05 April, 2017

බිරියත් දියණියත් භාර ගන්න අකැමැති වූ ‘බුලත් විටි මාමාගේ’ සිරුර භාරගෙන මහ ඉහළින් අවසන් කටයුතු සිදුකරයි



බිරිය සිය සැමියාගේත් දියණිය සිය පියාගේත් මෘත දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කරද්දී මිනිසත්කම හදවතේ ඇති අනුරාධපුර පැරැණි නගර බස් නැවතුම ඉදිරිපිට එක්සත් ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් එක්වී (බුලත්විටි මාමා) මෘත ශරීරය භාරගෙන සියලුම චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව පසුගියදා (2දා) සවස අනුරාධපුර විජයපුර නිසල නිම්නයේදී (විජය පුර කනත්ත) භූමදානය කළේය.

පසුගිය 30දා හදවත් රෝගයකට ලක්වී අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වූ නාගොල්ලායාය ගලේවෙල ලිපිනයේ උපත ලැබූ උඩුගම කෝරාලලාගේ ‍දොන් නන්දසිරි (71) යන අයගේ දේහය ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයෝ එක්වී මිහිදන් කිරීමට කටයුතු කළහ. බුලත්විට මාමා මියයන තෙක්ම අනුරාධපුර පැරැණි නගරයේ බුලත්විට අලෙවි කිරීමේ නිරත වූ මරණකරු කා අතරත් ප්‍රසිද්ධියට පත්වූයේ ගලේ මාමා යන අන්වර්ථ නමිනි.

සිරුර භාර ගැනීමට මියගිය ගලේ මාමාගේ ඥාතීන් නොපැමිණීම නිසා දින තුනකට ආසන්න කාලයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ සිරුර තැන්පත් කර තිබියදී ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයකු ඔහුගේ උපන් ගමට ගොස් ඔහුගේ ඥාතීන් හමුවී ඔවුන් කැඳවාගෙන පැමිණ තිබේ. මරණ පරීක්ෂණයෙන් අනතුරුව මරුණකරුගේ සිරුර භාර ගැනීමට ඥාතීන් අකැමැති වීම නිසා ත්‍රිරෝද රථ ගාල ආසන්නයේ බුලත්විට විකුණු­ ගලේ මාමාගේ සිරුර ගෞරව සහිතව භූමදානය කිරීමට ත්‍රිරෝද රථ සංගමයේ සියලුම සාමාජිකයන් තීරණය කර තිබිණි.

මීට වසර විස්සකට පමණ ඉහතදී උපන් ගමවූ ගලේවෙල සිට අනුරාධපුර නගරයට පාපැදියෙන් පැමිණි මරණකරු එතැන් පටන් පැරැණි අනුරාධපුර නගරයේ බුලත්විට විකුණු­­ මාටින් මාමාගේ ගෝලයා වශයෙන් කටයුතු කර තිබිණි. මාටින් මාමා මියගිය පසුව ත්‍රිරෝද රථ ගාලේ සාමාජිකයන්ම ඔහුට බුලත්විට විකුණා ජීවත් වීමට අවස්ථාව සලසා දී තිබිණි. ඒ අනුව ඔහු මියයන තෙක්ම බුලත්විට විකුණමින් නගරයේ ජීවත් වී තිබේ.

"අපි ඥාතීන් හොයාගෙන ගලේවෙලට ගියා. ඔහුගේ බිරිය, දුව, මුනුපුරන් මුණගැසුණා. මරණ පරීක්ෂණය සඳහා ඔවුන්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට කැඳවාගෙන ආවා. නමුත් ඔවුන් සියලුම දෙනා මරණය භාර ගැනීමට අකැමැති වීම නිසා අපි තීරණය කළා සංගමයේ සියලු දෙනා එක්වී චාරිත්‍රානුකූලව සිරුර භූමදානය කරන්න.

මාමාගේ ළඟත් තිබුණු සල්ලිත් දාලා අඩුපාඩුවට අපිත් එක්කහු වෙලා මුදල් එකතු කරගෙන මල් ශාලාවෙන් සියලුම වැඩකටයුතු කරලා මිනිය ගෙනාවා පැරැණි බස් නැවතුමේ මාමා බුලත් විට වික්ක තැනට. මාමාගේ අවසන් කටයුතු සියලුම චාරිත්‍ර කරලා. ස්වාමීන්වහන්සේ නමක් ස්ථානයට වඩම්මවලා පින් පමුණුවලා පැන් වඩලා භූමදාන කටයුතු කළා. අපි මාමාට පින් පමුණුවලා හත් දවසට බණක් කියන්නත් කටයුතු කරනවා. සංගමයේ ලේකම්වරයා, භාණ්ඩාගාරික ඇතුළු සාමාජිකයන් හැමදෙනාම මේ කටයුත්තට සහයෝගය දුන්නා" යැයි සභාපතිවරයා පැවැසුවේය.

මෙම මෘත දේහය ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයන්ට අවසන් කටයුතු සිදුකිරීම සඳහා නීතිමය වශයෙන් ලබාදීමට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් කොස්තාපල් සංජන (7755) මහතා කටයුතු කළේය.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බිරියත් දියණියත් භාර ගන්න අකැමැති වූ ‘බුලත් විටි මාමාගේ’ සිරුර භාරගෙන මහ ඉහළින් අවසන් කටයුතු සිදුකරයි"

    Post a Comment