04 September, 2016

මහරගම ටවුම මැද ළඳුන්ගේ පතිවත ඉල්ලන අමුතු හොරා අල්ලයි

සපත්තු අලෙවි සලකට ඇතුළු වී එහි සිටි සේවිකාවකගේ ජංගම දුරකතනයක් සොරා ගත් පුද්ගලයෙකු එම දුරකතනය නැවත ලබාදීම සඳහා ඇගෙන් ලිංගික අල්ලසක් හා රුපියල් දස දහසක මුදලක් ඉල්ලූ පුවතක් මහරගමින් වාර්තා වෙනවා.

අදාළ දුරකතනය රුපියල් දහඅට දහසක් වටිනා එකක්වන අතර ලිංගික අල්ලස් ඉල්ලූ පුද්ගලයා මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු තණමල්විල ප්‍රදේශයේ පදිංචි අයෙකු බව යි වාර්තා වන්නේ.

මොහු පසුගිය 29 දින පෙරවරුවේ සපත්තු මිලදී ගන්නා මුවාවෙන් වෙළෙඳසලට ඇතුළු වී එහි මේසයක් මත තිබූ සේවිකාවට අයත් ජංගම දුරකතනය සොරාගෙන ගොස් තිබෙන අතර තම දුරකතනය නොමැති බව දැනගත් සේවිකාව වහා ක්‍රියාත්මක වී එහි තිබූ CCTV කැමරා දර්ශන පරීක්ෂා කර තිබෙනවා.

අදාළ පුද්ගලයා තම දුරකතනය සොරා ගෙන යන අයුරු CCTV වීඩියෝව ඔස්සේ දැක ඇති ඇය වෙනත් ජංගම දුරකතනයක් මඟින් සොරාගත් දුරකතනයට ඇමතුමක් ලබා ගෙන ඇති බව පැවසෙනවා.

එම ඇමතුමට පිළිතුරු ලබා දී ඇති අදාළ පුද්ගලයා දුරකතනය ලබාදීමට නම් පසුදින පෙරවරුවේ තමන් හමුවන ලෙසට යි පවසා ඇත්තේ.

පසුදින එම පුද්ගලයා හමු වූ තරුණියට ඔහු පවසා ඇත්තේ ඇය සමග ලිංගිකව එකතුවීමට තමාට අවශ්‍ය බව යි.

එයට ඉඩ දුන් පසු දුරකතනය ලබා දීමට කටයුතු කරන බව ද මෙම පුද්ගලයා පවසා තිබෙනවා.

ඊට අමතරව රුපියල් දස දහසක මුදලක් ලබාදෙන ලෙසටත් ඔහු පවසා ඇති බව අනාවරණය වී ඇති බව වාර්තා වෙනවා.

සැකකරුගේ එම ඉල්ලීමට එකඟතාව පළකළ ඇති තරුණිය ඔහු හමුවීමට පිළියන්දල ප්‍රදේශයට ගොස් ඇති අතර තරුණිය විසින් හොර රහසේම ඇගේ සොයුරන් දෙදෙනාට මෙම සිද්ධිය පිළිබඳව දැනුම් දී තිබෙනවා.

ඇගේ සහෝදරයන් දෙදෙනා ද රහසිගතව එම ස්ථානයේ රැඳී සිට ඇති අතර අදාළ පුද්ගලයා විසින් තරුණියව ලැගුම්හලක් වෙත රැගෙන යන අතරතුර සොයුරන් විසින් ඔහුට පහර දී පොලීසියට භාර දී ඇති බව වාර්තා වෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු බන්ධනාගාර ගත කර තිබෙනවා.





(ඒශියන් මිරර්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මහරගම ටවුම මැද ළඳුන්ගේ පතිවත ඉල්ලන අමුතු හොරා අල්ලයි"

    Post a Comment