24 July, 2017

විවාහ වෙන්න හොඳ ම වයස

Marriage Couple - Love

බොහෝදෙනා අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් පස්සේ රැකියාවක් හොයාගෙන, එයින් පසුව හොඳ විවාහයක් කර ගන්නවා යන අධිෂ්ඨානයෙන් තමයි කටයුතු කරන්නේ.ඒත්, විවාහ වෙන්න හොඳ ම වයස මොකක්ද කියලා කවුරුත් හිතන්න නැතිව ඇති.

යුටා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වන නිකොලස් වුල්ෆින්ගර්,විවාහ වෙන්න සුදුසු ම වයස පිළිබඳ සෙවීමට අපූරු අධ්‍යයනයක් කර තිබෙනවා. ඔහු මේ පර්යේෂණයෙන්, දික්කසාද වීම ඉතාමත්ම අඩුවෙන් සිදුවන, විවාහ වීමට සුදුසු කාලය කුමක්ද යන්න හඳුනාගෙන තිබෙනවා. ඔහු පවසන ආකාරයට ඒ වයස 28 – 32 අතර කාලයයි.

ඔහු මේ පර්යේෂණය කර තිබෙන්නේ, 2006-2010 සහ 2011-2013 වර්ෂවල අමෙරිකාවේ පවුල් වර්ධනය පිළිබඳ ජාතික සමීක්ෂණ වාර්තා අධ්‍යයනය කරලයි. එහිදී වයස අවුරුදු 15ත් 44ත් අතර පිරිමින් සහ කාන්තාවන් 22000ක ගේ පමණ විවාහය, දික්කසාදය, ලිංගික කාර්ය සහ ගැබ් ගැනීම් වැනි කරුණු ගැන අධ්‍යයනය කර තිබෙනවා. අවසානයේදී ඔහු විවාහ වීමට සුදුසු ම කාලය ලෙස නම් කර තිබෙන්නේ, වයස අවුරුදු 28 – 32 වයස් සීමාවයි.

ඔහුගේ අධ්‍යයනවලට අනුව, නව යොවුන් වියේ සිට වයස අවුරුදු විසි ගණන්වල අවසානය දක්වා සිදුවන විවාහ දික්කසාද වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 32න් පසු සිදුවන විවාහ දික්කසාදයෙන් කෙළවර වීමේ අවදානම වසරකට 5%කින් ඉහළ යන බව ද පැවසෙනවා. 

වයස අවුරුදු 28 -32 අතර විවාහ වීමේ තවත් වැදගත්කමක් විදිහට ඔහු දක්වන්නේ, ඒ වන විට ඔබගේ රුචි අරුචිකම් සහ ඔබගේ සහකරුගෙන් බලාපොරොත්තු වන විශේෂතා ඔබ හොඳින් හදුනාගෙන තිබීම යි. මේ හේතුවෙන් අඩු වයසින් විවාහ වන අයට වඩා, ඉහත වයස පරතරයේදී විවාහ වන අයට සාර්ථක විවාහ දිවියක් හිමි වෙනවා. තරුණ වියේදී හෝමෝන වර්ධනය නිසා ඇතිවන ආශාවන්ට වහල් නොවී,මේ වයස් සීමාවේදී සහකරු තෝරා ගැනීමේ හැකියාව ඇති බවයි පැවසෙන්නේ.

ඉහත වයස පරතරයට පැමිණෙන විට, ජීවිතයේ වැදගත් තීරණ ගෙන තිබීමත්, වගකීමක් දැරීමට හැකි තත්ත්වයකට පත්ව තිබීමත්, බොහෝ විට ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයකට පත්ව තිබීමත් නිසා, විවාහ දිවිය ඉතාමත් සාර්ථක වේවි.

අමෙරිකානු දත්ත උපයෝගී කර ගනිමින් මේ පර්යේෂණය සිදු කර තිබුණත්, බොහෝ දුරට මෙය ශ්‍රී ලංකාවටත් හොඳින් ගැළපේවි.

අන්තර්ජාලය ඇසුරිනි - යශෝදා ඉන්දීවරී (දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "විවාහ වෙන්න හොඳ ම වයස"

    Post a Comment