23 August, 2017

ලංකාව දෙවන තලයට - මුදලුත් අඩුවේ - ලංකාව සහ කොදෙව්වන් නිසා ටෙස්ට් ක්‍රිකට් ක්‍රමයත් වෙනස් වන ලකුණු..!

sl-wi-test-michael-holding
FilePhoto
එංගලන්තයේ සංචාරයක යෙදී සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේදී එංගලන්තය ඉදිරියේ ඉනිමකින් සහ ලකුණු 209 කින් කොදෙව්වන් ලද අන්ත පරාජයෙන් පසුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියන් පවත්වනු ලබන ආකෘතිය වෙනස් කළ යුතු යැයි ජාත්‍යන්තර ක්‍රිකට් විශාරදයන් යළි යෝජනා කර ඇත.

එනම් පෙරේදා නිමවූ ටෙස්ට් තරගයේදී දින තුනක් අවසන් වන්නටත් පෙර එංගලන්තය හමුවේ කොදෙව් පිලේ කඩුලු 19 ක් තුන්වැනි දිනයේදී දැවී යමින් ඔවුන් පරාජය ලැබූ ආකාරයත් මේ මස මුල් භාගයේදී ඉනිමකින් ලද පරාජයන් දෙකක්ද සමඟ ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාව පරාජය වූ ආකාරයත් නිසා දැන් පැවැත්වෙන ද්වි පාර්ශ්වික ටෙස්ට් ක්‍රිකට් ආකෘතිය වෙනස් කළ යුතු යැයි මතයක් යළි ගොඩනැඟී ඇත.

වසර 17 කින් එංගලන්තය තුළදී ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් ලබන්නට කොදෙව් පිලකට හැකියාවක් ලැබී නැති අතර පසුගිය සංචාරයේදී එංගලන්තය 3-1 ක් ලෙස දකුණු අප්‍රිකාවත් පරාජය කළ ආකාරයෙන්ම මෙවර කොදෙව්වන්ටද ප්‍රතිඵල අත්විය හැකි අතර ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව තුළදීම අත්වූ ටෙස්ට් තරගාවලි පරාජයද ඉන්දියාව සමඟ තරග කිරීමට තරම් තත්ත්වයක නැති බවට මෙසේ ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට අදහස් ප්‍රකාශ කරන අයගේ මතය වී ඇත. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව හා 8 වැනි ස්ථානයේ සිටින බටහිර ඉන්දීය කොදෙව් පිල වර්තමානයේදී මෙකී දරුණු පසුබෑමකට ලක්ව ඇත.

ඒ අනුව බැලූ විට කොටස් දෙකකට බෙදා ටෙස්ට් තරගාවලි පැවැත්විය යුතු යැයි ගෙන ආ යෝජනා පසුගිය වසරේ වැළලී ගියද ඒ මතය යළි ක්‍රියාත්මක කළ යුතු යැයි යන මතය ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් වන මයිකල් හෝල්ඩින් සහ ඩීන් ජෝන්ස් විසින් මතුකර ඇත. ඔවුන් පවසන්නේ දැනට ක්‍රියාත්මකව පවතින ජාත්‍යන්තර තරග කාල සටහන ලබන 2019 ජුනි මාසයෙන් අවසන් වෙන බැවින් ඉදිරියේදී ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියක් පවත්වන්නේ නම් නව ආකෘතියක් යටතේ පැවැත්විය යුතු බවයි.

තවද ඔවුන්ගේ අදහස වන්නේ එම තරගාවලිය කණ්ඩායම් 5 ක් බැගින් තල දෙකක තබා තරගාවලිය පැවැත්විය යුතු බවයි. ඒ අනුව බැලූ විට ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් දෙවැනි තලයට වැටෙන අතර එවිට එම රටවල් දෙකට අයි.සී.සී.යෙන් ලැබෙන මුදල් ප්‍රමාණයද අඩුවීමේ අභියෝගයකට මුහුණ දෙනු ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධව උදාහරණයක් සහිතව ට්‍රිනිඩෑඩ්හි ඩේලි එක්ස්ප්‍රස් පුවත්පතට අදහස් දක්වා ඇති මයිකල් හෝල්ඩින් "මම වසර 12 ක් ටෙස්ට් ක්‍රීඩා කරල තියෙනවා. ඒත් කවදාවත් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරල නැහැ. හේතුව ඒ වන විට ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ක්‍රීඩා කරන්න හොඳ තත්ත්වයක හිටියෙ නැහැ" යනුවෙන් පැවැසීය. (නෙත්ගොසිප්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලංකාව දෙවන තලයට - මුදලුත් අඩුවේ - ලංකාව සහ කොදෙව්වන් නිසා ටෙස්ට් ක්‍රිකට් ක්‍රමයත් වෙනස් වන ලකුණු..!"

    Post a Comment