27 August, 2017

බේ දත් මැදෙන අලුත් බුරුසුව

amabrush
දත් මදිනවා කියන්නේ විශේෂයෙන් හවස් වරුව පුරා ම සෙල්ලම් කරලා මහන්සිවෙලා එන දරුවන්ට නම් ඇහෙනකොටත් දත් කීරි ගැහෙන කතාවක්. එයාලාට ඕන වැටුණු-වැටුණු තැන නිදාගන්න මිසක් හීනෙන් ඇවිදගෙන ගිහින් “ඊ” කියන්න නෙවෙයි. ලොකු පොඩි කවුරුත් පැණි රස කන්න ආසයි. රෑට පාඩම් කරන්න හෝ රාජකාරි කටයුතු වෙනුවෙන් ඇහැරගෙන ඉන්න කෙනෙක් නම් සැරින් සැරේ ගිහින් එක එක ජාති කන්න කැමතියි. හැබැයි මේ කොයි දේ කළත් දත් මදින එක නම් අනිවාර්යෙන්ම කරන්නට වෙනවා. මොකද, අපේ දත ගලවන්න බලාගෙන ඉන්න දහසක් අතරේ අම්ල සහ බැක්ටීරියා ද බලාගෙන ඉන්නේ අපේ දත් ටිකට වින කටින්න ම යි. දත් මදින්න කම්මැලිකම නිසා අම්මාට කියලා දත් ඇන්ද ගලවා ගන්නවා වෙනුවට අපි ම දත් ටික ගලවලා දීලා “අනේ මේක මැද ගෙන එන්නකෝ” කියලා කියන්නත් පුළුවන්. ඉස්සර කාලෙ නම් යක්කු ඇවිල්ලා දත් සුද්ද කරලා දීලා ගියත් දැන්නම් එහෙම වෙන පාටක් දකින්නට නැහැ. ඉතින් අපිට සිද්ධ වෙනවා අමාරුවෙන් හරි ගිහින් කොහොම හරි දත් ටික මැදගන්නට. නැත්නම් ඩොක්ටර් මාමාගේ අඬුවලින් කටේ නානාප්‍රකාර සෙල්ලම් වෙන හැටි කට ඇරගෙන උඩ බලාගෙන විඳවන්නයි වෙන්නේ. හැබැයි තාක්ෂණය දියුණු මේ කාලයේ නම් එහෙම වෙන්න දෙන්න බැහැ. අපිට මේ සඳහා සාර්ථක විසඳුමක් අවශ්‍ය යි. අන්න එතැනදී අපිට අමාබ්‍රෂ් (Amabrush) කියලා අපූරු දත් බුරුසුවක සහයෝගය ලැබෙනවා.

මේ බුරුසුවේ ඉදිරිපස කොටස මුඛය තුළ රඳවා ගත හැකි ඉංග්‍රීසි U අකුරක හැඩයෙන් යුතු වන අතර එහි කෙඳි තිබෙනවා. පසුපස කොටස රාජකාරී කටයුතුවලදී භාවිත කරන මුද්‍රා තබනයක වගේ රවුම් අල්ලුවකින් සමන්විතයි. එම කොටසෙහි බොත්තමක් සහ දියරමය ඇසුරුමක් දකින්නට තිබෙනවා. මෙම උපකරණ සමඟ චාජරයක් ද ලැබෙනවා. මෙහි කරන්නට තිබෙන්නේ U හැඩැති කොටස කටේ රුවාගෙන බොත්තම ඔබා බුරුසුව සක්‍රීය කිරීම යි. එවිට පෙනුම කුඩා දරුවෙක් සූප්පුව කටේ ගහගෙන ඉන්නවා වගේ වුණත් තත්පර දහයක් වගේ කෙටි කාලයකදී දත් මැදීම සිදු කරගන්නට පුළුවන්.

නම්‍යශීලි U හැඩැති කොටස සහ එහි ඇති කෙඳි බැක්ටීරියාවලට ප්‍රති විරෝධී සිලිකන් කොටස්වලින් සකසා ඇති අතර ඒවා දත් අතර හොඳින් යමින් දත්වල රැඳී තිබෙන කෑම කොටස් සහ විෂබීජ ඉවත් කර දමනවා. කෙඳිවල ඇති සුමට බව නිසා විදුරු මසට හානි සිදුවන්නේත් නැහැ. මේ සියලු දේ ස්වයංක්‍රීයව සිදු වෙනකම් ඔබට කරන්නට තිබෙන්නේ එක්කෝ කුකුල් නින්දක් දැමීම යි. නැත්නම් අහස පොළොව ගැටලන්නට අවශ්‍ය ගැටය කුමක්දැයි තීරණය කිරීමයි. කෙඳි අතර තිබෙන නාලිකා හරහා දත් බෙහෙත් සීරුවට ගලා එමින් අවශ්‍ය ප්‍රමාණයට පමණක් දත්වලට ලබා දෙනවා. ඉතින් මේ නිසා තව දුරටත් කඩල ඇටයක ප්‍රමාණයට දත් බෙහෙත් යෙදිය යුතු යැයි 5 වසරේ සිසුන්ට පාඩම් කිරීමට අවශ්‍ය වන්නේත් නැහැ. මොකද, දත් බුරුසුව දැන් ඒ හැම දෙයක් ගැන ම තනිවම බලා ගන්නවා.

මෙහි තිබෙන කෙඳි අංශක 45ට ආනත කර ඇති අතර එය බේස් ක්‍රමය නමැති දන්ත විශේෂඥයන් විසින් නිර්දේශ කරන ලද ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ හරහා මැදීම ඉතා හොඳින් සිදු වන අතර නිෂ්පාදකයන්ගේ මූලික අපේක්ෂාව වන සුපිරිසිදු දත් දෙපළක් සහ හානි නොවූ විදුරුමසක් දායාද කිරීමේ අභිලාෂය සම්පූර්ණ වෙනවා. ඕනෑම හනු පිහිටුමකට ගැලපෙන ලෙස නම්‍යශීලී ආකාරයට රැඳවුම සකසා තිබෙන නිසා මුඛයේ රුවා ගත් විට එය අවශ්‍ය ආකාරයට සැකසෙනවා. මෙහි ඇති මෘදු බව නිසා කොපුල් පේශිවලට පීඩනයක් හෝ දීර්ඝකාලීන භාවිතය නිසා හැඩය වෙනස් වීම සඳහා බලපාන්නේ නැහැ. අනික තත්පර දහයකින් සියලු දේ සිදු වී අවසන් වන නිසා මේ කටේ තබාගෙන සිටීමෙන් ඔබට කිසිදු අපහසුවක් දැනෙන්නේ නැහැ.

අමාබ්‍රෂ් එක හඳුන්වා දෙමින් ඔවුන් වෙබ් අඩවියේ වැදගත් කරුණු කිහිපයක් සඳහන් කරනවා. “ලොව පුරා වැඩි දෙනෙක් සාමාන්‍යයෙන් දත් මැදීම සඳහා ගත කරන්නේ තත්පර 60ක් පමණ කාලයක් පමණයි. එනමුත් දන්ත වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබෙන්නේ තත්පර 180ක් හොඳින් දත් මැදිය යුතු බවයි.” මෙසේ මැදීමේ දී ද තිරස් අතට බුරුසුව ගෙන යනවා වෙනුවට සිරස් අතට දත් අතට බුරුසුවේ කෙඳි හොඳින් ගමන් කරන ආකාරයට දත් වල ඉදිරිපස, පසුපස සහ හක්කේ දත්වල නම් තුන් පැත්තම හොඳින් මැදෙන සේ බුරුසු කෙඳි ගෙන යා යුතුයි.

“වර්තමාන සාමාන්‍ය ජීවන කාලයක් තුළදී කෙනෙක් දවස් එකසිය අසූවක් ම වැය කරන්නේ දත් මැදීම සඳහා යි.” මෙයින් ඔවුන් අදහස් කරන්නේ තත්පර 180ක දී කළ යුතු කාර්යය ඔවුන් තත්පර 10ක දී කරදෙන නිසා වෙනත් වැදගත් කටයුතු සඳහා අපගේ ජීවිත කාලය ඉතිරි වන බවයි. දත් මැදීමට අකමැති ඉතා කුඩා දරුවන්ට වූවත් මෙය භාවිත කිරීම විනෝදයක් වනවා වගේම ඉතා ඉක්මණින් සියල්ල නිම වන නිසා ඒ ගැන කිසිදු දැනීමක් වත් ඇති වන්නේ නැහැ. “සියයට අනූවක්ම දන්ත සහ විදුරුමස් රෝග ඇති වන්නේ වැරදි ආකාරයට දත් මැදීම මඟිනුයි.” අවශ්‍ය පමණට දත් බෙහෙත් ලබාදෙමින් සියලුම දත් ආවරණය කරමින් පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රියව සිදු වන නිසා තව දුරටත් වැරැදි උපක්‍රම අපි භාවිතා කිරීම නිසා ඇතිවිය හැකි දෝෂ මේ හරහා නිරාකරණය කෙරෙනවා. මොකද, බ්ලූටුත් හරහා දුරකතනයට සබැඳෙමින් වෛද්‍ය නිර්දේශ අනුව දත් මැදීමේ ක්‍රම රැසක් අපිට තෝරාගෙන සකසා ගන්නට එය අවකාශ සලසා තිබෙනවා.

එක් වරක් ආරෝපණය කිරීමෙන් පසු 28 වරක් දත් මැදිය හැකි මෙය ඔබ විනෝද චාරිකාවක් ගියත් සති දෙකක් දක්වා මුඛ සෞඛ්‍යය ආරක්ෂා කරගන්නට උපකාරී වෙනවා. බුරුසුව රැහැන් හරහා සහ රැහැන් රහිතව ආරෝපණය කර ගන්නටත් පුළුවන්. ඔස්ට්‍රියාව ජර්මනිය සහ ඇමරිකාව යන රටවල් තුනෙහිම දායකත්වය ඇතිව නිමවා ඇති මෙම නිෂ්පාදනය රුපියල් විසි එක්දහස් පන්සියයකට පෙර ඇණවුම් කළ අය සඳහා ලබන වසරේ පෙබරවාරි මාසයේදී තැපැල් කරන්නට ඔවුන් කටයුතු සුදානම් කර තිබෙනවා. ඉතින් විරිත්තගෙන ඉන්න අතරේ බුරුසුව කටේ එහෙට මෙහෙට යවමින් කරන අමුතු සාම්ප්‍රදායික සෙල්ලම මේ උපකරණය හරහා නවමු මඟකට ගෙන යනු ලබනවා. (තඹරු විජේසේකර-දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බේ දත් මැදෙන අලුත් බුරුසුව"

    Post a Comment