06 August, 2017

සහෝදරයා නිසා කුඩු මතට බිලිවුණු අම්බපාලියකගේ ශෝකාන්තය

drug addict

"මත්කුඩු" ජීවිත කුඩුපට්ටම් කරන ආකාරය පුදුම එළවනසුලුය. මිනිසකුගේ මානුෂික වටිනාකම්, සංස්කෘතික වටිනාකම් හා සදාචාරය පිළිබඳ අවම අනුමිතීන් පවා හෙරොයින් ස්වල්පයක් අබියස සුන්නද්ධූලි වන අන්දම අප පසුගියදා අත්දුටුවේය. ඒ ව්‍යසනය දැන් කොළඹ ගිලගෙන හමාරය. අෑත ගම් දනව් ද ගිලගෙනය. ඒ මහා අමානුෂික ව්‍යවසනයේ ඛේදවාචකය මෙසේ වාර්තා වන්නේ අනුරාධපුරයෙන්ය.

අනුරාධපුර නගරය කුඩු ගුබ්බෑයමක් වැනිය. මේ කුඩු ජාවාරම්කාරයන් ගැනත් උන්ගේ ග්‍රහණයට හසුවන කුඩු ඉරීමට ඇබ්බැහිවූවන් ගැනත් සෙවීමට අනුරාධපුරයේ පොලිසිය නොගන්නා වෙහෙසක් ද නැත්තේය.

එහෙත් මේ සියල්ලන්ගේ ඇස් වසා කෙරෙන හෙරොයින් ජාවාරමක් ගැන පොළොන්නරුව දිසා දූෂණ මර්දන ඒකකයට අපූරු ඔත්තුවක් ලැබෙන්නේය. ඒ ඔත්තුවෙන් කියැවෙන්නේ රූමත් කාන්තාවක් ගැනය. ඇය අඳින්නේ බටහිර පන්නයටය. කොණ්ඩය ටින්ට් කර ඇත. කන විද කරාබු කිහිපයක් පැලඳගෙනය. දුටුවන් එක් වරක් බැලූ විට තවත් වරක් නිසැකවම හැරී බලන්නේය. සල්ලිකාර පවුලක සෙල්ලක්කාර යුවතියකගේ පෙනුම ඇතැයි කියූ මේ කාන්තාව තවම විසිතුන් හැවිරිදිය.

ඇය ඉතා සූක්‍ෂ්ම ලෙසත් රහසිගතවත් සිය ජාවාරම කරගෙන යන අයුරු පොළොන්නරුව දිසා දූෂණ මර්දන ඒකකයට කියන්නේ කුඩුවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකි. තොරතුරු අනුව ඇය ජාවාරම කරන්නේ ඇයගේ ස්කූටරයෙන්ය. ගැනුම්කරුට කුඩු පැකට්ටුවක් අවශ්‍ය විට ඇය අවශ්‍ය තැනට එම කුඩු පැකට්ටුව ගෙනත් දෙන්නීය. ගැනුම්කරු කුඩු පැකට් දෙකක් ගෙන එක් පැකට්ටුවක් ඇයට දෙන්නේ නම් ඇය ගැනුම්කරු සමඟ අඹුසැමියන් ලෙස හැසිරෙන්නේය. දෙවන කුඩු පැකට්ටුව සඳහා බෝනස් එක අඹුසැමියන් ලෙස හැසිරීමට අවස්ථාව ලබා දීමය. දෙවන කුඩු පැකට්ටුව ඇය සඳහාය. ඇය ඉතා බරපතළ ලෙස කුඩුවලට ඇබ්බැහි වී සිටි බව කියැවුණේය.

මේ තොරතුර ලැබුණු වහාම පොළොන්නරුව දිසා දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක වසන්ත කුමාර මේ කාන්තාව සිය උගුලට හසුකර ගැනීමට සැලසුම් සකස් කළේය. පසුගිය 1 දා අඟහරුවාදා උපාය දූතයකු යොදවා කාන්තාව අනුරාධපුර නුවරවැව ප්‍රදේශයට ගෙන්වා ගත්තේය. ඔත්තුව ටක්කයටම හරිය. සැකකාර 23 හැවිරිදි තරුණිය පැමිණියාය. නමුත් ඇය පැමිණියේ සිය සැමියාත් සමඟය. සැමියාත් සමඟ පැමිණි ඇය රුපියල් 2500ක මුදලකට පොලිස් උපාය දූතයාට හෙරොයින් පැකට්ටුව අලෙවි කිරීමට තැත් කළේය. ඒ මොහොතේදී පොලිසිය ඔවුන් දෙදෙනාව අනුරාධපුර නුවරවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

රූමත් තරුණිය සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 240ක ප්‍රමාණයක් තිබිණි. ඇයගේ සැමියා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 90ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනුණි. අදහාගත නොහැකි තරමේ තොරතුරු හෙළිවන්නට වූයේ මේ කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. අත්අඩංගුවට පත් කාන්තාවත් සැමියාත් ප්‍රශ්න කිරීමට ලක් කළේය. එහිදී ඛේදවාචකයක් වැනි තොරතුරු ප්‍රමාණයක් හෙළි විය.

මේ කාන්තාව ජීවත් වෙමින් සිටියේ ඇයගේ මව හා සොයුරා සමඟය. මේ කාලකණ්ණි සහෝදරයා කුඩුවලට ඇබ්බැහි වී සිටියේය. ඒ සමඟම ඔහු කුඩු විකිණීමේ ජවාරමක් කරගෙන ගියේය. සිය නැඟණිය කුඩුවලට ඇබ්බැහි කරවන්නේ මේ සහෝදරයාය. කුඩුවලට ඇබ්බැහි වූ නැඟණිය කුඩු ජාවාරමට යොදවන මේ කාලකණ්ණි සහෝදරයා අනතුරුව සිය සේල්ස් වැඩි කර ගැනීම සඳහා නැඟණියව ගණිකාවක් ලෙසත් සිය ගැනුම්කරුවන්ට ලබා දුන්නේය. ඇයගේ මේ ජාවාරමට ඇය දැන් ජීවත් වෙමින් සිටිනා සැමියාත් සම්බන්ධය. ඔහුත් මත්කුඩුවලට තදින්ම ඇබ්බැහි වූවෙක් විය. ඇය කුඩු අලෙවි කරන්නට යන විට සැමියාත් යන්නේය. ඇය කුඩු පැකට් එකකට බෝනස් ලෙස ගැනුම්කරුවා සමඟ යහන්ගත වන්නේ සැමියාගේ අනුදැනුම මතය.

තොරතුරු සොයාගෙන යන විට ඇය මත් කුඩු සඳහා හුරු වන්නේ වයස අවුරුදු 17 සිට බව හෙළිවිණි. එතැන් සිට ඇය විවාහ හතරක් කරගෙන තිබිණි. විටින් විට සැමියන් මාරු කරමින් ගත කර ජීවිතයේදී හමුවන එක් සැමියෙක් හා ඇයගේ මව අතර ඇති වූයේ යැයි කියනු ලබන ව්‍යභිචාරයක් මුල් කරගෙන ඇය සිය මව නිවෙසින් පන්නා දැමූ බව කියැවිණි.

මේ කාන්තාව නීත්‍යනුකූලව විවාහ වී සිටියේ ආරක්‍ෂක අංශ සාමාජිකයකු සමඟය. ඔහු ඇය හා විවාහ වී තිබුණේ ඇයගේ සැබෑ ජීවිත තොරතුරු ගැන හාංකවිසියක් නොදැනය. එහෙත් ඇයගේ සල්ලාල පැවැත්මත් මත්ද්‍රව්‍ය ඇබ්බැහියත් ගැන නිසැකව දැනගත් පසු මේ තරුණයා ඇය දික්කසාද කළේය. තරුණයාගේ ඥාතීහු ඇය මේ තරුණයාව සාපරාධීව රැවටීම සම්බන්ධව අනුරාධපුර උසාවියේ නඩුවක් ගොනු කළහ. ඒ නඩුව සම්බන්ධව ඇය සිටියේ වරෙන්තු පිටය. පොලිසියට ඇය හසුවන්නේ මේ අතරය.
මතට ඇබ්බැහි වී සිය ගැනුම්කරුවන්ට සිය සිරුරත් අලෙවි කරන මේ රූමත් ගැහැනියත් ඇය සමග දැන් ජීවත් වෙමින් සිටිනා සැමියාත් පොලිස් අත්අඩංගුවට පත් විය. එහිදී කරන ලද ප්‍රශ්න කිරීම්වලදී කාන්තාව ඇයගේ සොයුරා ගැන කීවාය. සොයුරාව අනුරාධපුර විජයපුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 230ක් සමඟ අත්අඩංගුවට ගැනුණි.

ඇය, සහෝදරයා හා සැමියා කොළඹ ප්‍රදේශයට ගොස් රුපියල් 500කට රැගෙන එන හෙරොයින් පැකට්ටුවක් මොවුන් ගැනුම්කරුවන්ට රුපියල් 2500ක මුදලකට අලෙවි කර තිබෙන බව පොලිසිය හෙළි කරගත්තේය. සියලුම සාක්කි සමඟ අත්අඩංගුවට ගත් 23 හැවිරිදි නැඟණියත් 29 හැවිරිදි සැමියා හා 25 හැවිරිදි සහෝදරයාත් පසුගිය 2දා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ එල්.පී.එස්.පී. සඳුන්ගහවත්තගේ උපදෙස් මත පොළොන්නරුව දිසා දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක වසන්ත කුමාර, සැරයන් රංජිත් (26148), පොලිස් කොස්තාපල්වරුන් වන උදය කුමාර (50457), සුරංග (9643), රත්නායක (38811), යුරේෂ් (86710) යන නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකාර තරුණිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජිත් රාජකරුණා මහතා ඇයට ඕනෑම ඇප කොන්දේසියක් මත ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් අයැද සිටි අතර හෙරොයින් මිලිග්‍රෑම් 240ක් සන්තකයේ තබාගෙන සිටි ඇයට මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දීමේ බලයක් ඇති බව කීවේය.

ඊට තරයේ විරෝධය පළ කළ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන නඩු මෙහෙයුම් ඒකකයේ පොලිස් කොස්තාපල් සරත් කුමාර රත්නසිරි (47687) කියාසිටියේ ජාලගතව සිදුකරන හෙරොයින් ජාවාරමේ කොටස්කාරියක වන තරුණියට ඇප ලබාදීමෙන් ඉදිරි විමර්ශනවලට බාධාවක් සිදුවන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශන තවමත් අවසන් වී නැති බවත්ය. ඊට විරෝධය පෑ නීතිඥවරයා කියා සිටියේ එසේ නම් හෙරොයින් ජාවාරම සිදුවන ජාලය සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ කඩිනමින් සිදුකර අවසන් කිරීමට කටයුතු කළ යුතු බවයි. ඊට ප්‍රතිචාර දැක්වූ පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට සැලකර සිටියේ, හෙරොයින් ජාවාරම සිදුවන්නේ ඉතා රහසිගතව කොළඹ සිටය. මේ ජාලගතව සිදුවන ජාවාරම අනුරාධපුර පොලිසියට විතරක් නතර කරන්න බැහැ. නමුත් අපි මේ ජාවාරම් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරන්න ඕන යනුවෙනි. දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂන් ඔවුන්ට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කර මේ මස 11 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය (මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සහෝදරයා නිසා කුඩු මතට බිලිවුණු අම්බපාලියකගේ ශෝකාන්තය"

    Post a Comment