙන් ජනාධිපති මන්දිරයට සහ අරලිගගහ මන්දිරයට යෑමටයි. යම් ගැටලුවකින් රට ගිනි ගන්නා විට විපක්ෂයේ වගකීම වන්නේ එම ගින්න නිවීමයි.

නමුත් අපේ රටේ විරුද්ධ පක්ෂය එසේ නොකර තව ගිනි කඳු නිර්මාණය කරනවා. ඒ හරහා පීඩාවට පත් වන්නේද රටේ සහෝදර ජනතාවයි.'' (srilankamirror)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "''මගේ පියාත්, මහින්ද වගේම ලණු කෑවා'' - සජිත්"

    Post a Comment