30 November, 2016

සුලෝචනාගෙන් සිදුවණු අතපසුවීමට ලිංගික අල්ලස් ඉල්ලූ බැංකු කළමනාකරුට හෝටල් කාමරයේදී වැඩ වරදී

trying-to-abuse-rape-girl

කරදරයකට පත්වුණාම එයින් ගලවාගන්න එහෙමත් නැත්නම් උදව් කරන්න ඉදිරිපත්වෙන අයට වඩා එයින් අයුතු ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න අය වැඩියි.

ඒ විදිහට බැංකුවක සේවය කරපු තරුණියකට ඇගේ අතපසුවීමකින් ලක්ෂ දෙකක මුදලක් බැංකුවකට පැමිණි ව්‍යාපාරිකයෙකුට ලබාදෙනවා.

ඇය අතින් සිදුවුණු මේ අතපසුවීම නිසා රස්සාවත් නැතිවෙනවා කියලා ඇගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බැංකු කළමනාකරුට සිද්ධවුණු පාඩමයි මේ.

අම්මාත් තාත්තාත් මේ දියණියට හැම විටම ඉගෙනීමෙන් ඉහළටම යාමට දිරිමත් කළා.

සුලෝචනා ද කොතරම් අගහිඟකම් තිබුණ ද ඒ සියල්ලට එරෙහිව යමින් හොඳින් ඉගෙනුම ලැබුවා ය.

ඇයට අවශ්‍යවූයේ වෛද්‍යවරියක වීමට ය. එහෙත් ඇගේ බලාපොරොත්තු ඉටුවූයේ නැත.

විශ්ව විද්‍යාලයට යාමට සුදුසුකම් නොමැතිවීම නිසා ඇය බැංකු නිලධාරීන් බඳවා ගන්නා තරග විභාගයකට පිළිතුරු ලිව්වා ය.

විශ්ව විද්‍යාලයට යාමට නොහැකිවීම ගැන හිතේ දුකක් තිබුණ ද ඇය බැංකු විභාගයෙන් ඉහළින්ම සමත් වූවා ය. ඒ අනුව ඇයට බැංකුවක පත්වීමක් ලැබුණා ය.

ඇයට අයත් රාජකාරිය වූයේ කවුන්ටරයක මුදල් බාරව කටයුතු කිරීම ය. නගරයේ පිහිටි මෙම බැංකුව නිතරම කාර්යබහුල විය. මෙම බැංකුවට නිතර දෙවේලේ ආවේ ගියේ ව්‍යාපාරිකයන් ය.

සුලෝචනා හා ඇය සේවය කරන බැංකුව පිළිබඳව අපි ඔබට මුලින්ම කරුණු කීවත් මේ කතාව ආරම්භ වන්නේ මෙතැන් සිට ය.

සුලෝචනා සේවය කළ බැංකුවේ කළමනාකරු මැදිවියේ පසුවූවෙකි. ඔහු බොහෝ ක්‍රියාශීලී අයෙක් විය. ඒ නිසාම ඔහු තම අරමුණ කරා ඉක්මණින් ළඟා වූයේ ය.

කෙසේ හෝ වේවා මොවුන් රාජකාරිය කළ බැංකුවට බොහෝ ව්‍යාපාරිකයෝ පැමිණියහ. දිනපතාම ගනුදෙනු කරන අයද ඒ අතර විය.

නගරයේ ව්‍යාපාරිකයකු බැංකුව වෙත හදිසි ගනුදෙනුවකට ආවේ ඔය අතර ය. ඔහු තම ගිණුමෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගැනීමේ පෝරමයක් කවුන්ටරයේ සිටි සුලෝචනා වෙත දිගු කළේ ය.

උදෑසනම බැංකුව කොහොමත් කාර්යබහුල ය. ඒ කාර්ය බහුලත්වයට හුරුවීමට සුලෝචනාට ඒතරම්ම ලෙහෙසි වූයේ නැත.

ව්‍යාපාරිකයා විසින් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඉදිරිපත් කළ ලියවිල්ලට සුලෝචනා රුපියල් ලක්ෂ තුනක මුදලක් නිකුත් කළා ය.

ව්‍යාපාරිකයා මුදල් ද රැගෙන යන්නට ගියේ ය. බැංකු කටයුතු නිමා වීමෙන් පසුව සියලු ගනුදෙනු පරීක්ෂා කිරීමේදී ලක්ෂ දෙකක අඩුවක් තිබෙන බව බැංකු කළමනාකරුට අවබෝධවිය.

එදින රුපියල් ලක්ෂ දෙකක් ඉල්ලා කවුරුන් හෝ හරපතක් නිකුත් කර නොතිබූ අතර රුපියල් ලක්ෂයක් තම ගිණුමෙන් ලබා ගැනීමට හරපතක් යොමුකළ එකම තැනැත්තා කලින් කී ව්‍යාපාරිකයා පමණි.

බැංකු කළමනාකරු මේ බව ඔහුගෙන් විමසූ විට ව්‍යාපාරිකයා කියා සිටියේ තමන් රුපියල් ලක්ෂයක මුදලක් පමණක් ලබාගත් බව ය.

ලක්ෂ දෙකක මුදලක් කාට හෝ නිකුත් කළ බවට කිසිදු සටහනක් ද නොවී ය.

සුලෝචනාට දෙලොව රත්විණි. ඉතිං කුමක් කරන්න ද? බැංකු කළමනාකරු ඇයව ඔහුගේ කාමරයට කැඳෙව්වේ ය. තමා අතින් වරදක් වී ඇති බව දත් සුලෝචනා ඉකි බිඳ හැඬුවා ය.

දැන් කරන්න දෙයක් නැහැ. ඔයා මේ ලක්ෂ දෙකක මුදල සෙට්ල් කරන්න ඕන...

නැන්තම් රස්සාව දාලා ගෙදර යන්න වේවි. එහෙත් රුපියල් ලක්ෂ දෙකක මුදලක් එකවර ගෙවීමට තරම් වත්කමක් සුලෝචනාට නොවී ය.

ඇය බොහෝ ආර්ථික අපහසුතාවලට මුහුණ දුන් තැනැත්තියකි. සිදුවූ දෙය ගැන සිතා හඬනවා හැරෙන්නට ඇයට කළ හැකි වෙනත් කිසිවක් නොවූවා ය.

මෙම අසරණිය අමාරුවේ වැටුණ වේලාවේ එමගින් වාසියක් ගැනීමට බැංකු කළමනාකරුට සිතක් පහළ වූයේ ඔය අතරය.

ඇහැට කනට පෙනෙන සුලෝචනා දෙස බැලූ කළමනාකරු ඇයට අලුත් යෝජනාවක් ගෙන ආවේ ය.

මං කොහොමද එකපාර රුපියල් ලක්ෂ දෙකක් ගෙවන්නේ..මම කිව්ව මගේ පඩියෙන් ටික ටික කපාගන්න කියලා.

ඒත්... මැනේජර් ඒකට කැමති වුණේ නැහැ... සර් මට කිව්වා පෞද්ගලිකව ඇවිත් එයාව හම්බවෙන්න කියලා.

මම දැන ගත්තා සර් එන්නෙ අමුතු පොටකට කියලා. මට ඒ කතාව ඇහුවම උහුලගන්න බැරිව ගියා.

අපි දුප්පත් තමයි. ඒත් ඒවගේ දෙයක් කරන්න පුළුවන්ද? මගේ අම්මට තාත්තට මොනවා හිතෙයිද මං ගැන...”

“මං ඇහුවා සර් මං අම්මත් එක්ක එන්නද කියලා?”
ඒ ගමන මට හොඳටම බැන්නා. ඊට පස්සේ මට කිව්වා එක්කො සර් එක්ක හෝටල් කාමරයකට යන්න එන්න. නැත්තම් ලක්ෂ දෙක නිසා හිරේ යන්න සූදානම් වෙන්න කියලා.

මං හොඳටම දන්නවා මං වංචාවක් කළේ නැහැ කියලා. අර ව්‍යාපාරිකයා වැඩිපුර ලැබුණු මුදල හංගගෙන එයා ගත්තේ ලක්ෂයක් විතරමයි කියලා කියපු නිසයි මම අමාරුවක වැටුණේ..

සිදුවූ දේ සුලෝචනා පවසන්නේ බියපත්ව ය. මං එදා බැංකුවේ ඉඳලා ගෙදර ගියත් මට කිසිම සැනසිල්ලක් තිබුණේ නැහැ.

මගේ හිතෙත් වැඩ කළේම මගෙන් වෙච්ච අත්වැරැද්ද ගැනමයි. ඒ මදිවට සර් මාව බිල්ලට ගන්න හදනවා. මේ කතාව අම්මටවත් තාත්තටවත් කියන්න බැහැ.

මට මගේ හිත හදාගන්නත් බැහැ. විසඳුමක් නැති ප්‍රශ්න ගොඩක පැටලිලා හිටපු මම මගේ හොඳම යෙහෙළියට මේ ගැන කිව්වා.

එයාගේ තාත්තා නීතිය පිළිබඳ හොඳට දන්න කෙනෙක්. යෙහෙළිය මට කිව්වා පහුවදාට එයාලගේ ගෙදර එන්න කියලා. එදා රෑ එළිවෙනතුරුත් මට නින්දත් නොනිද්දත් අතර හිටියේ. මං පහුවදා උදේම යෙහෙළියගේ ගෙදර ගියා. යාළුවගේ තාත්තට මං විස්තරය කිව්වා.

මං එතැන ඉඳලා වැඩ කළේ මගේ යාළුවගේ තාත්තා කියන විදියට.” මං ඊට පහුවදා කන්තෝරු ගිහිල්ලා සර්ට කිව්වා රස්සාව බේරගන්න ඕන නිසා මං එන්න කැමතියි කියලා.

ඒ වෙලාවේ සර් මගෙ දිහා බැලුවේ බොහොම කෑදර විදිහට. සර් මට වෙලාවත් තැනත් කිව්වා. මම හරියටම ඒ වෙලාවට ඒ තැනට ගියා.

වරෙන් කෙල්ලේ මං උඹේ රස්සාව බේරලා දෙන්නම්” එහෙම කියලා සර් මගෙ ඉනවටේ අතක් දාගෙන හෝටල් කාමරයට මාව එක්කරගෙන ගියා.

මට දැනුණේ මහා පිළිකුලක්. මේ මනුස්සයා තමන්ගේ වයසේ හැටියටවත් නෙමෙයිනෙ හැසිරෙන්නේ කියලා මට හිතුණා.

සර් හරියට කොල්ලෙක් වගේ එක එක කතා කියන්නත් මගේ එහෙන් මෙහෙන් අල්ලන්නත් පටන් ගත්තා.

ඒත් ඒ එක්කම වගේ දොරට තට්ටුකරන හඬ ඇහුණා. මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවේ එතකොටයි.

දොරට තට්ටු කරන හඬ ඇහිලා සර්ට කේන්ති ගියා. “කවුද දොරට ගහන්නේ කියලා සර් සැරෙන් කතා කළා...”

“පොඩ්ඩක් දොර අරින්න. සර්ගෙ හැඳුනුම්පත් අංකය ඉල්ලාගෙන යන්නයි ආවේ කියලා එළියේ ඉන්න ගැහැනු කෙනෙක් කියනවා ඇහුණා.”

සර් ඒ වෙලාවේ මහා කරදරයකින් ඉක්මණින් ගැලවෙන්න ඕන වගෙයි දොර ඇරියේ. ඒත් ඉදිරියේ හිටපු අය දැකපු සර් මගෙ දිහාත් ඒ අය දිහාත් කිහිපවරක් ම බැලුවා.

හොඳයි බලාගමුකෝ... සර් මට එතැනදී කිව්වා. හොඳයි බලමුකෝ..

“අල්ලස් දෙපාර්තමේන්තුවෙන් ඇවිත් හිටිය අයත් එහෙම කිව්වා.”

“මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ ඊට පස්සේ...” සුලෝචනා අතීතයේ මුහුණ දුන් සිදුවීම එසේ කියා කතාව නිම කළා ය.

සුලෝචනාගෙන් රුපියල් ලක්ෂ දෙක වෙනුවට ලිංගික අල්ලසක් ගැනීමට මාන බැලූ බැංකු කළමනාකරු තාමත් හිරගෙදර ය.

ඔහුට වසර විසි දෙකක සිර දඩුවමක් ද, දඩ මුදලක් ද නියම වූයේ ය. ඊට අමතරව ඔහුගේ රැකියාව ද අහිමි විය.

මෙය කියවන ඔබට කියන්නට අපට පණිවුඩයක් ඇත. එනම් යම්කිසි පුද්ගලයකු ලිංගික අල්ලසක් ඉල්ලා සිටිනවා නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන අංශයට පැමිණිලි කිරීමට ඔබට අයිතියක් තිබෙන බව හොඳින් සිහිය තබාගන්න.

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සුලෝචනාගෙන් සිදුවණු අතපසුවීමට ලිංගික අල්ලස් ඉල්ලූ බැංකු කළමනාකරුට හෝටල් කාමරයේදී වැඩ වරදී"

    Post a Comment