13 September, 2016

සැත්කමකින් දරුවකු බිහි කළ බව වෛද්‍යවරුන් කියද්දී දරුවාගේ මව එය ප්‍රතික්ෂේප කරයි



සති හයක් ඇතුළත බිලිඳකු සිසේරියන් සැත්කමකින් බිහි කර ඇති බවට වෛද්‍යවරුන් පරීක්ෂා කර නිර්දේශ කරද්දී තමන් බිලිඳකු කිසිසේත් බිහි කර නැතැයි ප්‍රකාශ කරන කාන්තාවක් පිළිබඳව කෑගල්ල රෝහලෙන් වාර්තා විය.

වෛද්‍යවරුන්ගේ නිර්දේශය ප්‍රතික්ෂේප කරන්නේ බුලත්කොහුපිටිය පොලිස් වසමේ පදිංචි එක්දරු මවකි.

වයස අවුරුදු 06ක පිරිමි දරුවකුගේ මවක් වන මේ කාන්තාවගේ සැමියා වෙනත් විවාහයක් සිදුකරගෙන සිටින බැවින් පළමු බිරියට රුපියල් 3,000ක නඩත්තු මුදලක් ගෙවන බවද අනාවරණය වෙයි.

මේ කාන්තාව යළිත් දරුවෙක් ප්‍රසූත කිරීමට සිටින බවට සලකුණු පහළව තිබියදී හදිසියේ එම සලකුණු පහව ගොස් තිබීමත් දරු උපතක් ලැබුවා නම් බිලිඳා නිවෙසේ නොමැති වීම ගැන සැක පහළ වී ගම්වාසීන් 119 දුරකතන අංකයට දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ බුලත්කොහුපිටිය පොලිසියේ නිලධාරීන් අදාළ කාන්තාව සොයා පොලිසියට ගෙන ගොස් විමසීමේදී මේ කාන්තාව පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසිසේත්ම දරුවකු ප්‍රසූත නොකළ බවයි.

පසුව පොලිසිය අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මීට දින කීපයකට ඉහතදී කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී වෛද්‍ය කණ්ඩායමක් ඇය විශේෂ පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී කාන්තාව සිසේරියන් සැත්කමකින් දරුවකු සති 6ක් ඇතුළත බිහිකර ඇති බවටත් උදරය කපා තිබූ තුවාලද, පියයුරුවලින් කිරි පහවෙන බවටත් වෛද්‍යවරුන් විසින් සනාථ කරගෙන ඇත. 

එසේ තිබියදී මේ කාන්තාව වෛද්‍යවරුන්ට ප්‍රකාශ කර ඇත්තේ තමා දරුවකු බිහි නොකළ බවත් ඒ සම්බන්ධයෙන් තමාට උගන්වන්න අවශ්‍යතාවක් නැති බවත්ය. 

පසුව ඇයගෙන් වෛද්‍යවරුන් විමසා ඇත්තේ සිසේරියන් සැත්කමක් කර නැති නම් ප්ලාස්ටර් මොනවාද යන්නයි. 

එය කෝටුවක් ගැටීමෙන් සිදුවූ තුවාල බවත් ඇය ප්‍රකාශ කර ඇත.

අදාළ කාන්තාව කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා වෙතද ඉදිරිපත් කර තිබිණි. 

ඉන් අනතුරුව බුලත්කොහුපිටිය පොලිසියේ කණ්ඩායමක් ඇය පිළිබඳ  විමර්ශනය කිරීමට කෑගල්ල මහ රෝහලට පැමිණ තිබිණි.

දමුණුපොළ - චමින්ද ජයලත් - මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සැත්කමකින් දරුවකු බිහි කළ බව වෛද්‍යවරුන් කියද්දී දරුවාගේ මව එය ප්‍රතික්ෂේප කරයි"

    Post a Comment