20 August, 2017

අනුරපුරයේ අතරමංවූ ස්විස් තරුණියට යන එන මං නැති කළත්‍රිරෝද සල්ලාලයා

threewheel-driver-raped-swiss-girl
FilePhoto
ආණ්ඩුව රටේ ආර්ථිකය ගොඩ දමන්නට හදන්නෙ සංචාරක ව්‍යාපාරයේ ආශ්චර්යයෙනි. ඒ ආශ්චර්යය දෙකොනින් පෙන්වන සිදුවීමක් පසුගියදා අනුරාධපුරයෙන් වාර්තා වුණේය. ඒ පසුගිය මාසයේ 26 වැනිදාය.

අනුරාධපුරය මේ රටේ සංස්කෘතියේත් ඉතිහාසයේත් ආශ්චර්යය ලෝකයට කියන මහා නගරයය. එය දකින්නට එන විදේශිකයෙක් වේ නම් ඔහු මුහුදු වෙරළකට වී හිරු එළිය නාන, කැසිනෝවකට වී ලාභ විනෝදයක් සොයන සංචාරකයකුට වඩා ප්‍රබුද්ධයෙකි. සංස්කෘතික ප්‍රකාශනයන් වන පුරාවිද්‍යා භූමි දකින්නට එන්නේ ලංකාවට එන සංචාරකයන්ගෙන් සියයට 4කි. මේ කියන්නේ ජාතියක සංස්කෘතික ආශ්චර්යය දකින්නට දුරු රට සිට පැමිණෙන සංචාරක යුවතියකට දූෂණය නොවී සිය රටට යන්නට පුළුවන් බවට සහතිකයක් දෙන්නට මේ රටේ මිනිසුන්ට බැරි වීමේ ලැජ්ජා සහගත කතාවය.

එදින බදාදා දිනයකි. අන්තර් සංස්කෘතික ඉතිහාසය ගවේෂණය කිරීමට ස්විස්ටර්ලන්ත විශ්වවිද්‍යාලයකින් පැමිණි තරුණ විද්‍යාර්ථින් කණ්ඩායමක් සැන්දෑව ගත කිරීම සඳහා අනුරාධපුරයේ ප්‍රකට සමාජ ශාලාව වෙත පැමිණ සිටියෝය. මේ පිරිස ලැගුම්ගෙන සිටියේ අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටි හෝටලයකය. මධ්‍යම රාත්‍රියට ආසන්න වන විට සම්භාෂණය නිමා විය. අනතුරුව ඔවුහු සිය නවාතැන්පළ බලා එන්නට පිටත් වූහ.

ඒ අතර එක් තරුණ සිසුවියක් කණ්ඩායමෙන් මඟ හැරී ගියේය. ඇය හුදකලා නගරයේ සිය නවාතැන සොයා ගන්නට මඟ සලකුණක්වත් නොමැතිව අතරමංව සිටියාය. අනුරාධපුර නගරය නිතර එහි යන එන දේශීය සංචාරකයන්ට පවා අණ්ඩර දෙමළයක් බඳු මාර්ග රටාවක් සහිත සංකීර්ණයකි. මේ විසි දෙහැවිරිදි තරුණිය කුලී රථයක පිහිට පතමින් මාර්ගය අසල රැඳී සිටියාය.

තරුණයන් සිවු දෙනකු සහිත ත්‍රිරෝද රථයක් ඒ අසලින් යන්නේ මේ අතරය. ත්‍රිරෝද රථ රියැදුරා අනුරාධපුර කඩ‍ෙදාළහ ප්‍රදේශයේ කුලී ගමන් යන්නෙකි. පූර්ණ කාලීන ත්‍රිරෝද රථ රියැදුරෙකි. සිය බිරියගෙන් වෙන්ව ජීවත් වන්නෙකි. විසි නව හැවිරිදි මේ තැනැත්තා දරුවන් දෙදෙනකුගේ පියකු බව කියැවිණි.

තරුණිය දුටු වහාම තරමක් ඉදිරියට ගොස් තමන් සමඟ සිටි තරුණයන් ත්‍රීවීල් රථයෙන් බස්සවා ආපසු පැමිණයේය. විදේශික තරුණියගේ ඇණ්වුමකින් තොරව නැවැත්වූ ත්‍රීවීල් රථයට බලහත්කාරයෙන් මෙන් ඇය නංවාගත් මේ සල්ලාලයා ඇයව රැගෙන යන්නේ නගරයේ අඳුරු මුල්ලකටය. අනතුරුව මරණීය තර්ජන එල්ල කර බලහත්කාරයෙන් නින්දිත ලෙස ඇයව දූෂණය කරන මොහු නගරයේ අඳුරෙහි ඇයව අතහැර පලා ගියේය. දරාගත නොහැකි වේදනාව සහිතව මේ විදේශික තරුණිය මඟ සොයාගෙන පොලිසිය වෙත එන්නීය. ඇය පැමිණෙන්නේ අනුරාධපුර සංචාරක පොලිසිය වෙතය. ඒ වනවිට පාන්දර තුනත් පසුවී තිබිණි. ඇය එන්නේ වාහනය වන රුධිරය සහිතවය. ඉරී ගිය ඇඳුම් සහිතවය.

අනුරාධපුර සංචාරක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රම්‍යසිරිය. ඔහු අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක සංජීව වෙත මේ අපරාධය ගැන දැනුම් දෙන්නේය. අලුයම කළ හැකි දෙයක් නැත. තරුණිය ආරක්ෂිතව පොලිස් භාරයේ තබා ගන්නා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පසුදා උදෑසනම සිය මේ අපරාධය කළ කාලකණ්ණියා සොයා මෙහෙයුම ආරම්භ කරන්නේය. ඒ මෙම පරීක්ෂණයේ ඉදිරි කටයුතු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැවරිණි. ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය පොලිස් පරීක්ෂිකා යමුනාය. ඇය වින්දිත විදේශික තරුණිගේ අනාරක්ෂිත මානසිකත්වය නැති කිරීම සඳහා කටයුතු කළාය.

මේ වනවිට දැඩි ශාරීරික හා මානසික පීඩාවට ලක්ව සිටි තරුණියට රෑ අඳුරේ ඇයව දූෂණය කළ පුද්ගලයා පිළිබඳ නිශ්චිත හඳුනා ගැනීමක් කිරීමට අපොහොසත්ව සිටියාය. ඇයට ඇය නංවාගෙන ගිය රථයේ අංකය පවා මතක නොතිබිණි. ගැටලුව සංකීර්ණයකට ගියේ ඒ සමඟය.

එහෙත් අනුරාධපුර නගරයේ විශේෂත්වයක් තිබේ. එනම් මුළු අනුරාධපුර නගරයම ආවරණය වන ආකාරයෙන් සැකසුණු කැමරා පනස් දෙකකින් සමන්විත දියුණු ආරක්ෂණ පද්ධතියය. රාත්‍රි කාලයේ වුවද දහවල ලබා ගන්නා දර්ශන මෙන් පැහැදිලි දසුන් සහිත මෙවැනි නිරීක්ෂණ කැමරා පද්ධතියක් කොළඹ නගරයේවත් නැත. එම ආරක්ෂණ කැමරා පද්ධතිය හසුරුවමින් නීරික්ෂණය කරන ප්‍රධාන මෙහෙයුම් මැදිරිය ඇත්තේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අතිශය ආරක්ෂිත රහසිගත තැනකය.
විශේෂ නියෝගයක් පිට මෙම සිද්ධිය වූ 26 වැනිදා රාත්‍රියේ ආරක්ෂිත කැමරා පද්ධතියේ ඇති සියලුම දර්ශන නිරීක්ෂණය කිරීම ආරම්භ විණි. මේ දර්ශන පෙළ අතර තරුණිය බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයට නංවා ගන්නා දර්ශන සටහන්ව තිබිණි. ත්‍රිරෝද රථයේ අංකය මැනවින් දක්නට ලැබිණි. ඒ ඔස්සේ පරීක්ෂණ මෙහෙය වූ පොලිස් නිලධාරී එදින උදෑසනම සැකකාර දූෂකයා අත්අඩංගුවට ගත්හ. ඔහු අනුරාධපුර විජයපුර විජය මාවතේ පදිංචි දලුවත්තගේ ප්‍රියන්ත කුමාර දලුවත්ත නමැති විසිනව හැවිරිදි පුද්ගලයෙකි.

සැකකාර පුද්ගලයා අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කළේය. ඔහුගේ නියෝගය පිට සැකකරු පසුගිය 11 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහනාමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය. මේ අතර අධිකරණ නියෝගයක් මත දූෂණයට ලක්වුණු තරුණිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කෙරිණි. එහිදී තරුණිය මේ පිරිමි අධිකරණ වෛද්‍ය නිලධාරියා විශේෂඥයෙක් වුවත් ඔහු තමන්ව පරීක්ෂා කිරීමට විරෝධය පෑවාය. පාදඩයකු අතින් දූෂණය වීමෙන් අනතුරුව තවත් පිරිමියෙක් ඉදිරිපිට පරීක්ෂණයට ලක්වීම ප්‍රතික්ෂේප කළ ඇය කාන්තා වෛද්‍ය නිලධාරිනියක් ඉල්ලා තිබිණි. ඒ නිසා ඇයව අධිකරණ වෛද්‍ය නිලාධරිවරියක වෙත යොමු කිරීමට නොහැකි විය.

11 වැනිදා යළිත් නඩුව කැඳවිණි. එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජේ‍යෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා හා ප්‍රියදර්ශනී කාරියවසම් ඇතුළු නීතිඥ කණ්ඩායම තම සේවාදායකයාට ඇප ඉල්ලා සිටියේය. ඒ අවස්ථාවේදී ළමා හා කාන්තා කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටි පොලිස් සැරයන් ලලිත් නන්දසේන මේ අපරාධකරුවාට ඇප ලබාදීම පිළිබඳ දැඩි ලෙස විරුද්ධ වූයේය. ඔහු විසින් කර ඇත්තේ ස්ත්‍රී දූෂණයක් පමණක් නොව රටේ ප්‍රතිරූපය හා ගෞරවයත් අමු අමුවේ දූෂණය කර ඇති බව සැරයන්වරයා අධිකරණයට කීවේය. දැන් අනුරාධපුරයට විදේශිකයන් එන්නේ බියෙන් බවත් කීවේය.

මේ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවාගේ රුධිර සාම්පල කොළඹ ජින්ටෙක් ආයතනයට යවා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කර දූෂණය වූ තරුණියගේ ඇඳුම්වල තැවරී ඇති රුධිරය හා සස¼දා වාර්තාව අධිකරණයට යොමු කරන ලෙස නියෝග කළේය. සැකකරු ලබන 22 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත විය.

පොලිස් පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ. අපරාධය සිදු කළ ස්ථානය පිළිබඳ තවම සොයාගෙන නැත. අප අපේ ගෝත්‍රික තිරිසන්කම නැවත ලෝකයට ප්‍රකාශ කර හමාරය. පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකන් තානාපති කාර්යාලය රට තුළට එන සංචාරකයන්ට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලංකාවේ දී ත්‍රිරෝද රථවල යන විට ලිංගික හිංසනයන්ට ලක්වන බැවින් කාන්තාවන් ඒ ප්‍රවාහන මාධ්‍යය භාවිත නොකළ යුතු බවය. ත්‍රීවීල් රථයක යනවිට පිළිපැදිය යුතු උපදෙස් මාලාවක්ද ඔවුන් විසින් නිකුත් කර තිබිණි.

ආණ්ඩුව හදන්නේ මේ අශීලාචාර මිනිසුන් සහිත රටට සංචාරකයන් ගෙන්වාගෙන රට ගොඩ දාන්නටය. රටට අවශ්‍ය විනයය. ඒ විනය හැදුණු දවසට රට ආර්ථිකව හෝ සංස්කෘතිකව ගොඩ දැමීම කළ හැකිය. එහෙත් කරුමය වන්නේ රට කරවන්නේ අශීලාචාරම අවිනීතම පිරිසක් වීමය. එවන් රටකට දූෂණය වී මැරෙන්නට එන්න හිතනා විදේශිකයෙක් නැත.

අනුරාධපුරයේදී අප ඒ වග යළිත් ලෝකයට තහවුරු කර ඇත.
උපාලි ආනන්ද (මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අනුරපුරයේ අතරමංවූ ස්විස් තරුණියට යන එන මං නැති කළත්‍රිරෝද සල්ලාලයා"

    Post a Comment