06 May, 2017

සිනමාවටත් දැන් එදාට වඩා මට ඇරයුම් ලැබෙනවා

Dinakshi Priyasad-08

ටෙලි නාට්‍යය හා සිනමා නිළියක වන දිනක්ෂි ප්‍රියසාද් මේ දිනවල කලා කටයුතු කිහිපයකින්ම ඔබ හමුවන්නීය. රංගන ශිල්පිනියක සේම, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක මෙන්ම වර්තමානයේ "රියලිටි" තරග හරහා නර්තන ශිල්පිනියක ලෙසද සිය හැකියාවන් ඉදිරිපත් කරන්නටද ඇය සමත්ව සිටියි. අද "සාරවිට" තරු කතා බහ දිග හැරෙන්නේ ඇය සමගින්ය.

දිනක්ෂිව අපි මේ දවස්වල නිතරම දකිනවා?

ඔව්, මා රංගනයෙන් දායක වෙන ටෙලි නාට්‍යය කිහිපයක් මේ දවස්වල විකාශය වෙනවා. හිරු රූපවාහිනි නාළිකාවේ "කවුරුන්ද නුඹ මගේ" හා ස්වාධීන රූපවාහිනි නාළිකාවේ "මහි පූජා" කියන ටෙලි නාට්‍යයවල මාව දකින්න පුළුවන්. ඊට අමතරව දෙරණ "ඩාන්ස් අන්ලිමිඩට්" රියලිටි තරගයේ නිවේදිකාව විදිහට මම කටයුතු කරනවා. ජානක මල්ලිමාරච්චි අධ්‍යක්ෂණය කරන "ආදර දඩයම" ටෙලි නාට්‍යය තුළින් ඉදිරියේදී මාව දකින්න පුළුවන් වේවි.

චිත්‍රපට කිහිපයකත් පසුගිය කාලේ වැඩ කළා නේද?

ඔව්, අනුරුද්ධ ජයසිංහගේ "මා" කියන චිත්‍රපටයේ රූපගත කිරීම්වලට දායක වුණා. ඊට අමතරව "විශ්ම" කියලා තවත් චිත්‍රපටයක රූපගත කිරීම්වලට මම සම්බන්ධ වෙලා හිටියා. මගේ තාත්තා දිනේෂ් ප්‍රියසාද්ගේ "දෙමෝදර පාලම" දෙවැනි චිත්‍රපටයටත් දායක වෙලා වැඩ කළා. මේ චිත්‍රපට හරහා මාව ඉදිරියේදී දකින්න පුළුවන් වේවි.

දිනක්ෂිට මෑතකදී තවත් සිනමා සම්මානයක් ලැබුණා?

ඔව්, ජනාධිපති සම්මාන උලළේදී කුසලතා සම්මනයක්. ඒ මගේ පස්වැනි සිනමා සම්මානය. මේ හැම සම්මානයක්ම මට ලැබුණේ මා රඟපෑ චන්ද්‍රන්රත්නම් මහත්මයාගේ "මේ වගේ ආදරයක්" චිත්‍රපටයේ මා කළ "සෙරීනා" කියන චරිතය වෙනුවෙන්. චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට මා පෙනී සිටි ප්‍රථම වතාව තමයි "සෙරීනා" කියන්නේ. ඉතින් මගේ ප්‍රථම ප්‍රධාන චරිතයෙන්ම සම්මාන රැසක් දිනාගන්න ලැබුණ එක ගැන මට ගොඩක් සතුටුයි.

මේ සම්මාන ලැබීමත් එක්ක දිනක්ෂිට සිනමාවට දායක වෙන්න වැඩිපුර අවස්ථා ලැබුණා නේද?

එහෙම කියලා ලොකුවට අවස්ථා ලැබුණේ නැහැ. නමුත්, ඉස්සරට වඩා වැඩිය මට සිනමාව තුළ පිළිගැනීමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. පසුගිය කාලයේ සිනමා නිර්මාණ කිහිපයකටත් මට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේදී නම් මාව බොහෝවිට ටෙලි නිර්මාණවලට පමණක් සීමාවුණා. ඒත්, දැන් මට සිනමාවට සම්බන්ධ වෙන්න ඇරයුම් ලැබෙනවා. ඕනෑම දේකට කාලය එන්න ඕන. මම දකින විදිහට දැන් තමයි මට සිනමාවට සම්බන්ධ වෙන්න කාලය උදාවෙලා තියෙන්නේ.

රියලිටි තරග හරහා දිනක්ෂිගේ ජනප්‍රියත්වය තව තවත් ඉහළ ගියා නේද?

සමහර විට එහෙම වුණා කියලා හිතනවා. දෙරණ "ස්ටාර්සිටි" තමයි මගේ පළමු හා දැනට මා දායක වුණ එකම රියලිටි වැඩසටහන. ඒ හරහා මගේ සැඟවුණ හැකියාවන් ඉස්මතු කරගන්න අවස්ථාවක් ලැබුණා කියලා මම හිතනවා. මම පාසල් යන කාලේ නර්තනය කළා. නමුත්, නර්තන ශිල්පිනියක් විදිහට මාව කවුරුත් හඳුනගෙන තිබුණෙ නැහැ. ඒත්, මේ රියලිටි තරගයෙන් පස්සේ මාව දැන් බොහෝ දෙනෙකු නර්තන ශිල්පිනියක් විදිහට දන්නවා. ඒ වගේම මට නොයෙකුත් ප්‍රසංගවලට නර්තන ශිල්පිනියක් විදිහට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබෙනවා. මම හිතන්නේ දෙරණ "ස්ටාර්සිටි" තරගයට සම්බන්ධ වීම හරහා මට පුළුවන්කම ලැබුණා නර්තන ශිල්පිනියක් විදිහට නමක් හදාගන්න. (saaravita)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සිනමාවටත් දැන් එදාට වඩා මට ඇරයුම් ලැබෙනවා"

    Post a Comment