04 December, 2016

“මට වින කළ අයට සොරි ඩොට් කොම්”- ක්‍රිකට් තරුව දේශපාලනයට

thilina-thushara-article-01

"වේග පන්දුවෙන් පිතිකරණයෙන්, පන්දු රැකීමෙන් දැක්‌ වූ දක්‍ෂතා නිසාම ක්‍රිකට්‌පිටිය ආකර්ෂණය කරගත් ඔහු, අද කුමන හෝ හේතුවක්‌ නිසා සැඟවුණු චරිතයක්‌ බවට පත් වෙලා. 

ඒ ඇයි කියලා දැනගන්න අප ඔහුට කතා කළ වෙලාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාව තුළ විශාල ලෙස සිදුවන අසාධාරණකම් නිසා තමන්ට " පිටිය" තහනම් කලාපයක්‌ වෙලා තියෙන බව තිලිණ තුෂාර නම් වූ ඔහු අප සමඟ මෙහෙම කිව්වා."

► ඔබ දකුණු පළාතෙන් ජාතික කණ්‌ඩායමට එක්‌ වූ ක්‍රීඩකයෙක්‌. ඔබට ඒ අවස්‌ථාව උදා වුණේ

මම ඉගෙන ගත්තෙ සිද්ධාර්ථ මධ්‍ය මහා විදුහලේ. විවිධ වයස්‌ කාණ්‌ඩ යටතේ පාසලේ ක්‍රිකට්‌ කණ්‌ඩායම්වල ක්‍රීඩා කළා. ඒ අතරතුර අම්බලන්ගොඩ රියෝ ක්‍රීඩා සමාජයෙත් සිංහ ක්‍රීඩා සමාජයෙත් ක්‍රීඩා කිරීමට අවස්‌ථාව උදා වුණා. එහිදී මගේ දක්‍ෂතා දැකපු ශම්මි සිල්වා මහතා මාව 19 න් පහළ සංචිතයට ඇතුළත් කර ගත්තා. ඒ එක්‌කම ලුවී කරුණාරත්න මහතා මාව ෆාස්‌ට්‌ බෝලර් කෙනෙක්‌ විදියට රුමේෂ් රත්නායක මහතාට හඳුන්වා දුන්නා. ඒ විදියට තමයි ජාතික කණ්‌ඩායමට ඇතුළත් වුණේ.


► ඒ විදියට පියවරෙන් පියවර ඉදිරියට ආ ඔබ අද පල්ලම් බසින ක්‍රීඩකයෙක්‌ කිව්වොත්

පල්ලම් බහිනවා නෙමෙයි අපේ දක්‍ෂතා හඳුනා නොගත් සහ නොසලකා හරින පිරිසක්‌ අපිව පල්ලම් බස්‌සනවා.


► ඔබ දක්‍ෂයෙක්‌ කියල ඔබම කියන්නෙ කොහොමද?

මා තුළ දක්‍ෂකමක්‌ නැත්නම් මට මෙච්චර දුරක්‌ එන්න ලැබෙන්නෙ නැහැනෙ. 20-20 වැඩිම විකට්‌ මගේ. ඒ වගේම බැටින් ඇවරේඡ් එක 30 යිය. ඒවා දක්‍ෂකම් නෙමෙයිද? ඒත් ලෝක කුසලානෙටවත් තෝර ගත්තෙ නෑ.


► කවුද ඔබට අසාධාරණකම් කරන්නෙ

සුදුසුකම් නැතුව ඉහළ තනතුරුවලට පත්වෙච්ච සහ අද අපි ඉන්න තැන දරාගන්න බැරි පිරිස්‌.


► නොලැබෙන දෙයක්‌ ගැන ඇයි මේ තරම් ලතවෙන්නෙ.

ලතවෙනව නෙමෙයි. දක්‍ෂතාවයට අනුව මට හිමිවිය යුතු එහෙත් හිතාමතා අහිමි කරන අසාධාරණයට විරුද්ධවයි මම කතා කරන්නෙ. හැම අතින්ම මගේ රෙකෝඩ් ඉහලයි. හැකියාව තියෙද්දී ඇයි අපි පසුබහින්නෙ.


► අසාධාරණයට එරෙහිව යන ඔබේ මතයේ සිට මේ තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් වෙයි කියල හිතනවද?

අපේ රටේ අසාධාරණයට එරෙහිව කතා කරන කාටද, කවදද, කොතැනද සාධාරණය ඉටු වුණේ. ක්‍රිකට්‌වලටත් ඕක පොදු සාධකයක්‌ කියන එක මම දන්නවා. ඒත් රටටත් ක්‍රිකට්‌වලටත් තියෙන ආදරය නිසා සද්ද නැතුව ඉන්නත් බෑ.


► පවතින ක්‍රමයේ වෙනස්‌ විය යුතු තැන් ලෙස ඔබ දකින්නේ...

කණ්‌ඩායමට ක්‍රීඩකයෙක්‌ තෝරා ගන්න කොට හොඳ මාජින් එකක්‌ තිබිය යුතුමයි. ක්‍රීඩාවට දක්‍ෂ වගේම හොඳ විනයක්‌ තියෙන්නත් ඕන. ඒවා සැලකිල්ලට නොගෙන හැඳුනුම්කම් මත තැනදීමනෙ අද වෙමින් පවතින්නේ. මේ තත්ත්වය මාධ්‍ය හරහා නෙමෙයි අදාළ කෙනෙක්‌ මගෙන් මූණට අහනව නම් සුපිරි විදියට පැහැදිලි කරල දෙන්න මම ලෑස්‌තියි.


► එහෙම කෙනෙක්‌ ඉදිරිපත් වුණොත්

හරිම කැමැත්තෙන් පැහැදිලි කරල දෙනවා කට කෑවත් මම කියන දේ මූණට කියන කෙනෙක්‌. ඔය කෙණෙහිලිකම්වලට ඒකත් බලපානවා. වැරද්ද දැකල නිහඬ වෙන්න මට බෑ. ඒ මම නියම පිරිමියෙක්‌ නිසා.


► ප්‍රශ්න ඇති කරගෙන ලංකාවේ ක්‍රිකට්‌ තුළම ඉන්න දඟලන්නෙ නැතුව වෙන රටක කණ්‌ඩායමකට සම්බන්ධ වෙලා ක්‍රීඩා කරන්න බැරිද?

එහෙම අවස්‌ථා ලැබිල තියෙනවා. ඒත් ඒවාට යොමු නොවුණේ අපේ රට වෙනුවෙන් සෙල්ලම් කරන්න තියෙන අසීමිත ආශාව නිසා. මට හිමිතැන ලබා ගන්න තව ටිකක්‌ උත්සාහ කරනවා මොකද මම කවදාවත් ෆේල් ක්‍රීඩකයෙක්‌ නෙමෙයි.


► නැවත කවදාවත් ශ්‍රී ලංකා පිලට එකතු වෙන්න බැරි වුණොත්

අමනයන්ගෙ අමන වැඩ නිසා ඒක එහෙම වෙයි කියල තමයි මටත් හිතෙන්නෙ. එන විදියකට මූණ දෙනවා. නැට්‌ටට ගියත් නැවෙන්නෙ නෑ මොකද මම දකුණෙ විශේෂයෙන්ම බලපිටියෙ එකෙක්‌.


► ක්‍රිකට්‌ අතහරින්න - අමතක කරන්න බැරිද?

ලොවෙත් බෑ. ක්‍රිකට්‌ තමයි මගේ ජීවිතේ මට අලුත් ජීවිතයක්‌ ලැබුණෙ ක්‍රිකට්‌ නිසා. මම යම් ස්‌ථාවරයක ඉන්නවා නම් ඒ ක්‍රිකට්‌ නිසා.


► මේ තරම් අසාධාරණයට ලක්‌වෙන්න ඔබ තුළ සුළු හෝ වැරැද්දක්‌ ඇති කියලා හිතෙන්නෙ නැද්ද?

මගේ වැරදි තමයි මත්වතුර සිගරට්‌ පාවිච්චි නොකිරීම. එතකොට නයිට්‌ ක්‌ලබ් යන්නෙත් නෑ. විනය අංක එකේ තියාගෙන ඉන්නවා. ඔය ටික නැති කරගෙන කට්‌ටිය එක්‌ක සෙට්‌ වෙනවානම් ඔක්‌කොම OK.


► ඔබේ ඉදිරි බලාපොරොත්තු ගැන සඳහන් කරනවා නම්

දේශපාලනයට සම්බන්ධ වෙන්න ආරාධනාවක්‌ ලැබිල තියෙනවා. ඒ ආරාධනාව පිළිඅරන් එතැනින් මට නැගිටින්න පුළුවන් වුණොත් මට වින කරපු අයට සොරි ඩොට්‌ කොම්ම තමයි.


► ගෙදර විස්‌තර ටිකකුත් කියන්න.

මගේ බිරිඳ නිරංජලා අපි පාසලේදී ඇති කරගත්තු ප්‍රේම සම්බන්ධයකින් තමයි විවාහ වුණේ. අපිට පුතාල දෙන්නෙකුයි දුවෙකුයි ඉන්නවා. පොඩි පුතා ක්‍රිකට්‌වලට දක්‍ෂ බව පේන නිසා ඉදිරි කාලෙක මාව නියෝජනය කරයි කියල හිතෙනවා.

ඒ ඇරෙන්න ඉතින් අපි කාටවත් කරදරයක්‌ නැතුව ජීවත් වෙනවා.


► ඔබේ සතුරන්ටත් මිතුරන්ටත් ඔබට මොනවද කියන්න තියෙන්නෙ.

මට මිතුරු හැමෝටම මම ආදරෙයි අවංකවම. අනිත් අයට ඉතින් කියන්න තියෙන්නෙ ඔය කරන හැම දේකටම කොහෙන් නැතත් සොබා දහමෙන් හරි වෙලාවට රිටර්න් එක ලැබෙනවා. ඒක නවත්වන්න බෑ කියන එක අවබෝධ කරගෙන පුළුවන් තරම් හොඳින් ජීවත් වෙන්න බලන්න කියන එක තමයි.

ධම්මික හේවාවසම් - දිවයින
ඡායාරූප - අනෝඡ් හේවාවිතාරණ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“මට වින කළ අයට සොරි ඩොට් කොම්”- ක්‍රිකට් තරුව දේශපාලනයට"

    Post a Comment