09 June, 2016

දැරියන් පැහැරගෙන ගොස් විකුනණ ජාවාරමක් හෙලිවෙයි

බාල වයස්‌කාර දැරියන් පැහැරගෙන ගොස්‌ මුදලට අලෙවි කිරීමේ සහ කුඩා දරුවන් මුදලට විකිණීමේ සංවිධානාත්මක ජාවාරමක්‌ පුත්තලම, පාලාවි හංදිය ප්‍රදේශයේ පැල්පත් නිවසක පවත්වාගෙන යන බවට එහි රඳවා ගෙන සිටි දාහතර වියැති දැරියක්‌ පවසා සිටියාය.

අනුරාධපුර, ඇලයාපත්තුව, 6 කනුව ප්‍රදේශයේ පදිංචි මෙම දැරියද ඉකුත් මැයි මස දාසය වැනිදා (16) පැහැරගෙන ගොස්‌ එම පැල්පතේ රදවා ගෙන සිටියදී තම දෙමාපියන් හා පොලිසිය අධාරයෙන් ඉන් මුදවාගෙන පැමිණි පසු මේ බව අනාවරණය කළාය.

සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වන දාහතර හැවිරිදි (14) ඊ. එන්. තිලකරත්න දියණිය,

zමම මැයි දහසය වැනිදා උදේ මල් කඩන් එන්න පාර ළ`ගට ගියා.

එවිට මගෙ යාළුවෙක්‌ යාළුවෙලා ඉන්න පිරිමි ළමයෙක්‌ ඇලයාපත්තුව පැත්තෙ ඉඳන් කොළ පාට ත්‍රි රෝද රථයක ඇවිත් මං ළ`ග නතර කළා.

මං ඒ පිරිමි ළමයා දැකල තිබුණත් කතා කරලා නෑ. ඒ ත්‍රි විල් එකේ හිටියා වයස පනහක (50) පමණ ගෑනු කෙනෙක්‌.

එයා මට කීවා දුව අපි ගෙදර ඉඳන් එන්නෙ තැඹිලි වතුර ටිකක්‌ තියනව බොන්න කියා බලෙන්ම දුන්නා.

මං උගුරු දෙකක්‌ විතර බොද්දී මට සිහි නැතිවුණා. පසුව සිහිය ඇවිත් බලන විට මං කාමරයක්‌ තුළ හිටියා.

අරන් ගිය පිරිමි පුද්ගලයත් එහි හිටියා. ඊට පසුව මං යතුරු පැදියකින් රැගෙන යන බව කීවා මං බෑ කීවාට පසුව මගෙ අත සුරා කරදර කළා.

ගියේ නැත්තම් මරනවා කීවා. පස්‌සේ මං යතුරු පැදියේ යද්දී නාම පුවරු දැක්‌කේ අනුරාධපුර පැත්තේ.

යතුරු පැදියෙන් මං ගෙන ගියා පුත්තලම පැත්තෙ නිවසකට.

පසුව එතන ඉඳන් ලෑලිවලින් හා පොල්අතු වලින් ආවාරණය කළ පැල්පතක්‌ වැනි නිවසකට ගෙන ගියා.

එහි තවත් ගෑනු ළමයි හය දෙනෙක්‌ (06) පමණ සිටියා. අවුරුදු 14, 15, 16 වැනි වයස්‌ කාණ්‌ඩ වල මෙන්ම වයස 25 විතර ගැහැනු ළමයි තුන් දෙනෙක්‌ ද සිටියා.

තව ඒ අයව රඳවා තබා ගෙන සිටින පැදුරු කාන්ති නැමති වයස පනහක පමණ කාන්තාවක්‌ සිටියා.

එයාට සමහර අය කාන්ති අම්මා කියා කියනවත් ඇහුනා.

මට හරියට ඉන්න තැනක්‌ නෑ. කන්න දුන්නෙ හවසට විතරයි.

ඒත් පාන් කාලක්‌ සීනිත් එක්‌ක. නාන්න නෑ, ඇඳන් හිටියේ මං ඇඳගෙන හිටියෙ ඇඳුමමයි.

එහෙ ඉද්දී මං ගෝල්පේස්‌ එකට එක්‌කම් ගිහින් හොඳ ඇඳුම් අන්දවලා පින්තුර ගත්තා. ආයෙත් හිටපු තැනටම ගෙනාවා. ඒ ෆොටෝස් සුද්දකරල මැඩම් කෙනෙකුට පෙන්නුවා. 

එයා අහනවා මට ඇහුනා කීයක්‌ ඕනෑද කියා. එවිට මං පැහැරගෙන ගිය කෙනා කීවා මෙයා ගෙන් කප්පම් ගන්න තියනවා ඒක දුන්නැත්නම් විකුණන්නම් කියා.

මගෙ වෙනම හැඳුනුම් පතක්‌ හදන්නත් ඔවුන් විස්‌තර ගත්තා.

අපේ අම්මලගෙන් දුරකථනයෙන් කතා කරලා ලක්‌ෂ විස්‌සක්‌ (20) ඉල්ලුවා. එහෙට පිරිමි පුද්ගලයින් එනවා.

දවසක්‌ එහෙ ඉන්න ගෑනු කෙනා මට ගංජා වගයක්‌ දුන්නා එහෙට ආපු පිරිමි කට්‌ටියකට දෙන්න කියා.

මං බෑ කීවා. දවසක්‌ කොල්ලො වගයක්‌ කරදර කරන්න ආවා.

මං වැඳල කීවා මට කරදරයක්‌ කරන්න එපා අම්මලා දෙන ලක්‌ෂ විස්‌ස ඛෙදා ගන්න කියලා.

කුඩා දරුවෙක්‌ බිහිකරපු වයස විසි පහේ විතර ගැහැනු ළමයෙක්‌ හිටියා.

එයාට ළ`ගදි තමා ළමයා හම්බ වෙලා තියෙන්නේ.

මෙහෙම හම්බ වන කුඩා දරුවන් මුදලට විකුණනවා.

මං දවසක්‌ දැක්‌කා ඒ කුඩා දරුවෙක්‌ මිලදී ගන්න කට්‌ටියක්‌ ආවා. එයාලා ඉතාලියේ ඉන්නවා කියලයි කියනව ඇහුනේ.

ඒ කට්‌ටිය ළමයා අරන් යන්න පෙර රුපියල් තිස්‌ හයදහසක්‌ පමණ දිලා ගියා දරුවා අරන් යන්න දින කිහිපයකින් එන්නම් කියා.

එහෙ සිටින කාලය තුළ මං ලොකු බියකින් ජීවත්වුවාZ

යැයි ද සිද්ධිය සම්බන්ධව අනාවරණය කරමින් එම දැරිය වැඩි දුරටත් සදහන් කළාය.

සිද්ධිය සම්බන්ධව අදහස්‌ දක්‌වන එම දැරියගේ මව වන අනුරාධපුර, ඇලයාපත්තුව, 6 කනුව ප්‍රදේශයේ පදිංචි ඒ. මුදිතා ශිරානි (37) නැමති තිදරු මව මෙසේ පැවසුවාය.

'බලහත්කාරයෙන් පැහැරගෙන දැරියන් මුදලට අලෙවි කිරීමේ ස්‌ථානයකට ගෙන ගිය මගේ බාල දියණිය දින පහළවකට පමණ පසු සොයා ගැනීමට සිදු වූයේ පොලිස්‌ නිලධාරින්ගේ අකාර්යක්‌ෂම කම නිසායි.

ඉකුත් මැයි මස දහසය (16) දින උදෑසන 6.00 ට පමණ මගේ දාහතර හැවිරිදි (14) ඊ. එන්. තිලකරත්න නැමති බාල දියණිය මල් කඩා ගැනීම සඳහා නිවස ඉදිරිපිට ඇලයාපත්තුව - අනුරාධපුර මාර්ගය අසල මල් ගසක්‌ ළ`ගට ගියා.

එදා තද වැසි දිනයක්‌. අපි දියණිය එනතුරු බලා සිටියත් දියණිය පැමිණියේ නෑ.

දැරිය සොයා ගැනීමට නොහැකි වූ නිසා අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කළා.

එහෙත් දියණිය ගැන කිසිදු තොරතුරක්‌ සොයා ගැනීමට නොහැකි වුවා.

පොලිසියෙන් කීවා ළමයා කොල්ලෙක්‌ එක්‌ක යාළු වෙලා පැනලා යන්න ඇති කියලා.

ළමයා ගැන හොඳට හොයල බලන්න කීවා. මං කිවා මගෙ ළමයා එහෙම නෑ කියලා.

මෙහෙම දින දෙකක්‌ පමණ ගත වෙද්දි එනම් 18 වැනිදා සවස මගෙ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ආවා. කථා කළේ පිරිමි කෙනෙක්‌.

එයා කතා කරලා කීවා දුව අපි ළ`ග ඉන්නවා, රුපියල් ලක්‌ෂ විස්‌සක්‌ (20) දුන්නොත් දුව ආයෙ දෙනවා නැත්තම් පොලිසිවලට කීවොත් මරනවා කිවා.

පසුව අපිට දැන ගන්න ලැබුණා දරුවා පුත්තලම ප්‍රදේශයේ දැරියන් මුදලට අලෙවි කරන පැල්පත් නිවසක හිර කරන් සිටින බවට, ඊට පසු යළිත් විසි දෙවනදා අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ගිහින් මේ බව කිවා.

එහෙත් නිලධාරීන් මට දරුවා පරිස්‌සම් කරන්නෑ කියා දොස්‌ කීවා. එහෙත් නිසි කටයුත්තක්‌ සිදු වූයේ නෑ.

පසුව පුත්තලම පොලිසියටත් පැමිණිලි කළා. එහෙත් දිනෙන් දින ගත වූවා හැර දැරිය සොයා ගැනීමට බැරිවුණා.

මගෙ සැමියා සිදු කරන ව්‍යාපාර කටයුතුවලින් තමා අපි ජීවත් වෙන්නේ.

අපි විශාල මුදලක්‌ වැය කළා දරුවා සොයා ගන්න. දේවාලවලට ගිහින් දරුවා පිළිබදව සොයා බැලුවා. මං නොවිඳපු දුකක්‌ නෑ.

විටින් විට දුරකථන ඇමතුම් අරන් පුද්ගලයෙක්‌ කීවා තිස්‌ එක්‌වැනිදා (31) රෑ වෙද්දී මුදල් දුන්නැත්නම් දරුවා මරනවා නැත්තම් විකුණනවා කියා. දුවට කථා කරන්න ඉල්ලුවත් දුන්නේ නෑ.

අපි යළිත් 31 වැනිදා පොලිසියට ගිහින් කීවා ඊට පසුව අනුරාධපුර පොලිසියෙන් පුත්තලම පොලිසියට දැනුම් දුන්නා.

පසුව පුත්තලම පොලිසියේ නිලධාරීන් හත් අට දෙනෙක්‌ එක්‌ක අපේ ඥාතීන් ගිහින් 31 වැනිදා රෑ පුත්තලම ප්‍රදේශයේ දැරියන් මුදලට අලෙවි කරනව කියූ ස්‌ථානය වැටලුවා.

එහිදී එහි සිටි දැරිය අපට සොයා ගැනීමට හැකිවුණා.

දුව පැහැර ගොස්‌ ඇති අනුරාධපුර මහමාන්කඩවල ප්‍රදේශයේ පදිංචි තිස්‌ හැවිරිදි විවාහක පුද්ගලයෙකු හා දැරියන් මුදලට අලෙවි කරන ස්‌ථානයේ සිටි පැදුරු කාන්ති නැමති පනස්‌ හැවිරිදි පමණ කාන්තාවක්‌ද එහි සිටියා.

තවත් දරුවන් එහෙ ඉන්නවා. ඒ අය බේරා ගන්න.

පොලිසිය අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. ඔහු අපරාධ රැසකට සම්බන්ධ අයෙක්‌.

මොහු මගේ දුව පළමුව රැගෙන ගොස්‌ ඇත්තේ අනුරාධපුර ප්‍රසිද්ධ පාසලක අසල තියෙන නවාතැන් පළකට.

මගේ දුවට පැහැරගෙන ගියපු කෙනාගෙන් අතවරයක්‌ සිදුවූ බව දුව කියනවා.

එහෙත් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එහෙම කිසිදු දෙයක්‌ වී නැතැයි නිගමනය කරනවා.

එසේම දුවට වෙනත් සමාජ රෝග වැළඳී තිඛෙනවාද යන්න පිළිබඳව රෝහලට ඇතුළත් කර සොයා බැලීමට පොලිසිය කටයුතු කර නෑ.

පොලිසිය මේ ජාවාරම් කරුවන් සම`ග යම්කිසි සම්බන්ධයක්‌ තියනවාද කියා අපට සැකයි.

මගේ සැමියත් පොලිසියේ හිටිය කෙනෙක්‌. අපට සිදුවු අසාධාරණයට සාධාරණයක්‌ කරන්න.

ආයෙත් සමාජයේ මෙවැනි ක්‍රියාවන් සිදුවන්නට ඉඩ ලබා නොදෙන්නයි කියා ඉල්ලා සිටිනවා'

ඒ. මුදිතා ශිරානි මහත්මිය සිද්ධිය සම්බන්ධ වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් පැවසුවාය.

මෙම සිද්ධිය සම්බන්ධව තොරතුරු දැන ගැනීම සඳහා අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානධිපතිතුමිය සම්බන්ධ කරගැනීමට උත්සහ කළද එතුමිය රාජකාරි කටයුත්තක්‌ සඳහා බැහැරව ගොස්‌ සිටි හෙයින් එය අසාර්ථක විය.

සටහන හා ඡායාරූප නාච්චාදුව - ප්‍රභාත් වනසිංහ (දිවයින)



Girls abducted and sold racket reveal

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දැරියන් පැහැරගෙන ගොස් විකුනණ ජාවාරමක් හෙලිවෙයි"

    Post a Comment