15 April, 2017

යෝනි සුන්නත් කළ ඇමෙරිකානු වෛද්‍යවරියක් අත්අඩංගුවේ

jumana-nagarwala-michigan

ඇමරිකාවේ ඩිට්‍රොයිට් නගරයේ වෛද්‍යවරියකට ගැහැණු ළමුන්ගේ ලිංගඡේදනය කිරීමේ යෝනි සුන්නත් සැත්කම් (FGM- Female genital mutilation) සිදු කිරීම පිළිබඳව චෝදනා ලැබ සිටින්නීය.

ජුමානා නගර්වාලා නමැති වෛද්‍යවරිය අවුරුදු හය, අට සහ දොළහ ආදී වයස්වල දැරියන්ට යෝනි සුන්නත් සැත්කම් කර ඇති බව පොලීසිය පවසයි.

බලධාරීන් වෛද්‍යවරිය පරීක්‍ෂාවට ලක්කළේ ලැබුණු ඔත්තුවකට අනුවය.

අදාළ චෝදනාවට වැරදිකාරිය වුවහොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට ඇයට සිදුවනු ඇත.
'අමානුෂික ක්‍රියාවක්'

යෝනි සුන්නත ඇමරිකාව තුළ නීතිවිරෝධී බවට ප්‍රකාශයට පත්කෙරුණේ 1996 වසරේදීය.

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්නන් සමග ස්වේච්ඡාවෙන් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍ය නගර්වාලා ඇයට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කළ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

එහෙත් පැමිණිලි පක්ෂය පවසන්නේ ඇය සිදුකර ඇති භයානක සහ අමානුෂික ක්‍රියාවට සමාජයේ වඩාත්ම අසරණ පිරිසක් ගොදුරුවී ඇති බවය.

මිචිගන් ප්‍රාන්තයේ සිට මෙම වෛද්‍යවරියගේ සායනයවෙත ගිය ඇතැමුන්ට මෙය රහසක්ව තබාගන්නා ලෙස වෛද්‍යවරිය පවසා තිබූ බවද ඔවුහු පවසති.

ඩිට්‍රොයිට් නගරයේ අධිකරණය හමුවට ඉදිරිපත්කළ වෛද්‍යවරිය අත්අඩංගුවට ගෙන ඇත.

"ගැහැණු ළමුන්ට එරෙහිව සිදු කෙරෙන අමානුෂික වධහිංසාවක් වන යෝනි සුන්නත තවමත් සිදුවෙමින් පවතින දෙයක්. ඇමරිකාව තුළ එය අපරාධයක් ලෙසටයි සැලකෙන්නෙ" ඇමරිකානු නීතිඥයෙකු වන ඩනියෙල් ලෙමිෂ් පෙන්වා දෙයි.

"නවීන සමාජය තුළ මේ චාරිත්‍රයට කිසිසේත්ම ඉඩක් නැහැ. එයට වැරදිකරුවන් වන අයට පළාත් නීතිය අනුව දඬුවම් හිමිවෙනවා" ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ගැහැණු ළමුන් මිලියන දෙසීයක්

කාන්තා ලිංග ඡේදනය පිළිබඳව අධිකරණයකදී මුල්වරට අසන්නට ලැබුණේ 2006 වසරේදීය. ඉතියෝපියානු සංක්‍රමනිකයෙකු වසර දහයක සිර දඬුවමකට ලක් කෙරුණේ කතුරක ආධාරයෙන් ඔහුගේ වසර දෙකක් වයසැති දියණිය ලිංග ඡේදනයට ලක්කිරීම නිසාය.

2012 වසරේදී ඇමරිකානු බලධාරීන් ප්‍රකාශකළේ ලක්ෂ පහකට අධික ගැහැණු ළමුන් සංඛ්‍යාවක් ඇමරිකාව තුළ යෝනි සුන්නතට ලක්වී හෝ එම අනතුරට මුහුණ දී සිටින බවය.

ඊජිප්තුව, ඉතියෝපියාව සහ ඉන්දුනීසියාව යන රටවල ජීවත්වන ජීවත් වන්නන්ගෙන් අඩක් ඇතුළුව ලෝකය පුරා ගැහැණු ළමුන් විසි කෝටියක් පමණ යෝනි සුන්නතට ලක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "යෝනි සුන්නත් කළ ඇමෙරිකානු වෛද්‍යවරියක් අත්අඩංගුවේ"

    Post a Comment