04 September, 2017

එකට ජීවත්වෙන්න බැරි දෙන්නෙක් වෙන්වෙන එකේ වැරැද්දක් නෑ

harshana-bethmage-volga-kalpani

රංගන කුසලතාවයත් රුවත් කැටිකරගත් වොල්ගා කල්පනී පුංචි තිරය වටා සිටින රසික රසිකාවියනට නුහුරු නැත. මේ දිනවල විකාශය වන පැහැසරා ටෙලි නාට්‍යය තුළිින් ඔබ වෙත එන වොල්ගා සිය දයාබර සැමියා හර්ෂණ බෙත්මගේ හා එක්ව රංගනයෙන් එහා යමින් කලාවේ නව ඉසව්වක් ස්පර්ශ කරන්නට පසුගියදා නවතම කටයුත්තකටද එක්වූවාය.

► මේ දවස්වල වොල්ගාගේ කලා ජීවිතේ අලුත්ම තොරතුරු මොනවාද..?
මම රඟපෑ “පැහැසරා” නාට්‍යය විකාශය වනවා. මම එහි රඟපාන්නේ මානවී කියන චරිතය. එය මා ආශාවෙන් රඟපෑ චරිතයක්. ඊට අමතරව “රන් බැඳි මිනිස්සු” සහ “පාරා” නාට්‍යවලටත් සම්බන්ධවෙලා ඉන්නවා. ඒවා ඉදිරියේදී විකාශය වෙයි.

► හර්ෂණයි වොල්ගයි එකතුවෙලා අලුත් කටයුත්තක් පටන්ගත්තා නේද..?
ඔව් .. මමයි හර්ෂණයි එකතුවෙලා“වොලන්රෝ මීඩියා” නමින් අපේම නිෂ්පාදන ආයතනයක් ඇරඹුවා. ඒ තුළින් අපි ඉවෙන්ට් මැනේජ්මන්ට්, වාර්තා වැඩසටහන්, වෙළෙඳ දැන්වීම් කරනවා.

► “වොලන්රෝ මීඩියා” ටෙලි නාට්‍යය නිෂ්්පාදනයට එකතුවන්නේ නැද්ද..?
ඒක ගොඩක් දැවැන්ත කටයුත්තක්. විශාල මුදලක් ආයෝජනය කළයුතු දෙයක්.. ඒත් හර්ෂණගේ හීනයක් තමයි කවදා හෝ අධ්‍යක්ෂණයට පිවිසීම. ඉදිරියේදී “ වොලන්රෝ මීඩියා” ටෙලි නාට්‍ය නිර්මාණයටත් එකතු වේවි..

► මේ වගේ දෙයකට අත ගහන්න හිතුවේ රඟපාන්න ලැබෙන ආරාධනා අඩුද ..?
නැහැ .. හර්ෂණටයි මටයි ඉස්සර වගේම රඟපාන්න ආරාධනා ලැබෙනවා.. ඒත් අපිට ඕන වුණා අපේම දෙයක් කරන්න. අනික මම මුලිනුත් කිව්වානේ කවදාහරි හොඳ අධ්‍යක්ෂවරයෙක් වීම හර්ෂණගේ හීනයක් බව.. ඒ වෙනුවෙන් තමයි හර්ෂණ මේ වගේ කටයුත්තක් ආරම්භ කළේ . “වොලන්රෝ මීඩියා” එකේ වැඩ වෙනුවෙන් වෙහෙසෙන්නේ හර්ෂණ..එයා දැන් රඟපාන්න ආරාධනා ලැබුණම නිර්මාණය ගැන වගේම තමන්ගේ මුදල ගැනත් හිතලා තෝරාගත් නිර්මාණ විතරයි භාරගන්නේ. හර්ෂණ වැඩි කාලයක් වෙන් කරල තියෙන්නේ “වොලන්රෝ මීඩියා” එකේ වැඩවලට. මගේ පැත්තෙන් කතාකළොත් මම කොහොමත් කාර්යබහුල නිළියක් ‍නෙවෙයි . මම කවදාවත් එක වතාවට ටෙලි නාට්‍ය දෙක තුනක රඟපාලා නැහැ. “වොලන්රෝ මීඩියා” පටන් ගන්න කලින් වගේම තවමත් මම තෝරා බේරාගත් ටෙලි නාට්‍යවලට එකතු වෙලා සුපුරුදු විදියටම මගේ කටයුතු කරගෙන යනවා. ලැබෙන විවේකය හර්ෂණගේ වැඩවලට සහය දෙනවා.

► දෙන්නම නළු නිළියන් වීම පෞද්ගලික ජීවිතේට කොයි විදියටද බලපාන්නේ .. ?
මගෙ මහත්තය වුණේ මගේ හොඳම යාළුවා. දෙන්නම දැන අඳුනගත්තෙත් කලාවෙන්.
දෙන්නටම ටෙලි නාට්‍ය කේෂ්ත්‍රය ගැන හොඳ අවබෝධයකුත් තියෙනවා. ඒ හිංදා අපි දෙන්නගේ පෞද්ගලික ජීවිතේට නම් දෙන්නම නළු නිළියන් වීමෙන් සිදුවෙලා තියෙන්නේ ලොකු යහපතක්.

► හර්ෂණ වොල්ගා සොඳුරු අතීතය සිහිපත් කළොත් .. ?
එතකොට මට අවුරුදු නවයක් විතර ඇති. හර්ෂණට දහයක් විස්තර. මම රූපවාහිනියේ “ අතුරු මිතුරු” වැඩ සටහන කරන කා‍ලේ හර්ෂණ “ මුතුහර” වැඩසටහනට ආවා. ඊට පස්සේ අපි විවිධ නාලිකාවල විවිධ වැඩසටහන්වලටදී හමුවුණා. ධණුක දිල්ෂාන්, මාධව විජේසිංහ, සචිනි නිපුන්සලා අපි හැමෝම හිටියේ එකට. වසන්ත ඥානප්‍රිය සර් තමයි අපි හැමෝගෙම ගුරුවරයා. ළමා විය, නවයොවුන් විය ඊට පස්සේ තරුණ වයස මමයි හර්ෂණයි හොඳ යාළුවෝ විදියටම හිටියා. ඔය කා‍ලේ සමහර වෙලාවට හර්ෂණ කියනවා “මම කවදාහරි කසාද බඳින්නේ ඔයාව“ කියලා. මම ඒක ගනන් ගත්තේ විහිළුවක් විදියට. “යනවා යන්න“ කියලා මම ඒ වෙලාවට කියනවා. ඒත් හර්ෂණ ඒ දේවල් කියල තියෙන්නේ ඇත්තට. කාලයක් ගිහින් හර්ෂණ මට එයාගේ අදහස කෙළින්ම කිව්වා. මම කිව්වා අපේ ගෙදර ඇවිත් අහන්න කියලා. ඒ වෙද්දි අපි දෙන්නගෙ යාළුකම හින්දා අපේ පවුල් දෙකත් හොඳ යාළුවෝ වෙලා හිටියේ. හර්ෂණට අපේ ගෙදර නුහුරු තැනක් ‍නෙවෙයි. එයා කෙළින්ම ඇවිල්ල අපේ අම්මලගෙන් ඇහුවා. දෙපැත්තෙම අය දෙන්න ගැන දන්න හින්ද දෙපාර්ශ්වයෙන්ම ආශිර්වාදය ලැබුණා. ඊට පස්සේ අපි විවාහ වුණා.

► කටකතා කේලම් කැපිලි කෙටිලි කුහකකම් මේ කේෂ්ත්‍රයේ පිරී ඉතිරී ඇති බව සමහරු කියනවා .. ඔය දෙන්නට ඒ වගේ දේවල්වලට මුහුණ දෙන්න සිදුවුණේ නැද්ද .. ?
අපි විවාහවෙන්න යන බව ආරංචි වුණාම සියයට අනූ අටක් සුබපැතුවා . ආශිර්වාද කළා. ඒත් සියයට දෙකක් ඊර්ෂ්‍යා කළා. ඒ අය හර්ෂණට මම ගැන අඳුන්නල දෙන්න ගියා. ඒත් ඒ වෙද්දි හර්ෂණ මාව හොඳට අඳුනන හින්ද අනිත් අයගේ හඳුන්වාදීම් ප්‍රශ්නයක් කරගත්තේ නැහැ.

► නළු නිළියන්ට සාර්ථක පවුල් ජීවිත ගෙවන්න බැරි බවට සමාජය තුළ මතයක් ගොඩනැගෙන තරමටම පසුගිය කා‍ලේ එක දිගට නළු නිළියන් රැසකගේ විවාහයන් දෙදරා ගියා .. නළුවකු හා විවාහ වී සිටින නිළියක ලෙස ඔබගෙන් මේ ගැන අදහසක් විමසීම වටිනවා .. ?
අපි දන්නේ නැහැනේ ඒ අයගේ නොගැළපීම් ගැන . අපි මේ හැමදේම කරන්නේ සතුටින් ඉන්න . දෙන්නෙකුට එකට ජීවත් වෙන්න බැරිනම් ඒ දෙන්නා වෙන්වුණාට වැරදි නැහැ. ඒ වුණත් ඒ වෙන්වීම් දිහා බලලා නළු නිළියන්ගේ විවාහ ජීවිත අවුල් කියලා තීන්දු තීරණ ගන්න එක වැරදියි. විවාහ ජීවිත දෙදරායාම් සමාජය තුළ අනන්තවත් සිදුවනවා. නළු නිළියන් ජනප්‍රිය හින්දයි ඒ අය ගැන සමාජයේ අවධානය යොමුවන්නේ . ශ්‍රියන්ත මෙන්ඩිස් කුසුම් රේණු යුවළ බිමල් ජයකොඩි සුජානි මේනකා යුවළ සාර්ථක යුග ජීවිත ගතකරන හැටි අපි දැක තියෙනවා. ඒ නිසා නළු නිළියන්ට සාර්ථක පවුල් ජීවිත ගත කරන්න බැහැ කියන මතයට මමනම් තදින්ම විරුද්ධයි.

► හර්ෂණ වොල්ගා කැදැල්ලට පුංචි අමුත්තෙක් එන්නේ නැද්ද දැන්මම ..
කාලය ඒ ප්‍රශ්නයට උත්තර දෙයි.

ආරියවංශ කුලතිලක (ලක්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "එකට ජීවත්වෙන්න බැරි දෙන්නෙක් වෙන්වෙන එකේ වැරැද්දක් නෑ"

    Post a Comment