30 March, 2017

මුතුහෙට්ටිගම එලවන්නැයි අගමැති කියයි

Nishantha Muthuhettigama-06

වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම කැබිනට් සම්ප්‍රදාය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බැවින් වහාම ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගතයුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (28) කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවධාරණය කර තිබේ.

වරාය විෂය බාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විදෙස් ගතව සිටි බැවින් වැඩබලන අමාත්‍යවරයා ලෙස පසුගිය සතියේ (21) කැබිනට් මණ්ඩලයට සහභාගිවූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා, හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම සම්බන්ධයෙන් නිරීක්ෂණ ඇතුලත් කොට සකසන ලද පත්‍රීකාවේ පිටපතක් ඊට පෙරදින විපක්ෂය වෙත ලබාදී ඇති බවට චෝදනා කරමින් අගමැතිවරයා එම අවධාරණය කර ඇත.

හම්බන්තොට වරාය ගිවිසුමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ නායකයකු වන වාසුදේව නානායක්කාර මහතා විසින් අධිකරණයට ඉදිරිපත්කල පෙත්සමට, මුතුගමහෙට්ටි මහතාගේ නිරීක්ෂණ වාර්තාව ද සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් කර තිබිණ.

වැඩබලන ඇමතිවරයාගේ ක්‍රියා කලාපය හම්බන්තොට ගිවිසුම අත්සන් කිරීම පමා කොට රට ආර්ථික අර්බුදයකට ලක්කිරීමේ අදිසි හස්තයක කුමත්‍රණයක් විය හැකි බවට අගමැතිවරයා අනතුරු හඟවා තිබේ.

කෙසේවුවද නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් ඉදිරිපත්කල වාර්තාව, අර්ජුන රණතුංග මහතා ඇතුළු වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් සකසනු ලැබුවක් බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.

එහි පිටපතක් වාසුදේව නානායක්කාර මහතාට ලබාදී ඇත්තේද අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියකු විසින් බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි. (ශ්‍රීලංකන්මිරර්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මුතුහෙට්ටිගම එලවන්නැයි අගමැති කියයි "

    Post a Comment