13 September, 2016

අභිරහස්‌ අන්දමින් මියගිය වෛද්‍ය ශිෂ්‍යයාගේ පියාගේ අමුතු ප්‍රකාශය

මගේ පුතා එක පාරක්‌ විභාගය අසමත් වුණා. දෙවැනි වතාවේ ඔහුට ඩෙංගු හැදිලා විභාගයට ඉන්න ලැබුණේ නැහැ……”

කොළඹ නොරිස්‌ කැනල් පාරේ පිහිටි වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරයක අභිරහස්‌ අන්දමින් වෛද්‍ය සිසුවකු මියයැම සම්බන්ධයෙන් ඊයේ (12 වැනිදා) කොළඹ නාගරික හදිසි මරණ පරීක්‌ෂණ උසාවියේ පැවැති මරණ පරීක්‌ෂණයේදී සාක්‌ෂි දුන් එම සිසුවාගේ පියා වන දිසානායක මුදියන්සේලාගේ සෙනෙවිරත්න (69) යන අය එසේ පැවැසීය.

මෙලෙස මියගොස්‌ ඇත්තේ බිබිල, යක්‌කුඹුර, ඊතණවත්ත පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ හරීන්ද්‍ර සෙනෙවිරත්න (27) නමැති වෛද්‍ය සිසුවෙකි.

මේ සම්බන්ධව මරණ පරීක්‌ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්‌ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා හමුවේ පැවැති අතර එහිදී තවදුරටත් සාක්‌ෂි දුන් මියගිය සිසුවාගේ පියා මෙසේද කීය.

'මියගොස්‌ සිටින්නේ මගේ එකම පුතා. මට තව දුවලා දෙන්නෙක්‌ ඉන්නවා. බිරිඳ ඉන්නවා. දුවලා දෙන්නාම විවාහකයි. 


පුතා කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගත්තා. පුතා අපොස උසස්‌ පෙළ කරන කාලයේ ඉඳලම හිසේ අමාරුවක්‌ තිබුණා. 

ඒකට වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගත්තා. විටින් විට ඔහුට හිසරදය ආවා.

පුතා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණේ 2009 අගෝස්‌තු මාසයේ. දැන් අවුරුදු අටක්‌ තිස්‌සේ ඔහු ඉගෙන ගත්තා. 

ඔහු එක පාරක්‌ විභාගය අසමත් වුණා. දෙවැනි වතාවේ ඩෙංගු හැදිලා විභාගයට ඉන්න ලැබුණේ නැහැ. 

පුතා නැවතිලා හිටියේ කොළඹ මරදානේ කේරි කොලේඡ් එක අසල ඇති වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරයේ. 

අන්තිමට ඔහු ගෙදර ආවේ 2016 පෙබරවාරි මාසයේ. පුතාට වියදම් කළේ මමයි. අපි විටින් විට පුතා බලන්න ආවා. 

ඔහුගේ මානසික රෝගය පිළිබඳව වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගත්තා. වැඩියෙන්ම ඔහු පාඩම් කර කර තනියෙන් ඉන්න තමයි කැමැති.

ඔහුට වෙනත් ප්‍රශ්න තිබුණේ නැහැ. ඊයේ උදේ 11 වැනිදා මට ගමේ ග්‍රාමසේවක මහත්තයා දැනුම් දුන්නා මගේ පුතා මියගිහින් කියලා.'


මෙහිදී පොලිසිය කොළඹ නාගරික හදිසි මරණ පරීක්‌ෂණ උසාවියට දැනුම් දෙමින් කියා සිටියේ වෛද්‍ය ශිෂ්‍යයා වැටී සිටි ස්‌ථානයේ සිවිලිමේ සිට පහළට සේලයින් බෝතල් 10 ක්‌ එල්ලා තිබූ බවය. 


ඉන් එක්‌ සේලයින් බෝතලයක බටය වෛද්‍ය සිසුවාගේ වම් අතට ගසාගෙන සිටිනු පෙනුණේ යෑයි ද පොලිසිය උසාවියට දැන් වීය.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්‌. පුනවන් මහතා විසින් මරණ පරීක්‌ෂණය පැවැත්වූ අතර මියගිය සිසුවාගේ සිරුරේ කොටස්‌ රජයේ රස පරීක්‌ෂකවරයා වෙත යෑවීමට තීරණය කෙරිණි.

කුරුඳුවත්ත පොලිසියේ උප පොලිස්‌ පරීක්‌ෂක හේරත් සහ මරදාන පොලිසියේ පොලිස්‌ සැරයන් ලාල් පතිරණ (27689) යන නිලධාරීහු මෙහිදී සාක්‌ෂි මෙහෙය වූහ.




ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් - දිවයින

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අභිරහස්‌ අන්දමින් මියගිය වෛද්‍ය ශිෂ්‍යයාගේ පියාගේ අමුතු ප්‍රකාශය"

    Post a Comment