02 April, 2017

"එක රැයින් නගින අය සාමාන්‍යයෙන් එක රැයින් බහිනවා" - ශලිනි තාරකා

Shalini Tharaka-02

ශලනි තාරකා කියන්නේ රසික හදවත් අතරේ ජනප්‍රිය චරිතයක්නේ. ජනතාවගේ ටෙලි නිළිය හැටියට ස්ලීම් නෙල්සන් ජනතා සම්මාන උළෙ‍ලේ දී මෑතක සම්මානයකින් ඇය පිදුම් ලැබුවා.

ශලනිට ලැබුණු ඒ සම්මානය ගැන මේ දවස්වල හුඟක් සතුටින්ලු ඉන්නේ.

ඉතින් ඒ විදියට ජනප්‍රියවෙලා ඉන්න ශලනි තාරකාගේ කලා ජීවිතයේ අලුත් තොරතුරු ගැන සතිඅන්ත පුවත්පතකට මෙලෙස අදහස් දක්වලා තිබුණා.

සම්මානයට තරග කළේ හුඟක් ‍‍‍ජ්‍යෙෂ්ඨ නිළියන් කීප දෙනෙක් එක්ක නේද?

ඔව්. ඒකනම් එහෙම තමයි. දුලීකා මාරපන, යශෝධා විමලධර්ම, දමිතා අබේරත්න එක්ක තමයි මගේ නමත් නිර්දේශ වෙලා තිබුණේ. ඒ අය අතරින් මට සම්මානය ලැබුණාම හිතාගන්නවත් බැරි තරම් සතුටක් දැනුණා.

ප්‍රවීණයන්ගෙන් කැපිලි ඇති දැන් එහෙම නම්?

අ‍පෝ නැහැ. ඒ තුන් දෙනාම හොඳ අවබෝධයක් තියෙන අය. මම සම්මානය අරගෙන වේදිකාවෙන් බිමට බහිනකොටම මට මුලින්ම සුබපැතුවේ දමිතා අක්කා.

කවදා හරි හිතුවද ජනප්‍රිය නිළියක් වෙන්න?

පුංචි කා‍ලේ 3 වසරේ දී මගේ බලා‍පොරොත්තු ගැන රචනාවක් ලියන්න දුන්නම මම ලිව්වලු මම ලොකු වුණාම නිළියක් වෙනවා කියලා. ඒත් ලොකු පන්තිවලට එනකොට ඒ බලා‍පොරොත්තුව නැතිවෙලාම ගියා.

අපි ඉස්සර හිටියේ මීගමුවේ නිසා මම නිතරම අහසේ ප්‍ලේන් යනවා දැක්කා. එනිසා මම ආස කළේ ගුවන් සේවිකාවක් වෙන්න.

බලා‍පොරොත්තු නොවී ලැබුණු ජනප්‍රියකම ගැන දැන් මොනවද හිතන්නේ?

හරි සතුටුයි. මම හෙමින් ගමනක් ආපු කෙනෙක්. එක රැයින් ජනප්‍රිය වුණේ නැහැ. එක රැයින් නගින අය සාමාන්‍යයෙන් එක රැයින් බහිනවා. ඉතින් හෙමින් ජනප්‍රිය වුණ නිසා මම හිතන්නේ මම ජනප්‍රිය නැති වෙන්නෙත් හෙමින් හෙමින් කියලයි.

ශලිනි කවිකාරියක් වෙලා නේද?

කවි ලියන එක ‍පොඩි කා‍ලේ ඉඳලම කරනවා. ඒත් ලියන ලියන කවිය කාටවත් නොපෙනෙන්න හංග ගන්නවා. මෑතක මම කවියක් ලියලා අයියා කෙනකුට පෙන්නුවා. එයා තමයි කිව්වේ ලියලා හංගගෙන ඉන්නේ නැතිව ෆේස්බුක් එකේවත් පළ කරන්න කියලා.

එහෙනම් ඒ විශේෂ අයියා ගැන වෙන්න ඇති මේ කවි ලියන්නේ?

අ‍පෝ එහෙම කියන්න බෑ. මම කවි ලියන්නේ මගේ යාළුවන්ගේ ආදර කතා ගැන.

හැමදාමත් අනුන්ගේ ආදර කතා ගැන ලිය ලියා ඉඳලා හරියන්නේ නෑ නේද?

මටත් ආදර කතා නම් තිබිලා තියෙනවා. ආදරේ කළේ නෑ කියනවා නම් මට ලෙඩක් තියෙනවා වෙන්න එපැයි. ඒත් මම හිතන්නේ නොගැළපීම් එක්ක ඉස්සරහට යනවට වඩා හොඳයි ඒ අයගෙන් වෙන් වෙන එක.

විවාහය ගැන තියෙන හීන මොනවද?

හීන නැතුවා නෙමෙයි. ඒත් නොගැළපෙන මනුස්සයෙක්ව කසාද බැඳලා ඉක්මනට දික්කසාද වෙන්න මම කැමැති නෑ. බැඳලා විඳවන්න බැහැ. ඒ නිසා ගැළපෙනම කෙනා හමුවෙනකල් මෙහෙම තනියම ඉන්නවා.

ලස්සන ගැන ශලිනිට ලැබෙන ප්‍රතිචාර මොනවද?

සමහරු මම ලස්සනයි කියලා කියනවා. මම කතා කරන විදියට, යන එන, අඳින පලඳින විදියට ආස අය ඉන්නවා. ඒත් මට නම් මම ලස්සන නැහැ.

විලාසිතා කරන්නේ පරිස්සමෙන්ද?

ඔව්. සාමාන්‍යයෙන් අපි තැනකට ගියාම මිනිස්සු ටිකක් වැඩිපුර අපි දිහා බලනවා. ඒත් එහෙමයි කියලා වැඩිපුර රඟපාලා කැපී පේන්න මට වුවමනා නෑ. තරුවක් වගේ ලස්සනට පේන්න, ඒත් අසභ්‍ය නොවෙන්න මම ලස්සනට විලාසිතා තෝරා ගන්නවා.

ලස්සන සහ ජනප්‍රියකම නිසා ශලිනිට හුඟක් වැඩ වැඩි ඇති ?

ඔව්. ටෙලි නාට්‍ය කීපයකම වැඩ එකවර භාරගෙන රඟපානවා. ඒත් හෙම්බත් වෙන්නේ නැතිව ඉන්න පරිස්සම් වෙනවා. එකවර වැඩ ගොඩක් කළාට කවදාවත් කිසිම චරිතයකට අසාධාරණයක් කරන්නේ නෑ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""එක රැයින් නගින අය සාමාන්‍යයෙන් එක රැයින් බහිනවා" - ශලිනි තාරකා"

    Post a Comment