02 September, 2016

කෙල්ලන්ගෙ නිදි යහනට ස්මාර්ට් ෆෝන්වලින් එන කළුකුමාරයා

කළු කුමාර දෝෂය, කළු කුමාර දිෂ්ඨිය නමින් හැඳින්වෙන තත්ත්වයන් යල් පැනගිය සමාජ ආකල්ප වශයෙන් හැඳින්වීමට සමාජයේ බොහෝ දෙනෙක් පුරුදුවී සිටිනවා. 

නමුත් ඒ නමින් හැඳින්වෙන තරුණියන් සහ වැඩිහිටි කාන්තාවන් තුළ පවත්නා මානසික ගැටුම් අර්බුද සහ මානසික රෝගී තත්ත්වයන් අද සමාජය තුළ යම් තරමකින් හෝ පවතින බව සායනික වශයෙන් තහවුරු කර ගැනීමට මනෝ වෛද්‍යවරුන්ට හැකිවී තිබෙනවා. 

ඒ අනුව නූතන සමාජයේ අත්දැකීම් නොලද සුවතියන් අද අන්තර්ජලය සහ ජංගම දුරකථන ඔස්සේ පවා කළුකුමාර දෝෂය නමින් හැඳින්වෙන මෙම මානසික අර්බුද සහ රෝගී තත්ත්වයන්ට ගොඳුරුවිය හැකියි.

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුබි රූබන් මහතා එසේ කීය. ඔහු ඒ බව පවසා සිටියේ පසුගිය අගෝස්තු 31 දා කොළඹ 08, කොටා රෝඩ් හි ආචාර්ය එන්.එම් පෙරේරා මධ්‍යස්ථාන යේ දි පැවති "කතුන්ට වින කරන කළු කුමාරයා හඳුනා ගතිමු" යන මැයෙන් පැවැති සමාජ විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මක කතාවේ දීය. 

එහි දී වැඩිදුරත් අදහස් දැක්වූ වෛද්‍ය රූබන්මෙසේ ද කීය.

"අද අපේ තරුණ පෙළ අතරේ ලිංගිකත්වය සීග්‍ර ව්‍යසනයකට පත් වෙමින් තිබෙනවා. 

අන්තර්ජාලය සහ ජංගම දුරකථන මතක ගබඩා දත්තයන් හි ඇති ඇතැම් දර්ශන ඒ සඳහා සෘජු පිටිවහලක් වෙනවා. 

ඒ අනුව ඒවාට යොමුවන අත්දැකීම් නොලද තරුණියන් ඒවා නැරඹීම මගින් ඔවුන් ඉහත සඳහන් මානසික අර්බුදවලට පත්වීමේ පැහැදිළි නැඹුරුවක් තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් ඉතා පුළුල් සමාජ සහ මනෝවිද්‍යාත්මක සමාජ කතිකාවක් අවශ්‍ය වන්නේ ඒ නිසයි."
මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකාවේ ජන ඇදහිලි සහ ගුප්ත විද්‍යා ගවේෂක මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මහතා මෙසේ කීය.
"තරුණියන්ට සහ කාන්තාවන්ට බලපාන මේ මානසික අර්මුදය අපේ සංස්කෘතියෙ හා සම්බන්ධ දෙයක්. 

අප රටට වඩා ලිංගික නිදහස හිමි බටහිර රටවල මෙවන් අද්භූත කළු කුමාරයකු නැත්තේ පූර්ව විවාහ ලිංගික කටයුතු වලට ඒ රටවල තරුණ තරුණියන් යොමුවන තත්ත්වයට පත්ව ඇති නිසයි. 

නමුත් අපට එය අනුමත කළ නොහැක්කේ කළු කුමාර දෝෂයටත් වඩා බරපතල වෙනත් දෝෂ අප සමාජයට කඩා වැදිය හැකි නිසයි. 

කෙසේ හෝ ලොව බොහෝ ප්‍රාථමික සමාජයන්හි මෙම මාදිලියේ වෙනත් අද්භූත විශ්වාස තිබීමට පුළුවන. 

ඒවා සම්බන්ධ ශ්‍රාස්ත්‍රීය සහ විද්‍යාත්මක වශයෙන් තුලනාත්මක ලෙස අධ්‍යයන කිරීමත් ඉතාම වැඳගත්." 

ඉහත සඳහන් කතිකාව සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමය මගිනි.


(ලක්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කෙල්ලන්ගෙ නිදි යහනට ස්මාර්ට් ෆෝන්වලින් එන කළුකුමාරයා"

    Post a Comment