24 March, 2017

මගේ වෘත්තිය දැන් රංගනය

Dasun Nishan de Silva-03

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ දකින දසුන් නිශාන් මෙවර "තරුණයා" මුල්පිටුව සරසන්නේය. නිරූපණ ශිල්පියෙකු ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි ඔහු අද වනවිට වෘත්තීය මට්ටමේ රංගන ශිල්පියෙකු බවට පත්ව සිටියි. වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා බොහොමයක දැනට පෙනී සිටි ඇති දසුන් ඉදිරියේදී සිනමාව හරහාද ඔබ හමුවට පැමිණීමට සූදානමින් සිටියි.

මේ දවස්වල දසුන් කියන්නේ නිතර දකින මුහුණක්?

ඔව්, මා රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍යය තුනක් මේ දිනවල විකාශය වෙනවා. ඒ හින්දා තමයි මාව මේ දවස්වල නිතර දකින මුහුණක් බවට පත්වෙලා තියෙන්නේ.

මොනවද ඔබ දායක වුණ ටෙලි නාට්‍යය?

ස්වාධීන රූපවාහිනි නාළිකාවේ රාත්‍රි 7.30ට ලිලන්ත කුමාරසිරිගේ "මුතුමලී", හිරු නාළිකාවේ රාත්‍රී 8.30ට විකාශය වන ප්‍රභාත් රෝෂන්ගේ "කවුරුන්ද නුඹ මගේ", සිරස නාළිකාවේ රාත්‍රී 9.00ට විකාශය වෙන සඳුන් රාජකරුණාගේ "පැහැසරා" ටෙලි නාට්‍යයවල මම රංගනයෙන් දායක වෙනවා. ඒ අතරින් "කවුරුන්ද නුඹ මගේ" ටෙලි නාට්‍යයේ මා නිරූපණය කරන්නේ දුෂ්ට චරිතයක්.

මේ නිර්මාණවලට අමතරව?

තවත් මා රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍යය 10ක් විතර විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා. ඊට අමතරව ප්‍රියන්ත කොළඹගේ මහත්මයා නිර්මාණය කළ "දේදුණු ආකාසේ" චිත්‍රපටයේ මා රංගනයෙන් දායක වෙනවා. මීට පෙර මා චිත්‍රපට කිහිපයකම සුළු චරිත රඟපාලා තියෙනවා. නමුත්, ඇඟට දැනෙන චරිතයක් මට පළමු වතාවට කරන්න ලැබුණේ "දේදුණු ආකාසේ" චිත්‍රපටයෙන්.

ක්ෂේත්‍රයට එන්නේ ඔබ නිරූපණ ශිල්පියෙක් විදිහට?

ඔව්, රංගන ශිල්පියෙක් වෙන්න කලින් මම නිරූපණ ක්ෂේත්‍රය තුළ වැඩ කළා. නිරූපණයට අමතරව වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා වගේ දේවල්වලට දායක වුණා. දැන්නම් නිරූපණ ක්ෂේත්‍රයට සමුදිලා තියෙන්නේ. මොකද, මගේ වෘත්තිය දැන් රංගනයයි.

රංගන ක්ෂේත්‍රයට එන්නේ?

2009 වසරේදී. නමුත්, මිනිස්සු මාව රංගන ශිල්පියෙකු විදිහට අඳුනගත්තේ 2013 වසරේදී ස්වාධින රූපවාහිනියේ විකාශය වුණ ලිලන්ත කුමාරසිරිගේ "අපේක්ෂා" ටෙලි නාට්‍යයේ "භූමි" කියන චරිතය තුළින්.

රංගන ක්ෂේත්‍රය තුළ මේ ගෙවුණු වසර කිහිපය ගැන කතා කළොත්?

මම රංගන ශිල්පියෙකු විදිහට ආවෙ බොහෝම හෙමින් ගමනක්. අදටත් එහෙමයි. මම කැමතියි මේ ක්ෂේත්‍රය තුළ හෙමින් ගමනක් යන්න. නළුවෙක් විදිහට හොඳ නමක් ගොඩනගා ගන්නත් කැමැතයි. මේ ආපු ගමන ගැන ගොඩක් සතුටු වෙනවා. රංගන ශිල්පියෙක් විදිහට මේ ගෙවුණු කාලය තුළ මම ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා කියලා මට හිතෙනවා.

ඔබ ක්ෂේත්‍රයට ආපු කාලෙට වඩා අද තියෙන තත්ත්වය ගොඩක් වෙනස්?

ඔව්, එදාට වඩා අද ක්ෂේත්‍රයට එන පිරිස වැඩියි. නමුත්, ඔවුන්ගේ රඳාපැවැත්ම අඩුයි. මොකද, බොහෝ දෙනෙක් ක්ෂේත්‍රයට එන්නේ රංගනය ගැන පුළුල් අවබෝධයක්, හැදෑරීමක් නොමැතිව. එහෙම වුණාහම ක්ෂේත්‍රය තුළ ඔවුන්ට රැඳිලා ඉන්න තියෙන කාලය අඩුයි. මම ආවේ ඉතා කටුක ගමනක්. අපිට, අද ඉන්න අයට වගේ අවස්ථා ලැබුණෙ නැහැ. ඉතින් රංගනය පිළිබඳව වැඩමුළුවලට දායක වෙලා ඒ පිළිබඳව හදාරලා තමයි අද මේ ඉන්න තත්ත්වය ගෙඩනගා ගත්තේ. ඒ නිසා අලුතෙන් එන අය මේ සම්බන්ධව ගොඩක් දැනුම්වත් වෙනවා නම් හොඳයි.

දැනට බොහෝ ටෙලි නිර්මාණවල ඔබ එකිනෙකට වෙනස් චරිතවලින් අපි දකිනවා?

ඇත්තටම, ඒක මම දකින්නෙ වාසනාවක්. මම අහිසංක පෙම්වතාගේ ඉඳලා දුෂ්ටයා වෙනකල් අද රඟපාලා තියෙනවා. පළමු වතාවට %දේදුනු^ ටෙලි නාට්‍යයේ තමයි මම දුෂ්ට චරිතයක් නිරූපණය කළේ. ඒ හරහා බොහෝ නිර්මාණකරුවන් පිරිසක් මගේ රංගන හැකියාව ගැන තේරුම් ගත්තා. ඊට පස්සෙ තමයි මාව පෙම්වතාවට පමණක් කොටු කරගන්නේ නැතිව විවිධ චරිතවල රඟපාන්න දුන්නේ. ඉදිරියේදී විකාශය වෙන්න නියමිත ටෙලි නාට්‍යයවලත් මා විවිධ චරිත නිරූපණය කරනවා.

ජනතාව අතර ඔබේ රංගනය ඇගැයීමකට ලක්වෙලා තියෙනවද?

ඔව්, නිතරම වගේ ජනතාව අතර මගේ රංගනයන් ඇගැයීමකට ලක්වෙලා තියෙනවා. සම්මාන සිහිනයකුත් මට තියෙනවා. නමුත්, මම උත්සාහ කරන්නේ ජනප්‍රිය නළුවා වෙනවාට වඩා, හොඳම නළුවා වෙන්න. කවදහරි ඒ සම්මානය මා ලබාගන්නවා කියන ඉලක්කය මට තියෙනවා.

-බුද්ධික සේනාධීර

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මගේ වෘත්තිය දැන් රංගනය"

    Post a Comment