15 April, 2017

"පියයුරුවත් තිබුණේ නැහැ - දැරියක්" - "භටයන් 100ට වඩා එක්ක ලිංගිකව හැසිරුනා - දරුවෙක්" - හයිටි ළමා අපචාර

Army Solider

2004 -2007 කාල සීමාවේ එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට අනුයුක්තව හයිටි රාජ්‍යයේ සේවය කළ ශ්‍රී ලංකා හමුදා භටයන් 134 දෙනෙකු විසින් ළමුන් නව දෙනෙකු අපයෝජනයට ලක් කර ඇතැයි එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර වාර්තාවක සඳහන් වන බව ඒපී පුවත් සේවය වාර්තා කර තිබිණි.

ඒ අතර සිටි හමුදා භටයන් 114 දෙනෙකු ශ්‍රී ලංකාව වෙත ආපසු යවා ඇති බව පවසන ඒපී පුවත් සේවය ඔවුන් කිසිවෙකුටත් සිර දඬුවම් පමුණුවා නොමැති බව කියා සිටියි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ ඉහත සඳහන් චෝදනා සම්බන්ධයෙන් හමුදාව විසින් පරීක්ෂණයක් පවත්වන ලද බවය.

ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රතිචාරය


ඒ අනුව අදාළ බලකායේ අණදෙන නිලධාරියා සේවයෙන් ඉවත්කළ බව පැවසූ හමුදා ප්‍රකාශකවරයා, හමුදා සාමාජිකයන් අට දෙනෙකුට එරෙහිව විනය පියවර ගත් බවත් සඳහන් කළේය.

පසුගිය වසර 12 ක කාලය තුළ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වලට සම්බන්ධ වූ හමුදා සහ සෙසු සේවකයන්ට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා 2,000 පමණ එල්ල වී ඇති බව සිය ගවේෂණයකින් හෙළි වී ඇතැයි ඒපී පුවත් සේවය වැඩිදුරටත් පවසයි.

එම චෝදනාවලින් 300 කට අධික සංඛ්‍යාවකට ළමුන් සම්බන්ධ බව වාර්තා කරන ඒපී පුවත් සේවය එවැනි අපයෝජන සිදු කළ බව පැවසෙන පුද්ගලයන්ගෙන් බන්ධනාගාර ගත කොට ඇත්තේ අතලොස්සක් පමණක් බව ද කියා සිටියි.

අධිකරණ ක්‍රියාමාර්ග

චෝදනා ලැබූ ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත්දැයි යන්න පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසීමේදී ශ්‍රී ලංකා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න කියා සිටියේ අදාළ චෝදනා සම්බන්ධයෙන් කිසිවෙකුත් නඩු පවරා නොමැති බැවින් අධිකරණ ක්‍රියාමාර්ගයක් නොපැවති බවය.

වයස 12 තරම් බාල වයසේ පසුවන දැරියන් සහ පිරිමි දරුවන් ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් අතින් අපයෝජනයට ලක් වී ඇති බව ඒපී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.

වයස අවුරුදු 12 ත් 15 ත් අතර කාලය තුළ එක් දැරියක් සාම සාධක සෙබළුන් 50 දෙනෙකු සමග පමණ ලිංගික සබඳතා පවත්වා ඇති බව පවසන ඒපී පුවත් සේවය "මගේ පියයුරුවත් තිබුණේ නැහැ" යනුවෙන් ඇය සඳහන් කළ බවත් වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරුණු හෙළි කළ 16 වෙනි වියේ පසු වූ දැරියක් තමන් ශ්‍රී ලංකා හමුදාවට අයත් අණ දෙන නිලධාරියෙකු සමග තුන් වරක්වත් ලිංගිකව එක් වූ බව පවසා ඇති බව වාර්තා කරන ඒපී පුවත් සේවය, සාම සාධක සෙබළු විසින් ඇයට සිංහල බස උගන්වනු ලැබ ඇති බවත් සඳහන් කරයි.
බහුතරයක් හමුදාව 'හැරගිහින්'

එක්සත් ජාතීන්ගේ ප්‍රශ්න කිරීම් අතරතුර දරුවන් සිංහල බසින් එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගත් බවත් එම වාර්තාවේ දැක්වේ.

මුදල්, විස්කෝතු හෝ පලතුරු පානවලට හිලව් වශයෙන් තමන් හමුදා භටයන් සමග ලිංගික සබඳතා පැවැත්වූ බව දාහතර වියැති දැරියක් කියා සිටි බව ඒපී පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

තමන් ශ්‍රී ලංකා හමුදා භටයන් 100 දෙනෙකුට අධික සංඛ්‍යාවක් සමග ලිංගික සබඳතා පැවැත්වූ බව එවකට 15 වෙනි වියේ පසු වූ පිරිමි දරුවෙකු විමර්ශන කණ්ඩායමට පවසා ඇති බවත් ඒපී පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කොට තිබිණි.

බාල වියේ දරු දැරියන් එල්ල කරන එම චෝදනා සත්‍ය ද, අසත්‍ය ද යන්න පිළිබඳව මේ අවස්ථාවේ තමන් සතුව කරුණු නොමැති බව ශ්‍රී ලංකා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.

වැරදිකරුවන් බව තීරණය කෙරුණු ඉහත කී හමුදා සාමාජිකයන්ගෙන් බහුතරයක් සේවයෙන් ඉවත් වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""පියයුරුවත් තිබුණේ නැහැ - දැරියක්" - "භටයන් 100ට වඩා එක්ක ලිංගිකව හැසිරුනා - දරුවෙක්" - හයිටි ළමා අපචාර"

    Post a Comment