01 November, 2016

සිනමා නිළියක් කියලා මාව හඳුන්වනවටයි මං කැමැති

ඔයා හිතන විදියට අමීෂා කාවින්දි කිව්වම මිනිසුන්ට මතක් වෙන්නේ කාවද?

මම රඟපාපු චරිත වෙන්න ඇති නේද?. මම හිතන්නේ සුදුහංසි චිත්‍රපටයේ මලීෂාගේ චරිතය සහ ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටයේ ජිනාගේ චරිතයට මිනිස්සු කැමැතියි.

ඔයා කැමැති ඔයාව කවුරු විදියට හඳුන්වනවටද?

මම කැමැතියි මාව සිනමා නිළියක් ලෙස හඳුන්වනවට. ඒ වගේම මම රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක් ලෙස හඳුන්වනවටත් කැමැතියි.

ජීවිතයේ කළ තෝරා ගැනීම් ගැන සතුටු වෙන්න පුළුවන්ද?

ඔව් සමහර තැන් තිබුණා. අවස්ථාව ආවා, ඒත් මම තෝරා ගත්තේ නැහැ. ඒ ගැන දුකයි. ඒ ඇරෙන්න මගේ තෝරාගැනීම් ගැන මම සතුටු වෙනවා.

ක්‍ෂේත්‍රයට එන්න දුක් වින්ද කාලයක් තිබ්බද?

ඇත්තටම කියනවා නම් මම කට්ටක් කෑවේ නෑ. මම නර්තන ශිල්පිනියක්නේ. ඉතින් මම චිත්‍රපට පසුබිම් නර්තනයට දායක වුණා. එතැනදි මාව දැකලා තමයි සුරේෂ් කුමාරසිංහගේ ඩබල් ගේම් චිත්‍රපටයට මාව තෝරා ගත්තේ.

සැමියා විදියට අර්ජුන් කමලනාත් තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණද?

සීනි බෝල චරිතවලට මම කැමැති නැහැ. මට ඕන හොඳ පිරිමියෙක්. ස්වරූපයෙන් විතරක් නෙවෙයි එයා වැඩවලිනුත් හොඳ පිරිමියෙක්.

එයා කැමැතිම ඔයාගේ ගති ලක්‍ෂණ මොනවද?

මම අනුන්ගේ ඕපදූප හොය හොය එයා එක්ක කියන්නේ නෑ. ඒකට එයා හරිම කැමැතියි.

වැඩිපුරම චිත්‍රපටවල විතරක්ම දකින්න ලැබෙන්නේ ඇයි?

මම ආවේ ඩබල් ගේම් චිත්‍රපටයෙන්නේ. එතැනින් පස්සේ මට දිගටම චිත්‍රපට ලැබුණා. ඒ නිසා චිත්‍රපට නිළියක් වීම මට වටිනවා. ලොකු තිරයක කාලෙකින් දකින එක හොඳයි.

හැමෝම බර අඩුකර ගන්න හිතන කාලේ අමීෂා විතරක් මහත්වෙන්නේ මොකද?

මම හුඟක් කෙට්ටු වුණාම කැතයි. මහතට ඉද්දී ලස්සනයි කියලා සමහර අය කියනවා. ඒත් නොවැම්බර්වල පටන් ගන්න ෆිල්ම් එකට කෙට්ටු වෙන්න ඕන නිසා දැන් ජිම් යනවා.

හඳහන් විශ්වාස කරනවාද?

අනිවාර්යයෙන්ම මගේ හඳහනේ තිබුණු හුඟක් දේවල් හරි ගියා. විශේෂයෙන් මගේ හඳහනේ කිව්වා මට ගැළපෙන්නේ කලා ක්‍ෂේත්‍රය කියලා.

ලැබිලා තියෙන ජනප්‍රියත්වය ගැන සතුටුයිද?

ඔව්, සතුටුවෙන්න පුළුවන්. මම හුඟක් ජනප්‍රිය නෑ. ගානට ජනප්‍රියයි. තරහකාරයෝ නෑ. මාධ්‍ය වුණත් මාත් එක්ක හොඳයි.

වැඩිපුරම මුදල් වියදම් කළේ මොනවටද?

මගේ රත්රන් ආභරණ ටික හදන්න තමයි. මම රඟපාලා ලැබුණු සල්ලි සැමියා දුන්නු සල්ලි, අම්මා තාත්තා දුන්නු සල්ලි සේරම දාලා මම ඒවා හැදුවා.

පවුලෙන් දුරස් වෙලා නිසා අම්මා, තාත්තා ගැන බලන්නේ කොහොමද?

අම්මෝ ඒ දෙන්නා මගේ ජීවිතේ. මම නිතරම එයාලව බලන්න යනවා. අඩුපාඩු සොයා බලනවා. දුරකතනයෙන් පවා කතා කරනවා. දරුවෙක් විදියට මම එයාලට යුතුකම් ඉටු කරනවා.

අර්ජුන්ගෙන් වැඩිපුරම බැනුම් අහන්නේ මොනවටද?

මට හැමදේම අමතක වෙනවා කියලා බැනුම් අහනවා. සමහර විට එයා පවරන වැඩ, ගමන් බිමන් යන දවස් පවා මට අමතක වෙනවා.

අමීෂා පොඩි කාලේ මොනවගේ චරිතයක්ද?

මම කතෝලික. ආගමට හරිම ළැදි දරුවෙක්. දහම් පාසල් ගියා. පල්ලියේ ගීතිකා කණ්ඩායමේ හිටියා. හුඟක් අය හිතුවේ මම සිස්ටර් කෙනෙක් වෙයි කියලා.

වැඩිවියට පත්වුණු දවස මතකද?

ඔව්. එතකොට මම නවය වසරේ. අම්මා බෞද්ධ නිසා ආච්චි අම්මලා මාව කාමරේ දාගෙන වහගෙන ඉඳලා පාන්දර නැව්වා. අම්මෝ එදා නම් මම ලොකු කට්ටක් කෑවා.

ඒ කාලේ ගෙදරින් තහංචි වැටුණද?

තහංචි දැම්මේ නැහැ. තහංචි දාන්න තරම් දේවල් මම කළෙත් නෑ. දාන සෙල්ලම් සේරම දැම්මේ ලොකු වුණාට පස්සේනේ.

ජනප්‍රිය වෙන්න මොනවද කළේ?

වැඩ කළා. මම ජනප්‍රිය වෙන්නේ හොඳින් වැඩ කරලා. මට ෆේස්බුක් ගිණුමක්වත් නැහැ. ඒවාගෙ ෆොටෝස් දාගෙන දඟලන්න මම ආස නෑ. මම ජීවත් වෙන්නේ ඉන්නවද නැද්ද නැති ගානට

බිරියක් විදියට මවක් වෙන්න අදහසක් නැද්ද?

ඒ දේවල් මේ සිද්ධ වුණා වගේම සිද්ධ වෙයි. මම සුළු වැඩ ප්‍රමාණයක් කළ කෙනෙක්. ඒ නිසා තව අවුරුදු දෙකක් විතර වැඩ කරලා ඊට පස්සේ ඒ ගැන හිතනවා.




හංසි ආටිගල - මව්බිම
ඡායා - අශාන් ගමගේ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සිනමා නිළියක් කියලා මාව හඳුන්වනවටයි මං කැමැති"

    Post a Comment