24 July, 2017

දවසට දෙවරක් නාන්න හොඳයිද?

shower twice a day - Bathing

නාන්න වඩාත් සුදුසු උදේ කාලයේද? නැතිනම් රාත්‍රී කාලයේද? කියලා සමහර විට ඔබ හිතලා නැතිව ඇති.නාන්න සුදුසු වෙලාව දවසේ කොයි වෙලාවද කියලා හරියටම තීරණය කරන්න පුළුවන්, ඔබේ සමේ වර්ගය, ඔබ දෛනිකව කරන වැඩ සහ එයින් ඔබගේ ශරීරය කොතරම් අපිරිසුදු වෙනවද කියන කරුණු මතයි.

ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම්, නාන්න සුදුසු ම වෙලාව තමයි උදේ කාලය. ඒකට හේතුව විදිහට වෛද්‍යවරු පවසන්නේ,සමේ තෙල් නිපදවෙන්නේ රාත්‍රී කාලයේදී වන නිසා, උදෑසන නෑමෙන් තෙල් ඉවත් වී, සමේ සිදුරු හොඳින් පිරිසුදු වන නිසයි. ඒ වගේම තෙල් සහිත සම හොඳින් උද්දීපනය කරන්නත් උදෑසන නෑම වඩාත් ම හොඳයි.

ඔබ උදේම රැවුල කපන කෙනෙක් නම්, නෑමෙන් පසු රැවුල බෑම ඉතාමත් ම පහසුයි.නෑමෙන් පසු රැවුල් ගස් මෘදු බවට පත්වීම ඒකට හේතුවයි. මේ නිසා, ඔබට ඉතාමත් සුසිනිදුව සහ පහසුවෙන් රැවුල කැපීම කරන්න පුළුවන්.

ඔබ උදෙන්ම අවදි වන කෙනෙක් නම්, අවශ්‍ය තරම් නාන්න හැකි වන නිසා, උදෑසන නෑම ඔබට වඩාත් පහසු දෙයක්. උදෑසන නැගිටින්න කම්මැලි අයට උදේ නාන්න කොහොමත් වෙලාවක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ වගේම, ඔවුන්ට හරියට නා ගන්නත් බැරිව යනවා.

ඔබ රාත්‍රී කාලයේ බොහෝ සෙයින් දාඩිය දමන කෙනෙක් නම්, ඔබට වඩාත්ම සුදුසු වන්නේ උදේම නෑමයි. එයින් ඔබට නව ප්‍රබෝධවත් බවකින් දවස පටන් ගන්න පුළුවන්.

ඔබ දවස පුරා විෂබීජවලට නිරාවරණය වෙලා නැතිනම්, ඔබට වඩාත් සුදුසු උදේ ම නාන එකයි. ඔබ කරන රැකියාව අනුව හෝ දෛනික ජීවිතය ගෙවන ආකාරය මත තමයි ඒක තීරණය වෙන්නේ.ඔබ උදේම නිවෙසේ ඉඳන් කෙලින්ම වායු සමනය කළ කාර්යාලයක රැකියාව කරලා අපසු ගෙදර එන කෙනෙක් නම්, ඔබගේ ශරීරය බොහෝ සේ අපිරිසුදු වෙන්න විදිහක් නැහැ. ඒ නිසා, හවසට ඇඟපත සෝදාගෙන පිරිසුදු වෙලා නින්දට ගිහින්, උදේම නාන එක තමයි හොඳ.

බොහෝ අය හිතන්නේ නිදාගන්න කලින් නෑවාම ශරීරය සැහැල්ලු වෙලා සුව පහසුව නිදා ගන්න පුළුවන් කියලයි. කොහොම වුණත් සමීක්ෂණවලට අනුව රාත්‍රී කාලයේ නෑමෙන් ශරීරයේ උෂ්ණත්වය අඩු වීම නිසා, හදවතේ රිද්මයට බලපෑම් ඇති වන බව සොයාගෙන තිබෙනවා. මේ නිසා පසු කාලීනව නිදා ගැනීමේ අපහසුතා ඇතිවන්න පුළුවන්. ඒකට විසැඳුමක් විදිහට, නින්දට පැය දෙකකටවත් කලින් නාන එක සුදුසුයි කියලයි වෛද්‍යවරු පවසන්නේ.

ඔබ රූපලාවන්‍ය කටයුතු කරන කෙනෙක් නම්,දිනපතා මේක් අප් සහ සන් ප්‍රොටෙක්ෂන් ක්‍රීම් භාවිත කරනවා නම්, මුහුණ සෝදා නිදා ගන්නවට වඩා, හොඳින් නා පිරිසුදු වන එක තමයි හොඳ ම දේ. ඒකට හේතුව, මුහුණ සෝදනවට වඩා නාද්දි ඔබගේ මුහුණට ලැබෙන අඛණ්ඩ ජල ප්‍රවාහය නිසා හොඳින් පිරිසුදු වීමයි.

ඔබට තිබෙන්නේ වියළි සමක් නම්, නාන්න සුදුසම වෙලාව රාත්‍රී කාලයයි. නෑමේදි සම ඉතාමත් හොඳින් පිරිසුදු වන නිසා, සමේ සිදුරු විවිර වී තවත් වියළි තත්ත්වයට පත් වෙනවා. මේ නිසා, වියළි සමක් හිමි අය රාත්‍රී කාලයේදී නෑමෙන්, ඔවුන්ගේ සම වියළීම අඩු කර ගන්න පුළුවන්.

ඔබ වැඩ කරන පරිසරය ඉතාමත් අපිරිසුදු නම්,රැකියාව කරන්නේ විෂබීජවලින් පිරුණු රෝහලක් වගේ තැනක නම්, කරන්න තියෙන හොඳ ම දේ තමයි නිවෙසට පැමිණි විගසම නාන එක සහ අපිරිසිදු රෙදි සෝදන එක. එයින් ඔබගේ සෞඛ්‍ය රැකෙනවා පමණක් නෙමෙයි, නිවෙසේ සිටින අනෙක් අයගේ සෞඛ්‍යයත් රැක ගන්න පුළුවන්.

ඔබ බොහොම මහන්සිවෙලා වැඩ කරන කෙනෙක් නම්,රැකියාව ඉතාමත් වැඩ අධික, දහඩිය වැගිරෙන එකක් නම්,රාත්‍රී කාලයේ නාන එක හොඳයි.

ඔබ නාන වේලාව, ඔබගේ රැකියාවට, ජීවන රටාවට සහ ශරීරයට සුදුසු ආකාරය අනුව තෝරා ගන්න. එහෙත්, දිනකට වාර කිහිපයක් නාන එක නම් සුදුසු දෙයක් නෙමෙයි. කිසිම වෙලාවක උදේ සහ රාත්‍රී දෙකේම නාන්න නම් පුරුදු වෙන්න හොඳ නෑ. එයින් ඔබගේ සම ස්වභාවිකවම ආරක්ෂා කරන ,සමෙහි වෙසෙන හිතකර බැක්ටීරීයා ඉවත් වී , සම අධික ලෙස වියළී, සමේ කුඩා පැළුම් ඇතිවෙලා, චර්ම රෝග ඇති වෙන්න පුළුවන්.

අන්තර් ජාලය ඇසුරිනි - යශෝදා ඉන්දීවරී (දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දවසට දෙවරක් නාන්න හොඳයිද?"

    Post a Comment