04 December, 2016

චුට්ටි දැන් පෙම්වතියක් - ගොසිප් මැවෙන්නැති විදියට ඉන්න උත්සාහ කරනවා

isuri-navodya-paper-article

► පුංචියට හිටපු ඉසුරි දැන් පුංචි තිරයේ පෙම්වතිය වෙලා?

ඔව්. අරුමවන්ති ටෙලි නාට්‍යයෙන් තමයි මම පෙම්වතියක් විදියට මුලින්ම ප්‍රේක්ෂකයෝ අතරට එන්නේ.


► කාලයක් නිහඬ වෙලා හිටපු ඉසුරිට පෙම්වතිය විදියට එළියට එන්න අවස්ථාව ලැබුණේ කාගෙන්ද?

මම අවුරුදු තුනක් විතර රංගන කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. අරුමවන්ති කියන්නේ සුසිල නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදනයක්. මම මීට කලින් 'දඟයන්ට පමණයි, අමන්දා කියන සුසිල නිෂ්පාදනවලට සම්බන්ධ වෙලා හිටපු නිසා සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය තමයි මට අරුමවන්ති ටෙලි නාට්‍යයට ආරාධනා කළේ.


► රංගනය නුහුරු නුපුරුදු නැති වුණාට පෙම්වතිය චරිතය රඟපාන්න නුහුරු නුපුරුදුකමක් දැනෙන්න ඇති නේද?

සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය මට පෙම්වතියගේ චරිතයට ආරාධනා කළාම මට බයක් දැනුණා. රඟපාලා තියෙන නිසා මට මේ චරිතය කරන්න අමාරු වෙන එකක් නෑ කියලාත් හිතුවා. ඒත් සෙට් එකට ගියාම නුහුරු නුපුරුදුකමක් දැනෙන්න ගත්තා. හැබැයි විරාජ් අයියා වගේම අනෙක් හැමෝගෙම සහායත් එක්ක මට ඒ චරිතය කරන්න පහසු වුණා.


► විරාජ් නම් කියනවා ඉසුරු එක්ක තිරයේ පෙම්වතා වෙන්න පහසු වුණා කියලා. ඉසුරිටත් විරාජ්ගේ පෙම්වතිය වෙන්න පහසු වුණාද?

ඇත්තටම විරාජ් අයියා තමයි මට පෙම්වතියගේ චරිතය කරන්න කියලා දුන්නේ. විරාජ් අයියගේ පෙම්වතිය විදියට රඟපාන්න ලැබීමත් සතුටක්.


► කාලයකට පස්සේ පුංචි තිරයේ ඉද්දි ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් අය මගෙන් අහනවා ඔයා චුට්ටි නේද කියලා. අරුමවන්ති ටෙලි නාට්‍යයේ අසේකාගේ චරිතයටත් ලැබෙන ප්‍රතිචාර හොඳයි.


► ඉසුරි අවුරුදු තුනක්ම රංගන කටයුතුවලින් නිහඬ වුණේ ඇයි කියලත් කියමු?

මගේ අධ්‍යාපන කටයුතු නිසා තමයි රංගන කටයුතුවලින් ටිකක් අෑත් වුණේ. උසස් පෙළ ඉවර වුණාට පස්සේ මට ආයෙම රංගනයට එන්න අවස්ථාවක් ලැබුණා.


► ආයෙත් රංගනයට සම්බන්ධ වුණේ හොඳම නිළි හීනය හිතේ තියාගෙනද? ජනප්‍රිය නිළි හීනය හිතේ තියාගෙනද?

මම පුංචි කාලේ ඉඳන් හොඳම නිළිය වෙන්න ආස කළා. ඒ හීනය තාම මට තියෙනවා. මට හොඳම නිළිය විදියට සම්මානයක් නොලැබුණත් මම හොඳට රඟපානවා කියලා ප්‍රේක්ෂකයෝ තීරණය කරනවා නම් ඒක මට වටිනවා. මට හැම නිර්මාණයකම පේන්න වුවමනා නැහැ. ඒ නිසා හොඳ නිර්මාණ එකක දෙකක පේන්න හිටියත් මට ඇති.


► දැන් දිගටම රංගනයට සම්බන්ධ වෙයිද?

මට දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අධ්‍යාපන කටයුතුත් එක්ක කාලය වෙන් කරගෙන හොඳ නිර්මාණවලට දායක වෙන්න කැමැතියි.


► දැනටමත් අලුත් වැඩවලට ආරාධනා ලැබිලා ඇති?

ඔව්. ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබුණා. මියුසික් වීඩියෝවලට වගේම වෙළෙඳ දැන්වීම්වලටත් ආරාධනා ලැබුණා. කාලය තියෙන විදියට නිර්මාණවලට දායක වෙනවා. මම ගොඩක් කැමැති කොටස් අඩු ප්‍රමාණයෙ නාට්‍ය කරන්න. මොකද ඒ නාට්‍යවලින් ගොඩක් ඉගෙනගන්න දේවල් තියෙනවා.


► අරුමවන්ති ටෙලි නාට්‍යයේ වගේම සැබෑ ජීවිතයෙත් ඉසුරි පෙම්වතියක්නේ?

ඔව්. මට විශේෂ කෙනෙක් ඉන්නවා.


► ඉසුරි රඟපානවට ඒ විශේෂ කෙනාගේ අකැමැත්තක් නැද්ද?

එයාගේ වැඩි කැමැත්තක් නැහැ. එයා දන්නවා මම පොඩි කාලේ ඉඳන් රඟපෑවා කියලා. ඉතින් එයා මගේ ඒ ආසාවටත් ඉඩදීලා තියෙනවා.


► නවක රංගන ශිල්පිනියන් යන යන තැන අම්මාව ආරක්ෂාවට එක්ක යනවා. ඉසුරිත් එහෙමද?

මාත් එක්ක මගේ වැඩවලට ගොඩක් වෙලාවට එන්නේ තාත්ති. නැන්දත් මාත් එක්ක එනවා. ආරක්ෂාවට වගේම එහෙම තනියට කෙනෙක් ඉන්න එක හිතටත් හොඳයිනේ.


► පුංචි තිරයේ පේන්න ඉන්න ඔබට සිනමාව ගැන හීනයක් නැද්ද?

මම ඒ ගැන හිතලා තිබ්බේ නෑ. අවස්ථාවක් ලැබුණොත් සලකලා බලනවා.


► රංගන ක්ෂේත්‍රය කියන්නේ ගොසිප්, මඩ වදින මැවෙන ක්ෂේත්‍රයක්. ඉසුරි ගොසිප්වලට අහුවෙන එකක් නැද්ද?

අපි ඉන්න විදිය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. සමහරු ගොසිප් තරහටත් හදනවනේ. අපිට කාගෙවත් කටවල් වහන්න බෑ. නමුත් ගොසිප් මැවෙන් නැති විදියට ඉන්න මම උත්සාහ කරනවා.


► රංගනය වෘත්තිය කරගන්න අදහසක් නැද්ද?

නැහැ. පොඩි කාලේ මම ඉගෙනගන්න ආස නැහැ. හැබැයි උසස් පෙළ කරද්දි මට ඉගෙනගන්න ආසාවක් ඇති වුණා. දැන් මම වැඩිපුර ආස ඉගෙනගෙන ඒකෙන් දෙයක් හොයාගෙන යන්න. ඒ අතරේ වෙනස් රංගනයන්ටත් දායක වෙන්න කැමැතියි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "චුට්ටි දැන් පෙම්වතියක් - ගොසිප් මැවෙන්නැති විදියට ඉන්න උත්සාහ කරනවා"

    Post a Comment