10 August, 2017

සංචාරක පැමිණීම ජූලි මාසයේදීත් පහළට

tourist-arrival-to-sri-lanka
FilePhoto/Sigiriya Sri Lanka
පසුගිය ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව 205,482 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක සඳහන් වේ. මේ අනුව 2017 වසරේ පළමු මාස 07 තුළ දී 1,215,926 ක සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය පසුගිය 2016 වසරේ පැමිණි සංචාරකයින් ප්‍රමාණය වූ 1,173,618 හා සැසඳීමේ දී සියයට 3.6 කි.

කෙසේ වෙතත් ජූලි මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පසුගිය 2016 වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව වූ 209,351 හා සැසඳීමේ දී සියයට 1.8 ක පහළ යාමකි.

පසුගිය ආසන්නතම වසර කිහිපය දෙස අවධානය යොමු කිරීමේ දී වසරේ ඉහළම සංචාරක වර්ධනයක් සනිටුහන් කළ මාස අතරින් ජූලි මාසයට ඉහළ වැදගත්කමක් ලැබී ඇත. ඒ පූර්ව වර්ෂයේ සමාලෝචිත කාලපරිච්ඡේදයට සාපේක්ෂව ඉහළ වර්ධනයක් ජූලි මාසයේ දී වාර්තා වී තිබෙන බැවිනි. මෙහිදී 2016 වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචරකයින් ගණන සියයට 19.1 කින් ඉහළ ගොස් ඇති අතර 2015 වසරේ ජූලි මාසයේ දී එම ප්‍රමාණය වර්ධනය වී ඇත්තේ සියයට 31.2 කිනි. තවද 2014 ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ද පූර්ව වසරේ ජූලි මාසයට සාපේක්ෂව සියයට 25.2 කින් වැඩි වී ඇත.

සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2017 වසරේ මුල් මාස 07 අතුරින් සංචාරක පැමිණීමෙහි වර්ධනයක් අත්පත් කර ගෙන ඇත්තේ ජනවාරි, අප්‍රේල් හා ජූනි මාසවල දී පමණි. සෙසු මාස හතරේ දී පෙන්නුම් කරන්නේ පහළ යාමකි. එබැවින් මෙවැනි වපසරියක් තුළ මිලියන 2.5 ක සංචාරක ඉලක්කයක් සාක්ෂාත් කර ගැනීමට 2017 වසරේ දී හැකිවේ දැයි යන ගැටළුව නිරායාසයෙන්ම මතුවනු ඇත.

වසරේ මුල් මාස තිහිපය තුළ දී මෙරට ප්‍රධානතම ගුවන්තොටුපළ වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි නවීකරණ කටයුතු හේතුවෙන් ගුවන්ගමන් සීමාවීම, වසරේ මැදභාගයේ දී ඇති වූ නියං, ගංවතුර, නායයෑම් වැනි ස්වභාවික ආපදා තත්ත්වයන් සංචාරක කර්මාන්තයට සෘජුවම බලපෑ අතර මේ වන විට රට තුළ ඇති තිබෙන ඩෙංගු අධිවසංගත තත්ත්වය ද මෙරටට සංචාරකයින් පැමිණීම සීමා කරලීමට සමත් වී තිබෙන බව කර්මාන්තයේ නියැලෙන්නන්ගේ අදහස යි.

tourist-arrivals-down-in-july
පසුගිය ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව 205,482 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක සඳහන් වේ.

(දෙරණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සංචාරක පැමිණීම ජූලි මාසයේදීත් පහළට"

    Post a Comment