05 April, 2017

ගොළු අම්මා දිනක් වයසැති බිලිඳාට පොල්ලකින් පහරදී මරා ගිනි තියලා



මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මලියතිව්, 09 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි කථනාබාධිත කාන්තාවක් තමන් බිහිකළ දිනක් වයසැති දරුවාට පොල්ලකින් පහරදී ඝාතනය කොට ගිනි තබා සිටියදී පෙරේදා (03දා) අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවැසුවේ අදාළ කාන්තාව පසුගිය 02 වැනිදා රාත්‍රියේ සිය නිවෙසේ වැසිකිළිය තුළ දරුවා බිහිකොට අනතුරුව දරුවා පොහොර උරයක ඔතා ගෙවත්තේ තිබූ කුකුළු කොටුවේ සඟවා ඇති බවයි.
එසේ සඟවා තිබියදී දරුවා හඬා ඇති අතර අදාළ කාන්තාව උදෑසන දරුවා කුකුළු කොටුවෙන් එළියට රැගෙන පොල්ලකින් පහරදී ඝාතනය කොට ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

දිනක් වයසැති දරුවාට පහරදෙන ආකාරය සැකකාර කාන්තාවගේ වයස අවුරදු 14ක් වන දියණිය දැක ඇති අතර අදාළ දැරිය පාසල් ගොස් සිදුවීම සම්බන්ධයෙන් පාසලේ ගුරුවරයකු දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ ගුරුවරයා විසින් පොලිසිය දැනුවත් කොට ඇත.

අනතුරුව පොලිසිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි සමඟ එම නිවෙස වෙත ගොස් පරීක්ෂා කිරීමේදී සැකකාර කාන්තාව විසින් දරුවා මරා පුලුස්සන ලද ස්ථානය සොයාගත් බවද පොලිසිය පැවැසීය.

පොලිසිය පැවැසුවේ අදාළ කාන්තාව සිය වැඩිමහල් දරුවා පාසල් යෑමෙන් අනතුරුව බිලිඳු මළ සිරුර ගෙවත්තෙන් මඳක් ඔබ්බෙන් පිහිටි පාළු මාර්ගයක් ආසන්නයට ගෙන ගොස් ගිනි තබා තිබූ බවයි.
ගිනි තැබීම හේතුවෙන් බිලිඳු මළ සිරුර දැවී ගොස් තිබූ අතර සිරුරු කොටස් පමණක් හමුවූ බව පොලිසිය පැවැසීය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මුලතිව් මහෙස්ත්‍රාත් එම්. සම්සුදීන් මහතා මහෙස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වූ අතර මළ සිරුරු කොටස් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙසට නියෝග කොට ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අනිද්දා (07දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මුලතිව් මහෙස්ත්‍රාත් එම්. සම්සුදීන් මහතා නියෝග කරනු ලැබීය.

වයස අවුරුදු 37ක් පමණ වන සැකකාර කාන්තාවගේ ස්වාමිපුරුෂයා වසර හයක පමණ කාලයකට පෙර මියගොස් ඇති බවද අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.වී.ඩී. ජගත් විජේගුණරත්න මහතා, පුදුකුඩිඉරිප්පු පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්ස හෙට්ටිආරච්චි මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති. 

වවුනියාව - මාධව කුලසූරිය 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගොළු අම්මා දිනක් වයසැති බිලිඳාට පොල්ලකින් පහරදී මරා ගිනි තියලා"

    Post a Comment