05 August, 2017

උෂාන් - අශාන් - කුෂාන් තුන් කොන් සටනක



පිට පිටම සිවුවරක් ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වෙමින් අරවින්ද ප්‍රේමදාස තබා තිබූ වාර්තාව බිඳ දමමින් ඉකුත් වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත් වූ උෂාන් පෙරේරා, අනිද්දා (6 වැනිදා) මින්නේරිය, කාලතුවක්කු රෙජිමේන්තු ධාවන පථයට පිවිසෙන්නේ සිය ගෞරවය රැක ගැනීමේ බලාපොරොත්තුවෙනි.

ඊට හේතුව වන්නේ ඉකුත් වසරේ (2016) පැවැති ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලියද සමග තරගාවලි රැසක දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගනිමින් එම වසරේ ජාතික මෝටර් රථ ශූරයා බවට පත්වීමට උෂාන් පෙරේරා සමත් වුවද, මේ වසරේදී පැවැති එකදු තරගාවලියදී හෝ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීමට තමමත් ඔහු අපොහොසත්ව සිටීමයි.

එම නිසා ඉකුත් වසරේදී දිනාගත් ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා සම්මානය රැක ගැනීමට පමණක් නොව මේ වසරේදී නැවතත් ජයග්‍රාහී මාවතට යොමු වීම සඳහාද උෂාන්ට මෙම තරගාවලියේ ජයග්‍රහණය ඉතා වැදගත්වනු ඇත.

එහිදී උෂාන්ගේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙක් ලෙස ප්‍රවීණ ක්‍රීඩක අශාන් සිල්වා හැදින්විය හැකිය. ඊට හේතුව මේ වසරේදී සහභාගි වූ තරගාවලි 4 කින් 3 කදීම දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීමට අශාන් සමත්ව සිටීමයි. ඒ අනුව මෙම තරගාවලියේදීත් දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීමට අශාන්ට හැකි වූවහොත් මේ වසරේදී ඔහු ලබන සිවුවැනි තරගාවලි ජය එය වනු ඇත.

වසර ආරම්භයේ සිට මේ දක්වා පැවැති සෑම තරගාවලියකදීම පාහේ උෂාන් සහ අෂාන් අතර ඉතා තියුණු සටනක් පැවැති අයුරු දැකගත හැකි විය. එහෙත් ඔවුන් දෙදෙනා අතර පැවැති ද්වන්ද සටන මේ වන විට තුන්කොන් සටනක් බවට පත්කිරීමට යොවුන් ක්‍රීඩක කුෂාන් පීරිස් සමත්ව සිටියි.

උෂාන්ට සහ අෂාන්ට ප්‍රභල අභියෝගයක් එල්ල කරමින් අවසන් වරට පැවැති කමාන්ඩෝ සුපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම රියැදුරා බවට පත් වූ කුෂාන් පීරිස් මෙම තරගාවලියේදීද දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීම සඳහා මාන බලමින් සිටියි.

එවන් තත්ත්වය මත උෂාන්ට මෙම තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීම පහසු කටයුත්තක් නොවන අතර එහිදී ඔහුට අශාන්ගේ වසර ගණනාවක පළපුරුද්දට මෙන්ම කුෂාන්ගේ යොවුන් ජවයට අභියෝග කරමින් සිය අභිමානය රැකගැනීම සඳහා තරග වැදීමට සිදුවනු ඇත.

දක්ෂතම මෝටර් රථ රියදුරා තෝරාගනු ලබන තරග 2 ද ඇතුළත්ව මෝටර් රථ ඉසව් 12 කින් මෙවර තරගාවලිය සමන්විත වේ. දිවයිනේ සිටින ප්‍රමුඛ පෙළේ මෝටර් රථ රියැදුරන් ඇතුළු තරගකරුවන් 60 ක් පමණ ඊට සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 12 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කරන අතර සියැට්, බ්‍රවුන්ස්, අලියා සිසිල් බීම සහ ජෝන් කීල්ස් යන සමාගම් එහි සම අනුග්‍රහකයන් ලෙස කටයුතු කරයි. තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි. (ශානුක අරවින්ද - කෙළිමඬල)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "උෂාන් - අශාන් - කුෂාන් තුන් කොන් සටනක"

    Post a Comment