03 September, 2016

බම්බලපිටියේ කෝටිපතියා ඝාතනයේ සියලු තතු හෙළිවේ-වෙඩින් එකට ලක්ෂ 5ක් දුන්න සුලේමාන් මැරුවේ මෙලෙසයි

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සකීබ් සුලේමාන් මහතා පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමේ සිද්ධියේ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට කොළඹ අපරාධ කොට්‌ඨාසය මේ වන විට සමත්ව තිබෙනවා.

පෙරේදා (01) මීට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඒ අනුව මෙම ඝාතනයට සම්බන්ධ සියලුම සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින බව පොලිසිය පවසනවා.

රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක්‌ ලබාගැනීම සඳහා සුලේමාන් පැහැරගෙන ගොස්‌ තිබුණේ ඔහුගේම ව්‍යාපාරයේ මුදල් සහායකයකු ලෙස සේවය කරමින් සිටි මොහොමඩ් අස්‌ලාම් මොහොමඩ් හෙවත් පසීර් නමැත්තා බව පොලිසි අදහසයි.

පසීර් නමැත්තා සුලේමාන්ගේ ව්‍යාපාරයේ විශ්වාසවන්තම සේවකයකු ලෙස සේවය කළ අයෙක් වන අතර මීට මාස කිහිපයකට උඩදී පැවැති මොහුගේ මංගල උත්සවය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 5 ක මුදලක්‌ ද මංගල ගමන සඳහා මොන්ටේරෝ ජීප් රථයක්‌ ද සුලේමාන් විසින් ලබා දී ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබෙනවා.

සුලේමාන් පැහැරගෙන ගොස්‌ ඔහුගේ පියාගෙන් රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක්‌ ලබාගැනීමට සැලසුම් කළ ඔහු ඒ සඳහා ආදුරුප්පුවීදිය, ග්‍රෑන්ඩ්පාස්‌ සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිය මිතුරන් සිව්දෙනකු ද සම්බන්ධ කරගෙන බවයි තහවුරුවී ඇත්තේ.

සුලේමාන් පැහැර ගැනීම සඳහා රුපියල් 45,000 කට කුලී මෝටර් රථයක්‌ මට්‌ටක්‌කුලියේ පිහිටි කුලී රථ සේවයකින් ලබාගත් ඔවුන් ඉකුත් 21 වැනිදා රාත්‍රි සිය මිතුරන් ද සමඟ බම්බලපිටිය කොතලාවල ඇවනිව් වෙත ගොස්‌ තිබෙනවා.

මංගල උත්සවයකට සහභාගි වී ආපසු නිවසට පැමිණි සුලේමාන් මෝටර් රථයෙන් බසිනවාත් සමඟ එහි සිටි කප්පම් කල්ලි සාමාජිකයන් ඔහු සිය ග්‍රහණයට ගැනීමට උත්සාහ කර ඇති අතර ඒ අවස්‌ථාවේ සුලේමාන් ඔවුන්ගෙන් බේරීමට දිවගොස්‌ ඇති බවයි පැවසෙන්නේ.

එහෙත් සුලේමාන් පසුපස පන්නාගෙන ගිය පසීර්ගේ මිතුරන් මන්නා පිහියක මිට ප්‍රදේශයෙන් ඔහුගේ හිසට පහර දී මෝටර් රථයට දමාගෙන මාවනැල්ල ප්‍රදේශයට රැගෙන කප්පම් මුදල් ඉල්ලා සිටීමට සැලසුම් කර ඇති බවයි හෙළිවී ඇත්තේ.

එහෙත් ඒ වන විට සුලේමාන් මියගොස්‌ ඇති බව දැනගැනීමෙන් පසු පසීර් දැඩි කලබලයට පත්ව සුලේමාන් මරා දැමීම පිළිබඳව සිය සගයන් සමඟ ආරවුලක්‌ ද ඇතිකරගෙන තිබෙනවා.

පසුව සුලේමාන්ගේ මළ සිරුර මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේ හෙලකට දැමූ පිරිස ආපසු රඹුක්‌කන ප්‍රදේශයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

22 වැනිදා උදෑසන සුලේමාන්ගේ පියාට දුරකථන ඇමතුමක්‌ ලබාදී රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක්‌ ඉල්ලා සිටින ලෙස සිය සගයන්ට උපදෙස්‌ දී ඇති පසීර් ඔවුන්ගෙන් වෙන්වී කොළඹ පැමිණ ඇත්තේ පසුදා උදැසන රැකියාව සඳහා යන බලාපොරොත්තු ඇතිවයි.

පසීර්ගේ මිතුරන් කෑගල්ලේ පිහිටි දුරකථන කුටියකින් සුලේමාන්ගේ පියාට ඇමතුමක්‌ දී රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක්‌ ඉල්ලා සිටිය ද එම කප්පම් ලබාගැනීමේ සැලසුම සාර්ථක වී නොමැති නිසා ඔවුන් රඹුක්‌කන ප්‍රදේශයේ මිතුරකුගේ නිවසට ගොස්‌ ස්‌නානය කර දිවා ආහාරය ද ලබාගෙන කොළඹට පැමිණ තිබෙනවා.





(නෙත්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බම්බලපිටියේ කෝටිපතියා ඝාතනයේ සියලු තතු හෙළිවේ-වෙඩින් එකට ලක්ෂ 5ක් දුන්න සුලේමාන් මැරුවේ මෙලෙසයි"

    Post a Comment