13 September, 2016

එකට කාපු බීපු මිතුරා වතුරේ ගිලෙද්දි ෂේප් එකේ මාරු වුන අපූරු මිතුරන් පිරිසක්



උපකාරක පන්තිවලට යන බවට ගෙවල්වලට බොරු කියා නිවෙස් වලින් පැනගත් අවුරුදු 16 – 17 බාල වයස්කාර සිසුන් 9දෙනෙකු මත්පැන් සාදයක් පවත්වා වෙරිමතින් කන්දේඇළ ජලාශයේ දියකෙළියේ යෙදී සිටින විට එක් අයකු ගිලී මියයද්දි අනෙක් අටදෙනා කිසිවකුටත් නොකියා නිවෙස්වලට පැනගොස් ඇති පුවතක් පෙරේදා (11දා) අනාවරණය වූ බව නානුඔය පොලීසිය කියයි.

එසේ මියගොස් ඇත්තේ මීපිලිමාන පදිංචි නිමේෂ් දුලංග රණසූරිය නමැති 16 හැවිරිදි සිසුවෙකි.

පසුගිය 10 වැනිදා පෙරවරුවේ උපකාරක පන්ති ගිය තම පුතා එදින නිවෙසට පැමිණියේ නැති බව පවසමින් ඔහුගේ මව විසින් පෙරේදා (11) නානුඔය පොලීසියට පැමිණිලි කොට තිබිණි.

ඒ අනුව සිදුකරන ලද විමර්ශනවලදී හෙළිදරව් වී ඇත්තේ නුවරඑළිය නගරාසන්නයේ ප්‍රධාන පාසල් දෙකක ඉගෙනුම ලබමින් උපකාරක පන්තිවලදි හදුනාගත් නුවරඑළිය ප්‍රදේශයේම සිසුන් 9දෙනෙකු මෙසේ පසුගිය 10දින කන්දේඇළ ජලාශයේ දිය නෑමට ගොස් තිබෙන බවයි.

පසුව සිද්ධියට සම්බන්ධ සිසුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇතතේ අතුරුදන් වී ඇතැයි කී සිසුවාද කන්දේඇළ ජලාශයේ මෙම පිරිස සමග දිය නෑමට ගිය බවයි.

ඔවුන් එම ගමන යන විට වර්ග 3කට අයත් මත්පැන් බෝතල් 3ක්ද රැගෙන ගොස් ඒවා පැය භාගයක් තුළ පානය කරමින් කන්දේඇළ ජලාශයේ විටෙක වතුරට බසිමින් විටෙක ගොඩ එමින් විනෝද වෙමින් සිටියදී මියගිය සිසුවා ගිලී ගිය බව පවසා ඇත.

ඔහු බේරා ගැනීමට මේ සිසුන් පිරිස දම්වැලක් සේ එකිනෙකා අත්වැල් අල්ලාගෙන උත්සාහ කළද බේරා ගැනීමට නොහැකි වූ තැන කිසිවකුට නොකියා ඔවුන් රහසේ නිවෙස්වලට ගොස් තිබෙන බවද එහිදී අනාවරණය විය. 


එම හෙළි කිරීම් අනුව පෙරේදා (11දා) දින කන්දේඇළ ජලාශයේ පතුලේ තිබී මියගිය සිසුවාගේ සිරුර පොලීසිය විසින් ගොඩගෙන තිබිණි.

නුවරඑළිය අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් නලීන් තිලක හේරත් මහත්මිය ස්ථානීය පරීක්ෂණය සිදුකොට මළසිරුර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පරීක්ෂණයට ලක්කොට මියයෑමට හේතු අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කොට ඇත.

මේ මරණ පරීක්ෂණ අවස්ථාවේදී සාක්ෂි විමසීම සදහා සිද්ධියට සම්බන්ධ සිසුන් කැදවා තිබූ අතර, ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙයට පෙරද අවස්ථා කීපයකදී ඔවුන් මත්පැන් සාද පවත්වා ඇති බව හෙළිකරගෙන ඇත.

නානුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අමරසිංහ මහතා පැවැසුවේ මෙම අවාසනාවන්ත සිදුවීම සගවාගෙන සිටීම කෙසේ වෙතත් මත්පැන් පානය කර ඇති දරුවෙකු නිවෙසට ආ විට මවුපියන්ට ගදක් නොදැනීම තුළින් ඔවුන් මෙම වයසේ දරුවන් කෙරේ දක්වන නොසැලකිල්ල හා අවධානයේ තරම පෙනී යන බවයි.

- මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "එකට කාපු බීපු මිතුරා වතුරේ ගිලෙද්දි ෂේප් එකේ මාරු වුන අපූරු මිතුරන් පිරිසක්"

    Post a Comment